රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් ලෙස විවිධ පළාත්වලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සිටිය ද ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා වූ ඇන්.ඇම්. සහ පිලිප්ගේ හඬ මුළුමනින්ම යොමුව තිබුණේ දුක් විඳින දහදිය මහන්සිය එකම සුදුසුකම ලෙස සලකා ජීවන වෘත්තියෙහි යෙදෙමින් සිටින අසරණ ජන ප්‍රජාව වෙත ය. මෙකී පිරිස සුදු අධිරාජ්‍යවාදීන්ගේත් වතු කොම්පැනිකාරයන්ගේත් ග්‍රහණයට හසුව සිටියහ. 


මෙහිදී ලංකා කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයාව සිටි දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා ගෙන ගිය ජාතික ව්‍යාපාරය ද අප අවධානයට යොමු කළ යුත්තක් වෙයි. 
1931 ඔක්තෝබර් 07 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව දෙවනත් කරමින් අය වැය විවාදයට එක් වූ දොස්තර වික්‍රමසිංහ මෙසේ එක දිගට කතා කරගෙන ගියේය. 
අපට සම්පූර්ණ වගකීමේ ආණ්ඩුවක් නොලැබෙන්නේ නම් අප විසින් වගකිව යුතුව ඇත්තේ මේ රටේ ජනතාවට යැයි මම විශ්වාස කරමි. අපට අමාත්‍ය මණ්ඩලයක් තිබෙන බව ඇත්තකි. මේ අය වැය ලේඛනය ඉදිරිපත් කොට ඇත්තේ ඔවුන් විසිනි. එහෙත් මම එම ආණ්ඩුවේ කොටස්කාරයකු නොවන බව කියා සිටිමි. අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ගැන අපේ වගකීමක් නැත. සමහර ඇමැතිවරුන් පත් කොට ඇත්තේ පත් කළ මන්ත්‍රීවරුන් විසින්ය යනු ප්‍රකට රහසකි. මේ බව අපි හැවොම දනිමු. ඔවුනට සහයෝගය දීමේ සම්පූර්ණ වගකීම කරට ගන්නා ලෙස දැන් අපට කියනු ලැබේ. 


වියදම් අඩු කිරීම පිණිස බොහෝ සෙයින් රස්සාවල් අඩු කර තිබෙන බව සභානායකතුමා මේ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් සඳහන් කළේය. මෙයින් අදහස් වන්නේ මේ රටේ වැඩ කරන ජන සමූහයාගෙන් විශාල කොටසකට රස්සාවල් නැති බවයි. ඒ බව අපි හොඳින්ම දනිමු. මේ වැඩි වශයෙන් රස්සාවට ගෙන සිටින කම්කරුවන් රස්සාවට ගෙන සිටින ස්වාමියගේ ආණ්ඩුවයි. මේ රටේ වතුවල කම්කරුවන් විශාල ගණනින් රස්සාවලින් නෙරපනු ලැබිණි. අදත් මතුවටත් අප රට හමුවේ තිබෙන ලොකුම ප්‍රශ්නය රස්සා හිඟය පිළිබඳ මේ ප්‍රශ්නයයි. මේ අවාසනාවන්ත මිනිසුන්ට නඩත්තු වැටුපක් දීම ගැන ඇතැම් මන්ත්‍රීවරුන් අවඥා කළ ආකාරය ඇත්තෙන්ම කනගාටුදායකය. මේ මිනිසුන් කම්මැලියන් යැයි කීම සුදුසු නොවේ. එය අසත්‍යයකි. 


නිත්‍ය වශයෙන් රස්සා නැතිව යන විට මිනිස්සු අකාර්යක්ෂම වෙති. රස්සාවට සුදුසු නොවෙති. ඔවුන් මේ තත්ත්වයට වැටෙන්නේ මේ කරුණුවල බලපෑම් නිසාය. එබඳු තත්ත්වයක් ඇති නොවන්නට වග බලා ගැනීම ඕනෑම ආණ්ඩුවක වගකීමය. 


රටෙහි කාර්යක්ෂමතාවක් ඇති කිරීමට අප කැමැති නම් ජනයාට අවම වශයෙන්වත් උවමනා කරන දේවල් ආණ්ඩුව විසින් සැපයිය යුතුය. ආයතනයන්හි ශ්‍රේෂ්ඨ කාර්යක්ෂමතාව අනුව කල්පනා කිරීම රත්පිත් විකාරය වැනි ලෙඩකි. ඒ රෝගය වැලඳුණ තැනැත්තා ඔහුගේ ජීර්ණ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ගැන කොතරම් සැලකිලිමත් වන්නේ ද කිවහොත් ජීවත් වීමට පටන් ගැනීමට පෙර ඔහු මිනී වළ කරා යයි. 


මේ දුෂ්කර සමයේ රජය නමැති නෞකාව පදවා ගනු පිණිස තමාට ආධාර වන ලෙස සභා නායකයා අපෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔහු විසින් බර පැටවිය යුත්තේ පොහොසතුන් පිටින් හා මේ රටේ බහුජන සමූහයාගේ දැඩි උවමනාවන් හා සසඳන විට සුඛෝපභෝගී සැප පහසුකම් ඇතිව වෙසෙන ජනයා පිට යැයි මම ඔහුට යෝජනා කරනු කැමැත්තෙමි. විශේෂයෙන් මේ කාලයේ අප හමුවේ විශාල ප්‍රමාණයෙන් පවතින ප්‍රශ්නයක් නම් ධනය බෙදා හැරීමේ අසමානතාව පිළිබඳ ප්‍රශ්නයයි. එබැවින් අඩු කරදර ඇති බර ඉසිලිය හැකි ජනයා මත රජය නඩත්තු කිරීමේ වගකීම පැටවෙන්නට වග බලා ගැනීම රජයේ යුතුකමය. 


ඇමැතිවරුන්ට සහයෝගය දෙන ලෙසට අපට කියන මුත් අන්‍යොන්‍ය විශ්වාසය නැති විට මුළු හිතින් ඔවුන්ට සහයෝගය දීමට අපට නොපිළිවන. ඇමැති මණ්ඩලය පළමු කොට තම යුතුකම් ඉටු කළ යුතුව ඇත්තේ තමන් සර්ව ජන ඡන්දයෙන් තෝරා පත් කළ මේ රටේ ජනතාවට මිස මේ රටේ නිලධාරී පැලැන්තියට නොවේ යැයි ඔවුන් මතක තබා ගත යුතුය. 
වම එකතු කළ ඇන්. ඇම්. පිලිප් මෙන්ම දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ද මෙරට පොදු ජනතාව වෙනුවෙන් සිය ශ්‍රමය ධනය පමණක් නොව සේනානායකලා ජයතිලකලා ගෙන ගිය අධිරාජ්‍ය උරුමය රැක ගනු සඳහා වු නොනවතින විප්ලවයේ හරහට සිටිය වුන් වූයේ දැවැන්ත අරගල තුළින් එසේ මෙසේ නොවූ ජන හදවත් එක් කිරීමේ ව්‍යාපාරයක් තුළිනි.