මුළු මහත් දේශයම මවිතයට පත් කරමින් ඉදිරියට ඇදී ගිය සුවිශාල බල අරගලයක් තවදුරටත් වර්ධනයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය. ඒ සමගම මහා කන්කරච්චලයක්ද වෙනස් මුහුණුවරකින් ඉදිරියට ඇදෙමින් තිබේ. බලවත්තු මැත දෙඩූහ. පාරම් බෑහ. අභියෝග කළහ. තර්ජනය කළහ. සිවිල් යුද්ධයක් ඇතිවේදෝ යන බියෙන් ජනතාවා් බියට පත්වූහ.  විශ්වාසභංග සහ දෝෂාභියෝග ආදිය ගැන කතා බහ කරළියට පැමිණියේය. ‘බහුතරය’ ගැන දෙපැත්තෙන්ම කෙරුණු ගෝට්ටිය ජනතාවට හිසරදයක් වූ බව දක්නට තිබුණි. ජනාධිපතිවරයා තම බලතල උපයෝගී කර ගනිමින් පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. දැන් විසඳුම ලබාදීම අපේ අතට පත්ව තිබේ. ‘අප’ යනු ජනතාවය. නැතහොත් ප්‍රජාවය. ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනු ලැබේ. මැතිවරණයේදී ජනතාව තම අභිමතය පරිදි ආණ්ඩුවක් පිහිටුවා ගනු ඇත. 

 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වූයේ 1947 දීය. එදා මෙදාතුර නිසි කාල සීමාව ආයු වින්දනය කිරීමට පාර්ලිමේන්තුවට ඉඩ ලැබුණේ ඉතා විරලවය. බොහෝ විට සිදු වූයේ යම්කිසි අර්බුදයක් නිසා විසුරුවා හැරීමෙනි. 1947 මහා මැතිවරණයෙන් පසු බලයට පත්වූවේ එක්සත් ජාතික පක්ෂ රජයකි. එහි නායක ඩී. ඇස්. සේනානායක මහතා අගමැති තනතුරට පත්විය. රජය පිහිටුවා වසරක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීමට එම රජය සමත්වීම නිසා අතිශය ජනප්‍රියත්වයට පත්විය. අගමැතිතුමාට ‘ජාතියේ පියා’ යන විරුදාවලියද හිමිවිය. එහෙත් එතුමාට ජීවත්වීමට ඉඩ ලැබුණේ කෙටි කාලයකටය. 1952 මාර්තු 22 වැනිදා ශරීර අභ්‍යාස සඳහා අයෙකු පිට යමින් සිටියදී ගෝල්ෆේස් තණ නිල්ලේදී ඇද වැටීම නිසා පසුදින අභාවයට පත් වූවේය. එම පුරප්පාඩුව සඳහා සභානායක ධුරය හොබවමින් සිටි ගමනාගමන ඇමති සර් ජෝන් කොතලාවල මහතා තමා පත්වනු ඇතැයි අපේක්ෂා කළ බව සඳහන් වේ. එහෙත් යම්කිසි හේතුවක් නිසා අග්‍රාමාත්‍ය පදවියට පත්කර ගනු ලැබුවේ දිවංගත අගමැති ඩී. ඇස්. සේනානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ ඩඞ්ලි සේනානායක මහතාය. ඔහු අගමැති ධුරයට පත්වීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා සිටි අතර ඩඞ්ලි සේනානායක මහතා ඒ වනවිටත් දැදිගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙසද කටයුතු කරමින් සිටියේය. බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා බැරිස්ටර්වරයකු ලෙස සමත්ව මව්බිමට පැමිණ සිටියේය. එසේම 1936දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්ව එකොළොස් වසරක් එහිද කටයුතු කර තිබුණු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි. ඉතා විනයගරුක සුහදශීලී ජන නායකයකු වූ ඩඞ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කරන ලෙස උදක්ම බල කරනු ලැබුවේ මහා සංඝරත්නය විසිනි. කෙසේ වුවත් මෙම පත් කිරීම සම්බන්ධයෙන් සර් ජෝන් කොතලාවල මහතා සිටියේ දැඩි කෝපයෙනි. තමාට හිමි තනතුර ඩඞ්ලි උදුරා ගත් බවත් ජනවරමක් නොමැතිව පස්සා දොරෙන් නායකත්වයට පත් වූ බවත් කියමින් ඔහු මැසිවිලි නැගුවේය. අග්‍රාණ්ඩුකාර සොල්බරි සාමිවරයා කුමන්ත්‍රණයක් මගින්  තමාට හිමි අගමැතිධුරය ඩඞ්ලිට ලබාදුන් බව කියමින් සෝල්බරි සාමිවරයාටද නොයෙක් අන්දමේ තර්ජන එල්ල කළේය. කැබිනට් රැස්වීම්වලදී පවා සර් ජෝන් හැසිරුණේ දඩබ්බර මැරයකු පරිද්දෙනි. 


මොහුගේ මෙම හැසිරීම නව අගමැතිවරයාගේ ප්‍රසාදයට හේතු නොවුණි. ඉතා සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයකු වූ ඩඞ්ලි පදවි ලෝභයෙන් පෙළෙන අයෙකු නොවූ නව අගමැතිවරයා ආණ්ඩුවේ බහුතරයකගේ සහයෝගය නිසැකවම ලැබෙද්දී වුවත් තමාට රට පාලනය කිරීම සඳහා ජනතා වරමක් පතා පාර්ලිමේන්තවුව විසුරුවා හැර මහා මැතිවරණයකට මුහුණ දුන්නේය. මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 1952 අප්‍රේල් 8 වැනිදාය. 


1952 වසරේ මහා මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉතා විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූවේය. එය විශාල බලයක් විය. ඩඞ්ලි සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් පත්වූ අතර හිත හොඳ මිනිසෙකු වූ ඩඞ්ලි සේනානායක මහතා සර් ජෝන් කොතලාවල මහතා ගමනාගමන සහ රජයේ වැඩ ඇමැතිවරයා වශයෙන්ද සභානායකවරයා වශයෙන්ද පත්කර ගත්තේය. ලෝකයේ විශාල ආහාර අර්බුදයක් ඇතිවූයේ මේ අතරවාරයේදීය. එහි නිසැක ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේද ආහාර මිල ගණන් ඉහළ ගියේය. එම තත්ත්වය ජනතාවට අපහසු බව පෙනුණේ ඔවුන් දැක්වූ විරෝධතා හේතුවෙනි. එකල ඉතා බලවත්ව සිටි වාමාංශික පක්ෂවල නායකත්වයෙන් 1953 අගෝස්තු 13 වැනි දින මහා හර්තාලයක් සංවිධානය කෙරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් නව දෙනෙකුට දිවි අහිමි විය. රට පුරා අර්බුද පැන නැගීම නිසා ඩඞ්ලි සේනානායක මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්විය. එම තනතුරට සර් ජෝන් කොතලාවල මහතා පත් වූවේය.


රාජ්‍ය නායකයෙකුට තිබිය යුතු සංයමය ඔහුට නොතිබුණාක් මෙන්ම කලින් හමුදා නිලධාරියකුව සිටි නිසා එවැනි හැඩි දැඩි මානසිකත්වයෙන් ඔහු කටයුතු කළේය. බහුතර ජනතාවට එය රිස්සුවේ නැත. ජන ප්‍රසාදය දිනෙන් දින ඔහු කෙරෙන් ගිලිහී ගියේය. එක්සත් ජාතික පක්ෂයද එසේම පිරිහීමට ලක්විය. නව දේශපාලන ප්‍රවණතාවක්ද අලුතෙන් මතුව ආවේය. එතෙක් රටේ ක්‍රියාත්මක වූයේ දක්ෂිණාංශික හා වාමාංශික යන දේශපාලන කණ්ඩායම් දෙක පමණි. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා විප්ලවකාරී සම සමාජ පක්ෂ නියෝජනය කළ මාක්ස්වාදීහු වාමාංශික බලවේගයට අයත් වූහ. එජාපය දක්ෂිණාංශය ලෙස හැඳින්වුණි. 1951 ජූලි මස 12 වැනිදා එවකට එජාපයේ නියෝජය නායක සහ පාර්ලිමේන්තුවේ සභානායක ද වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා රජයෙන් ඉවත් වූවේය. ඔහු තම අනුගාමිකයන්ද සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීම මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සටන් කිරීමක් විය. එතෙක් මෙරට මැද මාවතේ දේශපාලන පක්ෂයක් නොතිබීමේ අඩුව සම්පූර්ණ කිරීමක් විය. දේශීය වටිනාකම් අගය කරන ජාතිකවාදී ප්‍රතිපත්තියක් එම පක්ෂය විසින් අනුගමනය  කරන බවක් එමගින් ප්‍රකාශ විය. අධිරාජ්‍යවාදී යටත්විජිත පාලනය යටතේ නොසැලකිල්ලට ලක්ව සිටි මහා සංඝරත්නය, දේශීය වෛද්‍ය සංහතිය, ස්වභාෂාව උගන්වන ගුරු පරපුර සහ දුප්පත් ගොවි කම්කරු ජනතාව ආදී බලවේග ඒකරාශී කර ගනිමින් බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය ජනතාවගේ මහත් ප්‍රසාදයට හේතු වූවාක් මෙන්ම ඒ කෙරෙහි විශාල ජනතා නැඹුරුවක්ද දක්නට ලැබුණි. එය විශාල රැල්ලක් වශයෙන් ඉදිරියට එනු පැහැදිලිවම දක්නට ලැබුණි. 1953 මහා හර්තාලයෙන් යම් පමණකට සෙලවී දෙදරුම් කා තිබුණු එජාප රජය මෙම වර්ධනය හමුවේ පසුබෑමට ලක්විය. තවත් කලක් මෙම ජනතා බලවේගයට වැඩෙන්නට ඉඩ දුනහොත් තමන් අසීරුවට පත්වනු ඇතැයි සර් ජෝන් කොතලාවල මහතාට ඔහුගේ උපදේශකයෝ අනුසාශනා කළහ. භාෂා ගැටලුවද උච්චස්ථානයටම උණුසුම්ව තිබුණි. 


මෙම පසුබිම සහ තවත් නොයෙකුත් සාධකද හේතුකොට ගෙන 1957 අප්‍රේල් දක්වා බලය තිබුණු පාර්ලිමේන්තුව තවත් වසරක් පමණ කල් තිබියදී අගමැතිවරයාගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක මහතා විසින් විසුරුවා හරින ලදුව 1956 අප්‍රේල් 5, 7 සහ 10 යන තුන් දිනයහි මැතිවරණය පැවැත්වීමට නියම විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විප්ලවකාරී සමසමාජ පක්ෂය භාෂා පෙරමුණ ආදී පක්ෂවලින් සමන්විත මහජන එක්සත් පෙරමුණ නමැති සන්ධානය අතිවිශාල ජයග්‍රණයක් අත්කර ගැනීමට සමත්වූ බව අපි දනිමු. 


මැතිවරණ ජයග්‍රහණයක් ලබා බලයට පත්වීම අමාරු කාරියක් වුවත් බලය රැකගෙන පෙරට යාම අතිශය දුෂ්කර කාර්යයක් බව මෙරට ජනතාව අත්දැකීමෙන් වටහාගෙන ඇත. විශේෂයෙන් හවුල් ආණ්ඩු හෙවත් සන්ධානවල ඉරණම අතිශයින්ම ඛේදජනකය. ජනතාව සුවිශාල බලපොරොත්තු ඇතිව 1956 ජය අත්කර දුන් ම.එ.පෙ. රජයට අත්වූවේද එම ඉරණමයි. අභ්‍යන්තර මත ගැටුම්, පෞද්ගලික එදිරිවාදිකම් සහ බඩගෝස්තරවාදී කණ්ඩායම් ඇතිවීම වැනි දුර්ගුණයන් හේතුකොටගෙන එම රජය තුළ කල්ලිවාදය රජ කරන්නට වූවේය. මෙම ගැටුම් හේතුකොට ගෙන බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයට ලක්විය. එයින් පසු එම රජය අතිශය දුර්වල තත්ත්වයකට පත්විය. අගමැති ඝාතනයෙන් පසු බලයට පත් දහනායක අගමැතිවරයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇති බව පෙනෙන්නට තිබුණි. රජයට එරෙහි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාවක් පරාජය වූවේ එකම එක වැඩි ඡන්දයෙනි. එයද සුළු ජාතීන් වෙනුවෙන් පත් කරන මන්ත්‍රීවරුන් හය දෙනාගේ සහායද තිබියදීය. මේ තත්ත්වය වටහා ගත් දහනායක අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට උපදෙස් දුන්නේය.  

 


ඊළඟ මැතිවරණය යෙදී තිබුණේ 1960 මාර්තු 19 වැනිදාටය. තම පක්ෂවල ශක්තිය ගැන වැරදි වැටහීමකින්දෝ බොහෝ දේශපාලන පක්ෂ බලය පක්ෂ තරග බිමට පිවිසීම නිසා ජන මතය අන්ද මන්දවී ගියේය. කණ්ඩායම් රාශියක් අතර ඡන්ද බෙදී ගිය නිසා කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවීය. ප්‍රධාන පක්ෂ දෙක වූ එජාපයට ආසන 50ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 46ක්ද ලැබී තිබුණි. එජාප නායක ඩඞ්ලි සේනානායක මහතා සුළුතර රජයක් පිහිටුවන ලද නමුදු රාජාසන කථා ස්තුති යෝජනාව පරාජය වීම නිසා එම රජය දින තිස් තුනකට සීමා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදුව මහා මැතිවරණය 1960 ජූලි මස 20 වැනි දිනට නියම වූවේය. 


එහිදී පැහැදිලි බහුතරයක් සහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගත් අතර එහි නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති පදවියට පත්වූවේ ලෝක වාර්තාවක්ද පිහිටුවමිනි. එහෙත් 1965 ජූලි මස දක්වා වූ නිල කාලය ගෙවෙනතුරු රජය පවත්වාගෙන යාමට එම පක්ෂයද අපොහොසත් විය. 1964 දී සම සමාජ පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් ඇතිකර ගැනීම ගැන අසතුටට පත් බලවත් පිරිසක් ශ්‍රීලනිපය තුළ සිටියහ. එහෙත් ඔවුන්ගේ මතයට එතරම් පුළුල් සහායක් නොතිබුණු නිසාත් අගමැතිනිය සන්ධානයකට දැඩිව පක්ෂවීමත් නිසා ඔවුහු නිහඬව සිටියහ. එහෙත් සභාග රජය පිහිටුවා කටයුතු කරගෙන යාමේදී උද්ගත වූ තත්ත්වයන් මත මෙම මතභේද ඇතුළතින් ලියලා  ගියේය.  පුවත්පත් මණ්ඩල පනත සහ රා මැද ගැනීමට අවසර දීමට විරුද්ධව රටේ ඇතිවූ මහජන උද්ඝෝෂණ නිසා රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය. මේ අතර රාජාසන කතාවක් පැවැත්වීමට සිදුවිය. එහි ස්තුති යෝජනා විවාදය අවසානයේ ඡන්ද විමසීමේදී එක් ඡන්දයකින් රජය පරාජය විය. එය සිදුවූවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයට එක්වීම නිසාය. එවකට පාර්ලිමේන්තුවේ සභානායක සහ ඉඩම් ඇමැති සී. පී. ද සිල්වා මහතා රජයේ මෙම කැරලිකාරී කණ්ඩායමට නායකත්වය දුන් බව පෙනී ගියේය. මෙම පරාජය හේතුකොට ගෙන 1964 දෙසැම්බර් මස අටවැනිදා පස්වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊළඟ මහ මැතිවරණය 1965 මාර්තු 22 වැනිදාට පැවැත්වීමට නියමිත විය. 


මෙම මැතිවරණයේදී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ කඳවුරු දෙකකට බෙදී කටයුතු කරන ආකාරය පැහැදිලිව දක්නට ලැබුණි. පැවැති රජයේ පාර්ශ්වය ශ්‍රීලනිප, ලංකා සමසමාජ, කොමියුනිස්ට් යන පක්ෂ තුනෙන් සැදුම්ලත් අතර එය තුන් හවුල නම් විය. මේ අතර රජය පෙරළා දැමීමට එක්සත් වූ බලවේග අනෙක් පාර්ශ්වය විය. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වී අවසාන වන විට කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් නොමැති බව පෙනී ගියේය. එනිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රජයක් පිහිටවනු ලැබුවේ පක්ෂ හතක සන්ධානයක් වශයෙනි. විවිධ මති මතාන්තර දැරූ එම පක්ෂ එක අත්තක  වැසිය හැකි කුරුල්ලෝ නොවූහ. එහෙත් එම රජයේ නායක ඩඞ්ලි සේනානායක මහතාගේ අවංක බව හා මහත්මා ලීලාව නිසා නියමිත පස් අවුරුදු කාලයම එම රජය පවත්වාගෙන යාමට හැකි විය. එක් දිනක් හෝ අඩු නැතිව පාලනය ගෙන ගිය එම රජය අවසානයේ විසුරුවා හරින  ලදී. 

 

 


ඉතිරි කොටස ලබන සතියේ.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි