එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණයක් මත සෑම වසරකම සැප්තැම්බර් 08 වැනි දින ජාත්‍යන්තර ලේඛක දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.


ලෝකය පුරා වෙසෙන ලේඛක ප්‍රජාව සහ ලෝක සාමය සංහිඳියාව, ජාතික විමුක්තිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා එම ලේඛක ප්‍රජාව අතින් එදා මෙදාතුර සිදුවූ අපරිමිත සේවය අගය කිරීම මෙසේ ඔවුන් වෙනුවෙන් දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අපේක්ෂා කරන බව සඳහන්ව තිබේ. ජනතාවන්ට නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදීමෙන් පමණක් නොව අදීන මාධ්‍ය කලාවක් පවත්වාගෙන යාමට ද ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පුරෝගාමීන් අගය කිරීම ද මෙම දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් සිදුව ඇත. එයට නිමිත්ත වූ කරුණ ගැන සියල්ලන්ගේ අවධානය නිසැකවම යොමු විය යුතුය. ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ දිවිපෙවෙත සහ අනාගතය වඩාත් යහපත් හා සුන්දරවූවක් බවට පත්කරලීම උදෙසා මෙයට වසර 76 කට පෙර නිකරුණේ තම ජීවිතය උදුරා ගත් ම්ලේච්ඡ පැසිස්ට්වාදයට එරෙහිව ජනතාවගේ නිදහස උදෙසා තම වටිනා ජීවිතය කැප කළ ජූලියස් පූචික් නම් ශ්‍රේෂ්ඨ මිනිසා සහ අදීන මාධ්‍යකරුවාගේ ප්‍රාණ පරිත්‍යාගී ජීවගුණය සිහිපත් කිරීම වෙනුවෙන් ගෞරවය පුද කිරීමද මෙමඟින් සිදු වූ බව මාධ්‍ය ඉතිහාසයේ සඳහන් වෙයි.


මාධ්‍යකරුවා සහ ලේඛකයා යනු ප්‍රජාවට මග පෙන්වන්නා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. පසුගිය සියවස් කීපය තුළ ඔවුන් විසින් ඉටුකර ඇති කාර්යභාරය නිසා ලෝක ඉතිහාසයේ ගමන්මග සාකල්‍යයෙන්ම වෙනස් වූ බව නොරහසකි. ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයන්වූ ප්‍රංශ විප්ලවය, ඔක්තෝබර් විප්ලවය ආදී සංසිද්ධීන්ට පවා මග පෙන්වීම පිළිබඳ බලගතුම අයිතිය හිමිවන්නේ ගත් කතුවරුනටය. එය එම කටයුතුවල මූලිකත්වය ගත් දේශපාලන නායකයන්ට කරන අගෞරවයක් නොවේ. ලෙනින් සෝවියට් විප්ලවයට නායකත්වය දුන් බව ඇත්තකි. එහෙත් ජනතාවට එම සංකල්පය හඳුන්වා දී බීජයක් වශයෙන් පැවති එය පෝෂණය කර සජීවී බලවේගයක් බවට පත්කරනු ලැබුවේ ලේඛකයන් සහ ගත්කරුවන් විසිනි. ලෙනින්ද ලේඛකයකු වූ බව ද මෙහිලා සැලකිය යුතුය.


යුරෝපයේ තර්කානුකූල බුද්ධිවාදයේ විකාශය ඇතිවූවේ අනුක්‍රමයෙනි. අලුත් අදහස් පොත පත මගින් ප්‍රකාශ කරන්නට මුල් යුගයේදී කව්රුත් පාහේ බියවූ බව පිළිගත යුතු සත්‍යයකි. දහඅටවන සියවස වනවිටද තත්ත්වය මෙයම වූවේය. සැවොම සිටියේ පළිගනිනැති රජවරුනට බියෙනි. එහෙත් මෙම බිය ටිකින් ටික පහව යන්නට විය. හිතට එකඟව ඇත්ත කථා කළ උගත්තු සිය අදහස් පොත්පත් මගින් ප්‍රකාශ කරන්නට වූහ. අලුත් අදහස් පොත පතින් ප්‍රකාශ කළ ප්‍රධානම ලේඛකයෙක් වූවේ වෝල්ටෙයාර් නම් ප්‍රංශ ජාතිකයාය. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමේ වරදට මොහු බන්ධනාගාර ගත කරන ලදී. ඊට පසුව රටින් පිටුවහල් කරන ලදී. තවත් ටික කලකට පසු ඔහු ජිනීවාහිදී මිය ගියේය. අති දුර්ලභ බුද්ධි මහිමයකින් යුතුව සිටි වෝල්ටෙයාර් තම ලේඛන කුසලතාව ප්‍රදර්ශනය කිරීමට පටන්ගත්තේ වයස දහයේදී යැයි කියනු ලැබේ. අයුක්තියට, අසාධාරණයට සහ ආචීර්ණ කල්පිත පැරණි මතවලට පහර දුන් ඔහු වසර 1694 සිට 1778 දක්වා වූ දීර්ඝ කාලය තුළ ජීවත් වූවේය. මනා සේ විමසා නොබලා යමක් පිළිගන්නා මිනිසා තමාගේ නහය විද කරත්තයේ බඳින තුරු බලාසිටින ගොනෙකැයි වෝල්ටෙයාර් පැවසූ බව ලේඛන ගතව තිබේ. මොහුගේ මෙම අදහස් උදහස් යුරෝපයේ ජනතාවගේ බුද්ධි සංග්‍රාමය සාර්ථක කරලීම පිණිස මහත් මෙහෙයක් ඉටු කළේය. ජිනීවා නුවර අසල ජර්නි හි පිහිටි මොහුගේ නිවස අද වන විට බොහෝ ගෞරවයට හේතු වූ වන්දනා ස්ථානයක් බඳු ස්ථානයකි.
බුද්ධි විප්ලවයේ ඉදිරි ගමනට අතහිත දුන් තවත් ප්‍රකට ලේඛකයෙක් නම් ජින් ජැකස් රූසෝය. ඔහු උපන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේදීය. ඔහුගේ ලිපි ලේඛන මගින් ආගම සහ දේශපාලනය පිළිබඳව මහා ආන්දෝලනයක් ඇතිවිය. ඔහුගේ නවකථා මෙන්ම සමාජ හා දේශපාලන සිද්ධාන්ත බුද්ධිමත් ජනතාවගේ නෙත් සිත් අවදි කිරීමට සමත් විය. ප්‍රංශ මහා විප්ලවය නැගී ඒම සඳහා ඔහුගේ නව අදහස් බොහෝ සෙයින් බලපෑවේය. විප්ලවයක් කිරීමට රූසෝ කීවේ නැත. විප්ලවය මගින් වපුරන ලද බිජුවට ජනතාවගේ සිත් සතන් තුළ වැඩියෙන් රෝපණය කරවීමට උපයෝගී කරගනු ලැබුවේ රූසෝගේ ප්‍රකට පොතක්වූ ඩි කොන්ට්‍රාට් සෝෆියල් හෙවත් සමාජ කොන්ත්‍රාත්තුව නමැති කෘතිය බව සඳහන් වේ. මිනිසා නිදහස්ව උපන්නේය. එහෙත් ඔහු සැමවිටම සිටින්නේ යදම්වලින් බැඳීගෙනය. යනුවෙන් රූසෝ කළ සඳහන ප්‍රංශ විප්ලවයේ තේමා ගීතය බඳු විය. ලෝක ඉතිහාසය ගැන සැලකීමේ දී සාහිත්‍යයේ වගකීම සහ ලේඛකයාගේ කාර්යභාරය එබඳු විය.


පළමුවැනි ලෝක මහා සංග්‍රාමය 1918 නොවැම්බර් මාසය දක්වා වසර හතරකටත් අධික කාලයක් පැවතුණි. ලෝක ඉතිහාසයේ එතෙක් පැවති මහා මනුෂ්‍ය ඝාතනයත් සම්පත් විනාශයක් සිදුවූවේ එම විනාශකාරී යුද්ධයේදීය. මෙම යුද්ධය නිමාවට පත්වන විට එයින් සමස්ත ලෝක ප්‍රජාවම හෙම්බත්ව සිටියේය. නැවත මෙවැනි විනාශකාරී ක්‍රියාමාර්ගයකට මානව වර්ගයා ගොදුරු නොවනු පිණිස අවශ්‍ය විධිවිධාන යෙදීම පිණිස ජයග්‍රාහී රටවල් එක්ව ප්‍රංශයේ වර්සේල්ස්හිදි රැස්වී සාකච්ඡා සමුළුවක් පවත්වන ලදී. පරාජිත පක්ෂයෙන් ජයග්‍රාහකයන්ට යුද වන්දි ලබාගැනීම ජාත්‍යන්තර අර්බුද යුද්ධයක් දක්වා මෝරායාම වැළැක්වීම සඳහා සාකච්ඡා කර තීරණ ගත හැකිවන අන්දමින් ජාතීන්ගේ සංගමයක් පිහිටුවීම, පරාජිත පක්ෂයට අයත්ව තිබුණු රාජ්‍යයන් සහ යටත් විජිත ගැන පියවර ගැනීම, යනාදිය වර්සලේස් සම්මේලනයේදී සිදුවිය. නැගෙනහිර යුරෝපයේ යුද්ධයට පෙර බොහිමියාව නමින් රාජ්‍යයක් පැවතියේය.


එකල මහා බලසම්පන්න රාජ්‍යයක්වූ ඔස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යයට යටත්ව පැවති බොහිමියාව චෙකොස්ලෝවෙකියාව නම් නව රාජ්‍යයක් බවට පත්විය. යුද්ධය ආරම්භවීමට ද හේතු වූ සර්බියාව නම් රට නව ක්‍රමෝපාය අනුව යුගෝස්ලෝවියාව නම් වූ විශාල සංයුක්ත රාජ්‍යය බවට පත් වූවේය. මෙම අවධිය වන විට සෝවියට් ඔක්තෝබර් විප්ලවය සිදුවී ලොව ප්‍රථම සමාජවා දී රාජ්‍යය ලෙනින්ගේ නායකත්වය යටතේ ගොඩනංවා තිබුණි. එහි ආභාසය අවට රටවල්වලට ද සුවිශේෂී වශයෙන් දැනෙමින් තිබුණි. චෙකොස්ලෝවෙකියාව, පෝලන්තය, හංගේරියාව, යුගොස්ලේවියාව ආදී අවට රටවල්වල ද රුසියාවේ අනුග්‍රහය ලබමින් කොමියුනිස්ට් පක්ෂ ආරම්භ වීම සිදුවුණි. මෙම පක්ෂ දැඩි ලෙසම රුසියාවට පක්ෂපාත වූවා පමණක් නොව තම රටවල ද සමාජවාදී විප්ලවය සාර්ථක කර ගැනීම සඳහා කල්යල් බලමින් සිටිනු දක්නා ලදී. නිරන්තරයෙන් මෙම කලාපයේ පැවති විප්ලවීය උණුසුම බටහිර බලවතුන්ට රිස්සුවේ නැත.


පළමු ලෝක මහා සංග්‍රාමය ඇතිවීමට නියත්හ වූවේ තම තමාගේ රටවලට යටත්විජිත ඇතිකර ගැනීමට යුරෝපා බලවතුන්ට තිබුණු නොනිමෙන ගින්න සහ එම රටවලට යටත්ව සිටින ජාතීන් එම වහල් බන්ධනයෙන් මිදීමට ගත් නොනවතින උත්සාහය නිසා බව ලෝක ඉතිහාසයේ මනාව දක්නට ලැබේ. එවකට ඔස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යයයේ යටත් රාජ්‍යයක් වශයෙන් පැවති බොස්නියාවේ සංචාරයක යෙදෙමින් සිටි එම අධිරාජ්‍යයේ කිරුළට උරුමක්කාරයා වූ ෆ්‍රැන්සිස් පර්ඩිනන්ඞ් අග්‍ර ආදිපාදවරයා සහ එම ආදිපාද දේවිය ත්‍රස්තවාදියෙකු විසින් මරා දැමීම නිසා ඇතිවූ අර්බුදය නිසා මහා යුද්ධය ඇතිවූ බව අපි දනිමු. මෙම යුද්ධයේදී ජර්මනිය, ඔස්ටි්‍රයාව සහ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය සිටියේ එක පිලක් වශයෙනි. වසර හතරක් පුරා ඇදී ගිය මෙම යුද්ධය 1918 අවසානයේදී නිමාවට පත්වූවේ ජර්මනිය ප්‍රමුඛ කඳවුරට බරපතළ හානි සිදු කරමිනි. ඔවුන්ගේ යටත් විජිත සියල්ල අහිමිවූවා පමණක් නොව චර්සේල්ස් සාම සම්මුතිය අනුව බලවත් අවමානයකට මුහුණ දීමට ද සිදුවිය.

 

 


ජර්මනියේ හිට්ලර් බලයට පැමිණියේ මෙම ඓතිහාසික වරද නිවැරදි කරන බවට පොරොන්දු වෙමිනි. තමනට විඳින්නට සිදුව ඇති අවමානය මකාගෙන පෙර පැවති යශෝ කීර්තිය නැවතත් ගොඩනැගීමේ අභිප්‍රායෙන් යුතුව ජර්මන් ජනතාව හිට්ලර් වටා ඒකරාශී වූ බව පෙනී ගියේය. ඔහු යුදවාදියෙක් වූවේය. යුරෝපයේ පාලකයා වීමේ ආශාවෙන් මඩනා ලදුව සිටි හිට්ලර් ප්‍රංශය සහ බි්‍රතාන්‍ය යන බලවත් අධිරාජ්‍ය දෙකටම එකවරම අභියෝග කළේය. දිගු කථාවක් කෙටියෙන් ඉදිරිපත් කළහොත් තවත් බොහෝ කරුණුවලට අමතරව මුළු මහත් ජර්මන් ජනවර්ගයාම ජීවත්වන ප්‍රදේශ සියල්ලම තමාගේ පාලනය යටතේ තිබිය යුතුයැයි හිට්ලර් ලෝකයාට ප්‍රකාශ කළේය. ඒ අනුව චෙකොස්ලෝකියාවේ

සුඩෙටන්ලන්තය සහ ජර්මානුවන් වෙසෙන තවත් ප්‍රදේශ කීපයක් තමාට පවරා දිය යුතුයැයි 1938 සැප්තැම්බරයේදී බි්‍රතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු ප්‍රතිපාක්ෂික පිලේ රටවලට හිට්ලර් දැනුම් දුන්නේය. හිට්ලර්ගේ මාර්ගයෙන් කොමියුනිස්ට් ක්‍රමය දියුණුවීමේ අන්තරාව මැඩ පැවැත්වීමට අදහස් කළ බි්‍රතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් මහතා කැමතිවූවේ සිත යට තිබූ අකමැත්ත දරා ගනිමිනි. කෙසේ හෝ චෙකොස්ලෝවේකියාවට අයත් විශාල ප්‍රදේශයක් ජර්මනිය සතුවිය. මෙම ක්‍රියාවට එරෙහිව එම රටේ දේශප්‍රේමීහු සටන් වැදුණාහ. මෙම කලාපයේ ප්‍රධාන රාජ්‍යය වූ සෝවියට් රුසියාව ද යුද්ධයට ඈඳී ගිය නිසා ලොව පුරා සියලු කොමියුනිස්ට්වාදීහු යුද්ධයට තම අනුග්‍රහය දැක්වූහ.


චෙකොස්ලෝවෙකියාවේ කොමියුනිස්ට්වාදීහුද හිට්ලර්ගේ ආක්‍රමණයට විරුද්ධ වූහ. යාබද පෝලන්තයට පහරදීමෙන් යුද්ධය ආරම්භ වූ අතර රුසියාවේ රතු හමුදාවද කෙළින්ම යුද්ධයට මැදිහත්ව සිටින බව දක්නා ලදී. රුසියාවේ පමණක් නොව චෙකොස්ලෝවෙකියාවේ ද පුවත්පත් හා එදා පැවති ගුවන්විදුලිය ඇතුළු අනෙකුත් ජනමාධ්‍ය ද හිට්ලර්ගේ විනාශකාරී ආක්‍රමණයට විරුද්ධව පුළුල් ජනමතයක් ඇති කිරීම උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය. එම ව්‍යාපාරයේ ප්‍රබලයකු වූවේ එරට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ රුඞ් ප්‍රාවෝ පත්‍රයේ කර්තෘ ජූලියස් පුචික්ය. දැඩි ශෛලියකින් හිට්ලර් සහ ඔහුගේ ආක්‍රමණයත් එමෙන්ම ඔහුගේ ජාතිවාදී හා ආගම්වාදී මර්දනයන්ද දැඩි ලෙස හෙළා දුටු පුචික් තම රටවාසීන් තුළ දේශප්‍රේමී සහ විමුක්තිකාමී අදහස් පතුරුවාලීම සඳහා මහත් මෙහෙයක් ඉටු කළේය.


චෙකොස්ලෝවියාව ආක්‍රමණය කළ හිට්ලර්ගේ හමුදාවෝ එරට ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත යුදෙව් ජාතික බාල, තරුණ, මහලු පුරවැසියන් ලක්ෂ ගණනින් අත්අඩංගුවට ගත්හ. ගෑස් කාමරවල දමා මරා දැමූහ. මෙවැනි දුෂ්ට ක්‍රියාවනට එරෙහිව ජූලියස් පූචික් තම පුවත්පත මෙහෙයවීය. අදීන මාධ්‍යවේදියෙකු ලෙස හිට්ලර්ගේ මර්දනකාරී පාලනය විවේචනය කළේය. මෙය පාලකයන්ගේ ඇසේ ඇනුණු කටුවක් මෙන් වේදනා ගෙන දෙන කාරණයක් විය. නොයෙකුත් තෑගි බෝග අල්ලස් සහ පදවි තානාන්තර වරදාන, වරප්‍රසාද පිළිබඳ යෝජනා ගලා එන්නට පටන් ගත්තේය. එහෙත් ඒ කිසිවකට ජුලියස් පූචික් නම් වූ එම අභිමානවත් ලේඛකයා තමාගේ වරප්‍රසාද වෙනුවෙන් ජාතියේ නිදහස හා මාධ්‍යවේදියෙකුගේ ඓතිහාසික කාර්යභාරය පාවා නොදුන්නේය. ඔහු දුෂ්කර මාවත තෝරා ගත්තේය. නිසැක මරණය තමාගේ අනාගත ඉරණම වන බව දැන දැනත් මාධ්‍යකරුවෙකු සහ ලේඛකයෙකුට අත්‍යන්තයෙන්ම සතුවිය යුතු අදීනත්වය හා තම සමාජ වගකීම පිළිබඳ කැපවීම සිහියේ නගා ගනිමින් යුක්තියේ මාවත තෝරා ගත්තේය. ගෙස්ටාපෝ ජර්මන් රහස් පොලිසිය ජුලියස් පූචික් අත්අඩංගුවට ගනු ලැබුවේ 1942 අප්‍රේල් 24 වැනිදාය. මාස කීපයක් තිස්සේ දරුණු වධ බන්ධනයට ලක්කිරීමෙන් පසුව වුවද ඔහුගේ මුවින් පොලිසියට අවශ්‍ය එකදු වචනයක්වත් ලබා ගැනීමට නොහැකිවීමෙන් ඔව්හු කෝපයට පත් වූහ. ඔවුන්ගේම උසාවියක කෙටි නඩු විභාගයකින් පසු බලාපොරොත්තු විය යුතු අයුරින්ම මරණීය දණ්ඩනය නියම විය. එසේ මරණය තමා කරා එළඹෙන තෙක් සිර කූඩුවේ වේදනාවෙන් කල්ගත කරන අතරතුර සිරගෙදර ජේලර්වරයෙකුගේ උපකාර ඇතිව අගනා කෘතියක් රචනා කරන ලද්දේ ඉමහත් ප්‍රයත්නයකිනි. එම ජේලර්වරයා සපයා දුන් කඩදාසිවල පැන්සල් අකුරින් ලියන ලද සටහන් දිනපතා එම නිලධාරියා විසින් පිටතට ගෙන යන ලද්දේ මරණය අතේ තබාගෙනය.

 

ප්‍රාග් නුවර පන්ක්‍රාප්ට් සිරගෙදර

 


ජූලියස් පූචික්ගේ බිරිඳ වූ ඔගස්කිනාද යුද සමයේ ජර්මන් සිරභාරයේ පසුවූවාය. එහෙත් ඇය සිරගෙදර සිටියදීම සෝවියට් රතු හමුදාව ප්‍රාග් නගරය අල්ලාගනු ලැබීය. එහෙයින් ඇය වාසනාවන්තියක වූවාය. 1945 මැයි මාසයේ දී ඔගස්ටිනා නිදහස්ව තම නිවසට පැමිණියාය. එතැන් සිට ඇය තම ආදරණීය සැමියා කොහේ වෙසෙන්නේදැයි සෙවීමට වූවාය. ජූලියස් සමග හිරගෙදර සිටි සමකාලීන සිරකරුවන් ඇයට හමුවිය. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ඔහුට මරණ දඬුවම නියමවීමෙන් දින දාහතරකට පසු එනම් 1943 සැප්තැම්බර් 8 වැනිදා ඔහු මරා දමා ඇති බව ඇයට දැනගන්නට ලැබුණි. ප්‍රාග් නුවර පන්ක්‍රාප්ට් සිරගෙදර සිටිය දී ඔහු සටහන් වගයක් ලියනු තමන් දුටු බව ද සිරගෙදර සමකාලීනයෝ ඇයට පැවසූහ. තම සැමියා මරා දමා ඇති බව දැනගත් එම ආදර බර බිරිඳ හිත හදාගෙන මෙම සටහන් කඩදාසි සොයා යාම ඇරඹුවාය. සොයන්නාට සම්භ වේ, කීවාක් මෙන් ඇයට එම සටහන් ද සොයා ගැනීමට හැකි විය. ඒ සෙලෙන්ස්කි නම් වූ ජේලර්වරයා විසින් සියදිවි පරදුවට තබා සිරගෙදරින් පිටතට ගෙනවුත් විශ්වාසවන්ත මිනිසුන් වෙත සඟවා තිබුණු මෙම සටහන් ඇය සොයා ගත්තාය. පෝරකයේ සිට ලියූ සටහන් නමින් ජූලියස් පූචික්ගේ නමින් පළවී ඇති විශ්ව සම්භාවනීය ග්‍රන්ථය ඔබ කියවා ඇතැයි මම සිතමි. ඒ ජූලියස් පුචික් මරණයේ සෙවණැල්ල යට සිට ලියූ ඒ අවිධිමත් සටහන් ගොන්නය.


ලෝකයේ මේසා අවධානයකට යොමු වූ ශ්‍රේෂ්ඨයෙකු වූ ජූලියස් පූචික් නම් ලේඛකයා චෙකොස්ලෝවෙකියාවේ ප්‍රාග් නගරයේ ස්මිඩෝව් නම් පෙදෙසේ දී 1903 පෙබරවාරි 23 වැනිදා උපත ලද්දේය. වානේ කම්හලක කම්කරුවෙකු වූ සිය පියාගේ අඩි පාරේ නොගොස් අදීන මාධ්‍ය කලාවක් වෙනුවෙන් ජීවිතය පූජා කළේ අවුරුදු හතළිහක් තරම් වූ අඩු වයසේදීය. මිනිස් වර්ගයාගේ විමුක්තිය හා අදීන ලේඛන සම්ප්‍රදායක් ලෝකයට ඉතිරි කරදීම සඳහා මෙම වටිනා මිනිසා විසින් සිදුකළ ප්‍රාණ පරිත්‍යාගය අගය කළ මිනිස් වර්ගයා සැප්තැම්බර් 08 වැනිදා දිනය ලෝක සාක්ෂරතා දිනය හෙවත් ලෝක ලේඛක දිනය ලෙස නම්කර ගෞරවයෙන් සමරනු ලබයි. මානව දයාව සහ ශිෂ්ට සම්පන්න මිනිස් සමාජයක් අගය කරන ලෝකවාසී සකල ජනයන් විසින්ම මෙම පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් තවත් බොහෝ කාලයක් යනතුරු ජූලියස් පූචික් නාමය ගෞරව බහුමානයෙන් යුතුව සිහිපත්  කරනු  ඇත.


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි