ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

09 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

දිවයින පුරා පෝස්ටර ඇලවීම හරහා සිදුකරන ප්‍රචාරක කටයුතුවලට අමතරව ව්‍යාපාරය මගින් මුද්‍රිත පත්‍ර හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.


1970 අග භාගය වන විට ව්‍යාපාරය ජනතා විමුක්ති පුවත්පත ප්‍රකාශයට පත්කරන්නට පටන් ගෙන තිබුණි. අපි පත්තර විශාල වශයෙන් ලංකාවේ උතුරු පළාතේ හා මඩකළපුවේ හැර අනෙක් සියලු පළාත් හි අලෙවි කළෙමු. උතුරු පළාතේ ද සිංහල ජනයා ජීවත් වූ වවුනියාව මඩුකන්ද මාමඩුව වැනි ප්‍රදේශවල ව්‍යාපාරය ක්‍රියාත්මක විය. පුවත්පතෙහි ප්‍රකාශක ලෙස අම්බලන්ගොඩ දූවෙ සිසිල්චන්ද්‍ර සහෝදරයා කටයුතු කළේය. එහි නිල නොලත් කතෘ ලෙස කටයුතු කළේ 71 කැරැල්ලේදී සිංහරාජයට පසු බසිමින් සිටිය දී මීගහතැන්නේ දී දිවි පිදූ අම්බලන්ගොඩ මහපන්සල පාරේ සුබසීල කොඩිකාර සහෝදරයායි.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තිබූ සමාජවාදි ශිෂ්‍ය සංගමය නම් නිහාල් ඩයස් ඇතුළු පිරිසකගේ ක්‍රියාකාරීත්වය යටතේ තිබූ මාක්ස්වාදී ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය මේ වන විට කෑගල්ලේ සරත් විජේසිංහ සහෝදරයා හරහා අපේ ව්‍යාපාරය විසින් අල්ලාගෙන තිබුණි. එම ශිෂ්‍ය සංගමය ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ වැනි නමකින් කුමානායක සහෝදරයා විසින් පළකළ පුවත්පතක් ද අපේ සහෝදරවරුන් අතර බෙදා හරින ලදී. 1971 මුල් කාලයේදී නවරත්න බණ්ඩා සහෝදරයා හරහා ‘රතු බලය’ නම් පත්තරයක්ද ව්‍යාපාරය විසින් මුද්‍රණය කරන ලදි.


1970 ජූලි 10 වැනිදා හයිඞ්පාක් පිටියේ රැස්වීමක් විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සූදානම්කර ඇති බැවින් එම රැස්වීම පිළිබඳ ප්‍රචාරක පෝස්ටර් ඇද ත්‍රිකුණාමලය නගරයේ අලවන ලෙස මට දන්වා එවා තිබුණි. ඒ අනුව මම සවස ගරුසිංහ හා තිලකරත්න සහෝදරයන් නැවතී සිටි නවාතැන් පොළට ගියෙමි. ඔවුන්ට රැස්වීම පිළිබඳ විස්තර කීවෙමි. පසුව ඩිමයි කොළ හා අවශ්‍ය දෑ ගෙනවිත් ගරුසිංහ සහෝදරයාගේ කාමරයේ සිට අපි විසින්ම පෝස්ටර් ඇන්දෙමු. ඒවා ඇලවීම පිණිස රාත්‍රී 11 ට පමණ පාප්ප බාල්දිය හා පෝස්ටර් ද රැගෙන පිටත් වූයෙමු. මා සමඟ ගරුසිංහ, ෂෙල්ටන් (ගුරුවරයා) හා ෂෙල්ටන් තිලකරත්න යන සහෝදරවරු මේ සඳහා එක්ව සිටියහ.
අප පෝස්ටර් අලවාගෙන යන විට බයිසිකලයකින් පැමිණි දෙදෙනෙක් බයිසිකලය නවතා ගරුසිංහ අල්ලා ගත්හ. ගරුසිංහ එකවරම දෙදෙනාටම පහර දෙන්නට විය. (ගරුසිංහ කරාටේ ඉගෙන ගෙන තිබුණි) බයිසිකලයෙන් පැමිණි අය තමන් පොලීසියෙන් බව කියා හැඳුනුම්පත් පෙන්වූහ. අප ළඟ තිබූ පෝස්ටර් පෙන්වා ඒවා අවසර ඇතිව පවත්වන රැස්වීමක පෝස්ටර් බව අපි කීවෙමු. පොලීසියට ගොස් මේ බව කියා පසුව පෝස්ටර් ටික අලවන්න යැයි එම නිලධාරීහු කීවෝය. ඒ අනුව අපි පොලීසියට ගියෙමු. අපට වාඩිවී සිටින ලෙස කී ඔවුහු සාජන් මහතා එක්ක එන්නම් කියා යන්න ගියෝය.


මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් කිසිවක් දන්නේ නැති බවත් මා කියූ නිසා මෙය කළ බවත්, කියන්න කියා මම ඔවුන්ට කීවෙමි. විජේවීර අප පාසලේ ඉගෙන ගත් (අම්බලන්ගොඩ ධර්මාශෝක) අයකු බවත්, ඔහු මාගේ මිතුරෙකු බවත්. පාසල් යන කාලේ සිට ආශ්‍රය කරන අයෙකු බවත්, පෝස්ටර් ටිකක් අලවන ලෙස ඔහු මට ලියුමකින් දන්වා තිබුණු බවත් මා කියන්නම් කියා කීවෙමි. පෝස්ටරය ලියන විදියත් ලියා එවා තිබුණා කියා මා මෙසේ කළ බවට මම වගකීම බාරගන්නා බවද කීවෙමි.
සාජන් මහතා පැමිණියේ පැය භාගයකට පමණ පසුවය. අප දිහා බලාගෙන සිට ඇඟිල්ල දික්කර ‘තමා ගරුසිංහ නේද’ කියා ඇසූ ඔහු ෂෙල්ටන් සහෝදරයා දෙස බලා ‘තමා ෂෙල්ටන් නේද? දෙන්නම මැදි විදුහලේ ගුරුවරු නේද’ කියා විමසීය. අනතුරුව මා දෙස බැලූ ඔහු ‘තමා කවුද’ කියා මගෙන් ඇසුවේය. මා දැක තියෙනවා නමුත් හරියට මතක නැතැයි ද ඔහු කීවේය ‘සාජන් මහතා දුම්රිය වැඩ වර්ජනය වෙලේ දුම්රිය ස්ථානයේ සිටියා මට මතකයි’ කියා මම කිවෙමි. ශිෂ්‍ය තිලකරත්න පෙන්වා ඔහු කවුදැයි ඇසුවේය. ඔහු මැදි විදුහලේ ළමයෙකු බව මම කීවෙමි. කට උත්තරයක් දී යන්නැයි කියා ඔහු යන්නට ගියේය. පසු දින (1970.08.08) ඇඟිලි සලකුණු, ඡායාරූප, ශරීරයේ ලප හා තුවාල කැළැල්, කට උත්තර ලබාගැනීමෙන් පසු පොලීසියෙන් පිටව යෑමට හැකිවිය. මේ ඡායාරූප වලට අදාළ ශරීර ලක්ෂණ පොලිස් නිලධාරියා සටහන් කර ගැනීමේදී මාගේ සහ ගරුසිංහ සහෝදරයාගේ විස්තර හා සලකුණු මාරු කරගෙන සටහන් කර ගැනීම විශේෂ සිද්ධියකි. මෙය අත් වරදක් ද සිතාමතා කරන ලද දෙයක්ද යන්න මට ප්‍රශ්නයක් වී තිබුණි. අපට ඇප ලබා දුන්නේ අප කාර්යාලයේ ලිපිකරු සේවයේ ජයන්ත මනුකුලසුරිය මහතාය.


ටික කලකට පසු ගුරු අභ්‍යාස විදුහලෙන් පිට වූ විමලරත්න සහෝදරයා ද ස්වකීය ගම් ප්‍රදේශය වූ ත්‍රිකුණාමලයට මාරු වී පැමිණියේය. මොහු ගුරු විදුහලේදී අප ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කළ අයෙකි. මොහු මේ ප්‍රදේශයේ අයෙකු නිසා ව්‍යාපාරයේ කටයුතු සාර්ථක වීමට හේතුවිය. මොහු ගරුසිංහ, ප්‍රේමදාස, ඥානරත්න යන සහෝදරවරු සහ ෂෙල්ටන් සහෝදරවරු දෙදෙනා එක්ව ඉතා කැපවීමෙන් ව්‍යාපාරයේ කටයුතු කරගෙන ගියෝය. 1988 - 1989 අරගලයේදී නායකයෙකු ලෙස සිට ඝාතනය වූයේ මේ විමලරත්න සහෝදරයා යැයි සිතමි.


මා ත්‍රිකුණාමලයේ කටයුතු භාරගනිද්දි නාවික හමුදාවේ තිලකරත්න සහෝදරයා හැරුණු විට ක්‍රියාකාරීව ව්‍යාපාරය සමඟ එක්ව සිටියේ ප්‍රේමදාස, ඥානරත්න සහ ෂෙල්ටන් සහෝදරවරු දෙදෙනා යන සිව් දෙනා පමණක් වන අතර මේ කාලය වන විට පක්ෂයේ ඒ ලැයිස්තුවට සහෝදරයන් 200ක් පමණ බඳවා ගැනීමට හැකි වී තිබුණි. මේ සඳහා ගරුසිංහ සහෝදරයාගේද උපරිම සහය ලැබුණි. ඔහු ත්‍රිකුණාමලයට එන තෙක් පන්ති පැවැත්වීමට සිටියේ මා පමණි.


පොලීසියට කට උත්තර දී පැමිණීමෙන් පසු සාජන් මහතා නිතර මා සොයා පැමිණෙන්නට පටන් ගත්තේය. මා නැවතී සිටි කාමරයට මෙන්ම කාර්යාලයට ද පැමිණෙන්නට විය. මේ බව සනත් හා විජේවීර සහෝදරවරුන්ට ද දැන්වීමි. වැඩ කටයුතු අන් අයට පවරා අත්අඩංගුවට පත් නොවී හැකි තරම් කල් ත්‍රිකුණාමලයේ රැඳී සිටින ලෙසත් බැරිම නම් වෙනත් ප්‍රදේශයකට ගොස් වැඩ කිරීම සුදුසු බවටත් ඔවුන්ගෙන් උපදෙස් ලැබුණි. මේ නිසා මම ගරුසිංහ සහෝදරයාට හා විමලරත්න සහෝදරයාට මේ බව කියා දිස්ත්‍රික්කය ඔවුනට බාරදී ව්‍යාපාරයේ කටයුතුවලින් මදකට ඈත්වූයෙමි.


තවද ඉන්පසු ආර්ථික අතින් අපහසුතා තිබූ බැවින් බිරිඳ හා දරුවන් දෙදෙනාද මා සිටි නිවාසයට ගෙන්වා ගත්තෙමි.


වැඩ අවසන් වී මම වොලිබෝල් ගැසීමට පටන් ගත්තෙමි. දුම්රිය සුභසාධක සමිතිය මඟින් මේ පහසුකම් සපයා තිබුණි. කලින් මා මෙයට සහභාගි වූයේ නැති නමුත් සාජන් මහතාගේ නිතර පැමිණීම නිසා මා තරුණයන් සමඟ ක්‍රීඩා කරන අයකු බව පෙනවීමට මම සවස සෙල්ලම් කරන්නට පටන් ගතිමි. එවිට සමහර දිනෙක මොහු පැමිණ බලාගෙන සිට යන්නට ගියේය.


එදා 1971 මාර්තු 18 වැනිදා අපගේ සහෝදරවරුන් සමග පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළ බව මට මතකය. සාජන් පැමිණීමට ඉඩ ඇති නිසා මම දිගටම සෙල්ලම් කරමින් සිටියෙමි. මේ වන විට කෑගල්ල වැලිමඩ, බදුල්ල යනාදී ප්‍රදේශවල අප ව්‍යාපාරයේ අවි ආයුධ පොලීසියට අසුවෙමින් තිබුණි. වරකාපොල බෝම්බ පිපිරීමකින් අපේ සහෝදරවරුන් කිහිපදෙනෙකු මිය ගොස් තිබුණි. විජේවීර සහෝදරයා ද අම්පාරේ දී  අත්අඩංගුවට පත්වී තිබුණි. මේ ආසන්නයේ දිනක නාවික හමුදාවේ සහෝදරයන් සඳහා සාකච්ඡාවක් සූදානම් කර තිබුණි. එදින ද සාජන් මහතා අප සෙල්ලම් කරමින් සිටි තැනට පැමිණියේය. ටික වේලාවක් සිට මට කථාකර යන බව කියා පිටත්වී ගියේය.


මමද ඔහු ටික දුරක් ගිය පසු බයිසිකලයේ නැගී ඔහු පසු පසම ගොස් නාවික හමුදා ගෙවල්වලට යන පාරට හැරී සාකච්ඡාව පවත්වන ස්ථානයට ගියෙමි. අප පන්ති පවත්වන විට කිසිවකුගේ නම් ගම් ඇසීමක් හෝ ඔවුන්ට අප හඳුන්වාදීමක් කරන්නේ නැත. සම්බන්ධකම් පවත්වා ගත්තේ එක සහෝදරයකු හරහා පමණකි.


මෙම පන්තිය පවත්වාගෙන යන අතුරතුර ආයුධ වගයක් සමග කිහිපදෙනෙකු පොලීසිය විසින් අල්ලාගෙන ඇති බව එක් සහෝදරයෙක් දැනුම් දුන්නේය. පන්තිය පවත්වා අවසන් කර මම නිවාසයට පැමිණියෙමි.


මා කාමරයට එන විට කාර්යාලයේ සේවය කරන ප්‍රේමචන්ද්‍ර සහෝදරයා ඇතුළු සහෝදරවරුන් මා හමුවීමට පැමිණ තිබුණි. පොලීසියේ අයෙකු මා සොයා ආ බවත් මා නොමැති බව කී විට, අද රාත්‍රී මෙම නිවාස සෝදිසි කිරීමට සූදානම් වන බවත් හැකිනම් මට පිටවී යන ලෙසත් කියන්න කියා ඔහු කී බවත් පැවසීය.


එවකට සිටි දිස්ත්‍රික් ඉංජිනේරු මහතාට (පසුව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස සේවය කළ වේරගම මහතා) විස්තර කියා මට හා භාර්යාවට ත්‍රිකුණාමලයේ සිට මාතර දක්වා වන පාස් එකක් ලියාගෙන තිබුණි. මාගේ බිරිඳට කියා වහා ඇඳුම් ලැස්තිකරවා ගෙන දරුවන්ට කෑම දී ගමනට සූදානම් කරවා ගත්තෙමි. බිරිඳ හා දරුවන් අම්බලන්ගොඩ නවත්වා ගාලු දිස්ත්‍රික්කයේ හෝ වෙනත් ප්‍රදේශයක පූර්ණ කාලීනයකු සේ වැඩකිරීමට මම බලාපොරොත්තු වීමි.


අප ගෙදර සිට දුම්රිය ස්ථානයට යනවිට, දුම්රිය නිවාසයේම පදිංචිව සිටි ගාමිණි සිල්වාගේ බිරිඳ එළියට බැස ‘පැනල යන්නද තොට යන්න දෙන්නම්’ කියා, එම ගෙදරම සිටි අයෙකු බයිසිකලයෙන් පිටත් කර හරිනු අපි දුටුවෙමු.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූප : අන්තර්ජාලයෙනි.