1971 සහ 1989 වසරවල මෙරට ඇවිළුණු හිත්පිත් නොමැති ත්‍රස්තවාදී ගිනිදැල්වලින් බිලිගත් දහස් ගණන් තරුණ ජීවිත පිළිබඳ මතකය අප සිත් තුළින් මැකී ගොස් නොමැත.  


අවසාන ප්‍රතිඵලය භීෂණය බව නොදැන පාලකයන්ගේ හා ත්‍රස්තවාදීන්ගේ මර්දනයට එරෙහිව නිදහස් අදහස් ප්‍රකාශ කළ ලියා පළකළ හා දේශන වැඩමුළුවලට සහභාගි වූ නව යොවුන් පරපුරක් මෙසේ අකාලයේ දැයෙන් සමුගත්හ. මොවුන්ගෙන් සමහරෙකු මව්පියන් ඉදිරියේදීම ඝාතනය වූ අතර ඇතැමෙකු ප්‍රශ්න කිරීමට යැයි රවටා රැගෙන ගොස් අතුරුදන් කෙරිණ.


1971 ජවිපෙ මෙහෙයවූ කැරලි සමයේ එලෙස පැහැරගෙන ගොස් වධදී මරා දැමූ ප්‍රේමවති මනම්පේරි නමැති කතරගම විසූ රූපරාජිණිය ගැන මාධ්‍ය තුළින් මහත් ප්‍රසිද්ධියක් දී තිබිණ. නිදහස් අධ්‍යාපනයත් ජාතික නිදහසත් නිසාම නිදහස් අදහස් පළ කළ ඇය රූපයෙන්ද අගතැන්පත්වීම නිසා අන්තගාමින්ගේ වෛරයට හසුවූවාය.


දසවධදී අවසානයේ ප්‍රසිද්ධියේ මහ මග නිරුවතින් ඇවිද්ද වූ මනම්පේරි තරුණියට අපේ රටේ ආරක්ෂක හමුදාවේ හිත්පිත් නොමැති නිලධාරින් විසින් වෙඩිතබා මාරාන්තික තුවාල සිදුකරන ලදි.


මරණ මංචකයේ වැතිර සිටි ඇය ගම්වැසි වැඩිහිටියකුට තමා අසලට එන්නැයි සංඥා කළාය. ඇය තමාගේ රන් අබරණ මවට දෙන්න යැයි අවසාන ඉල්ලීමද කළාය. ඇය ජීවතුන් අතර සිටින බව දුටු සෙබළු යළි ළඟටම පැමිණ ගිනි අවියෙන් ඇගේ හිසටම වෙඩි තබා ඝාතනය කළේ ලෝපාලක දෙවියන් පවා කම්පා කරමිනි. 


1989 භීෂණ සමයේදීද එවැනි ලොමුදැහැගන්වන අතිශය දුෂ්ට පාපකර්මයක් බිනර මහේ සිදුවිය. එයද සිදු වූයේ කුසලතා පූර්ණ නව යොවුන් තරුණියකටය. ඇය රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාවක හා රංගන ගායන ශිල්පිනියක වූ සාගරිකා ගෝමස් ය. භීෂණයේ රුදුරු ගිනිදැලින් ඇය වෙළාගන්නා විට 27 වැනි වියේ පසුවූවාය.


දෙහිවල රූපා සභ සැම්සන් යුවළගේ සිවුදරුවන් ගෙන් කාගේත් අවධානයට හා ආදරය හිමි වූ මෙම දැරිය කුඩාවියේ සිටම අහස් ගඟට මෙන්ම සඳවතට පෙම් කළාය.  ඇය අතින් සුන්දර කවි පද ගෙතිණ.


‘පුංචි ළමුන් හරි හොඳයි
රෝස පඳුරෙ මල් වගෙයි
නරක ලොකු මිනිසුන් තමයි
රෝස පඳුරෙ කටු වගෙයි’


දෙහිවල ප්‍රෙස්බිටීරියන් විද්‍යාලයේ මෙන්ම දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් සිප්සතර හදාරන අතරතුර තම කලා කුසලතා දියුණු කරගත්තාය. ඒ මහා මුද්‍රා නාට්‍යකරු චිත්‍රසේනයන් හා වජිරාගෙනි.


ගුවන් විදුලි රඟමඬලින්ද ප්‍රසිද්ධ රංගන වේදිකාවෙන්ද නූර්ති හා නාඩගම් ගැයුමෙන්ද ඇයගේ ප්‍රතිභාව හා එඩිතර බව නිරූපණය විය ‘ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී’ යන නූර්ති ගීය රඟමින් ගැයූ අයුරු ප්‍රේක්ෂකයන්ට තවමත් මතකය.


ටවර්හෝල් පදනමේ පොත් තබන්නියක ලෙස සේවය කළ සාගරිකාගේ නිදහස් වෘත්තිය වූයේ රූපවාහිනී නිවේදන කලාවයි. ප්‍රේමකිර්තිද අල්විස්, කරුණාරත්න අබේසේකර ආදි දැවැන්තයන් සමග සේවය කිරීමට ලැබීම ඇය භාග්‍යයක් කොට සැලකුවාය.


භීෂණ සමයේ ගුවන් විදුලි හා රූපවාහිනි මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති කියැවීම පිටතින් සුන්දර දසුනක් වුවත් මරණයට අත වනන ‘දේශද්‍රෝහි’ ක්‍රියාවක් ලෙස අත්තවාදින්ගේ මෙන්ම ඇතැම් බලධාරින්ගේද මතය විය. 
‘මගේ රත්තරන් දුව දන්න දේශපාලනයක් නෑ එයා කොයිකටත් ඉදිරිපත් වුණා. කාටත් උදව් කළා. එයාගෙ හැකියාව දැකලම තමයි එයාට ඉහළට යන්න ලැබුණේ. උදව් කළ අය ගැන දුවගෙ තිබුණෙ ලොකු ළබැදියාවක්’
සාගරිකාගේ මව් පියෝ හැඬූ කඳුළින් යුතුව පැවසූහ. සාගරිකාට බලාපොරොත්තු රැසක් තිබිණ. ඒ පටු දේශපාලනමය හා ත්‍රස්තවාදිමය සිහින නොවේ. මව පියා සොයුරු සොයුරියන් රැක ගැනීමටය. කුසලතා ඔප්නංවා ගැනීමත් තමා උපන් දැයට සේවයක් කිරීමටත්ය.


ටවර්හෝල් පදනමේ ශිෂ්‍යත්වයක් අනුව 1993 දී පළමු වරට රටින් බැහැරව කල්කටාව බලායාමට ඇය වරම් ලැබුවාය. ඒ නාට්‍ය පාඨමාලාවක් හැදැරීමටය. පවුලේ වීරවරිය ලෙස සාගරිකා කිරුළ පලන් අතර ඇය හා සිහසුන දැරීමට යෝජිතව සිටි හමුදා නිලධාරියකු වූ පෙම්වතාද දහසක් පැතුම් පැතුවේය.


එදා 1989 සැප්තැම්බර 13 වැනිදාය. මේ දිනවල මුළු ලක්වැසි ජනතාව වෙළී සිටියේ සැම තත්පරයකම තමන් බිලිගැනීමට කුරුමානම් අල්ලමින් සිටින භීෂණ භීතිකාවෙන් කාන්තාවකට තබා කරදඬු උස්මහත් වූ පිරිමියකුට වුව තනිව මග බැස යාමට නොහැකි තරම් වාතාවරණය අවිනිශ්චිත විය.


සාගරිකාද දවසේ මෙහෙවර නිමකොට රාත්‍රී හනිහනිකට ගෙදර එන්නට වූයේ තමන්ට සුපුරුදු පරිසරය ගැන ඇති ආත්ම විශ්වාසය නිසාය. ඇය දුරතියාම දුටුවේ කවදාවත් නැතිව නිවසේ එළියක් නොදැල්වී ඇති බවය. අඳුරේ ගුප්ත බව මුළු පරිසරයම වෙළාගෙන තිබිණ.


‘අම්මේ ඇයි කළුවරේ? ලයිට් දාන්නේ නැද්ද?”


ඇය එසේ ඇසුවත් කිසිදු පිළිතුරක් ඊට නොලැබුණු අතර අඳුරේම ඇතුළු දොර විවෘත විණ. මොහොතකින් නාඳුනන මිනිස් අවතාර රැසකට සාගරිකා මැදිවූවාය. 


‘කෑ ගැහුවොත් මරනවා. දැන් අපි කියන විදියට වැඩ කරන්න ඕනෑ’


ගිනි අවි පෙන්වා බියගන්වා සිරකර සිටි මව පියා සොයුරු සොයුරියන් හඬා වැලපෙද්දී සාගරිකා පමණක් කොටුකරගත් නොමිනිස්සු ඇය නිවසින් පිටතට ගෙනයාමට සැරසුණහ.


‘අනේ මල්ලියේ. අයියේ මේ අපරාධ අපටම කරන්නේ ඇයි? මං ඔයාලට මොන වරදක් කළාටද?”


ඇගේ හඬ ඉස්මතු වූ නමුත් කිසිවකුගෙන් හෝ ගල් හදවත් උණු නොවිණ.


“අනේ මගේ දරුවාට මුකුත් කරන්න එපා අපි අහිංසකයි. එයාට තනිවම ගිහින් පුරුදු නෑ”


මව හඬා වැටුණාය. නියත වශයෙන්ම තමා රැගෙන යන්නේ එවන්නට නොවන බව සාගරිකාට වැටහිණ. ඇය තමා ගෙල බැඳි රන්දම, වළලු දෙක ගලවා පියා අතට දුන්නාය “මේක මගේ පූරුවෙ කරුමයක්. තාත්තේ අම්මේ ඔයාලා පරිස්සමින් ඉන්න”


එසේ ඔවුන් සැනසූ සාගරිකා මරුවන් පිරිස සමග අඳුරේ නොපෙනී ගියාය.


‘මාව මරන්න එපා. මං දැනුවත්ව වරදක් කර නෑ. අනේ මල්ලියේ කුප්පි ලාම්පුවෙන් පොත් පාඩම් කරලයි මං මේ තත්ත්වෙට ආවෙ. ඇයි මට මෙහෙම කරන්නේ’


සාගරිකාගේ හඬ අඳුරු වා තලයේ විසිරි ගියේය. නොපෙනෙන දෙවියකු හෝ ඇගේ දුකට පිහිටවීමට පැමිණේ යැයි අවසන් මොහොත වන තුරුම ඇය සිතුවාය. එම පැතුම රැඳුණේ අඩහෝරාවක් පමණි.


පසුදා අලුයම දෙහිවල මුහුදු තීරයට රැස් වූ ජනී ජනයා දුකින් කඳුලින් පිරි දෑසින් හා බියෙන් සැකයෙන් වෙළුණු හදවතින් දෑත් හිස මත තබා නරඹමින් සිටියේ තියුණු ආයුධවලින් ගෙල කපා මරාදමා තිබූ සාගරිකාගේ නිහඬ සිරුර දෙසය. සුදෝසුදු වෙරළ තීරය ලෙයින් නැහැවී තිබිණ. 


වෙනදා සිනා කෙළි කවටකම් පා දඟකාරව හැසිරුණු තම අසල්වාසී හිතවතිය නිහඬව නිසලව වැතිර සිටිනු දැකීම කාගෙත් කම්පනයට හේතුවිය. ඇය එතරම් කුරිරු ලෙස මරාදැමුවේ ඇයි?


භිෂණ සමයේ රජයේ මාධ්‍යයක ප්‍රවෘත්ති කී නිසාද? ඇයේ අනාගත සැමියා හමුදා නිලධාරියකු වූ නිසාද? එසේත් නැත්නම් ඇගේ දියුණුව දැක ඊර්ෂ්‍යාවෙන්ද යන්න තවමත් රහසකි. කෙසේ වෙතත් ඇයගේ මරණය ද එකතු වූයේ භිෂණයේ සංඛ්‍යාලේඛනයට ය.


ඇගේ සහෝදර මාධ්‍යවේදී රිචඞ්ද සොයිසාගේ නිසල සිරුරද හමුවූයේ දළ රළ පෙළ තරග නගන මෙවන් මුහුදු වැල්ලේදීය. 


ඔහු වධ දී මරා ගුවනින් මුහුදට හෙළුවාද යන්න තවමත් අබිරහසකි. දකුණු කොළඹ මහරෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනය වූයේ සාගරිකාගේ ගෙල තියුණු මුවහත් අවියකින් සිඳලීමෙන් මරණය වී ඇති බවයි.


‘සාගරිකා විතරක් නොවෙයි උන් අපේ දරු පවුලේ අයගෙ ජීවිත සේරම විනාශ කළා’ මවත් පියාත් අපරාධකරුවනට දෙස් දෙවොල් තැබූහ. සාගරිකාගේ මතකය සඟවා  ගන්නට දෙහිවල මුහුදු රළ පෙළට නොහැකිය. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන කිසිවකුටද නොහැකිය.


අනාගතයේ සුන්දර බිරිඳක, මවක මෙන්ම රට දැය කලා කුසලතාවෙන් සනසන පූර්ණ කලාවේදිනියක වන්න තිබූ සාගරිකාගේ ඉරණම 89 කුරිරු  දේශපාලනික ත්‍රස්තවාදය විසින් විනාශ කෙරිණ.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි