අප්‍රේල් 05 වැනි පාස්කු ඉරිදා ජපන් ප්‍රහාරයට ලක්වූ බි්‍රතාන්‍යයට අයත් කොන්වෝල් සහ ඩෝෂෙස්ටර් අයර් යුද්ධ නෞකා දෙක.

 

 

අනාදිමත් අතීතයක සිට යුදෙව් ජන සමාජයේ පාස්කු නමැති සාම්ප්‍රදායික උත්සවයක් පැවති බව බයිබලීය සාහිත්‍යයේ දැක්වේ. එම උත්සවය නුමුහුන් පූප මංගල්‍යය යනුවෙන් හැඳින් වූ බවද කිය වේ. තමන් වගා කර ගත් බාර්ලි අස්වැන්න මගින් තනා ගත් පූප ආහාරයට ගැනීමේ අවස්ථාව ලෙස ද නොයෙක් චාරිත්‍ර සහිතව මෙම උත්සවය වසර දහස් ගණනක් තිස්සේ පවත්වා ඇති බව පැරණි ලිපි ලේඛනවල සඳහන් වේ. එහෙත් පසුකාලීනව වෙනත් ආගමික හේතු සාධක මත නව සාම්ප්‍රදායික අනුස්මරණීය අවස්ථාවක් බවට පත් වූ ආකාරයක් දැක ගත හැකිය. කාලයාගේ ඇවෑමෙන් පලස්තීනයේ ජනයා පාපයට දූෂණයට අසාධාරණයට යොමුව දූෂිත පාපකාරී ජීවිත ගත කිරීමට පටන් ගත් නිසා සර්ව බලධාරී දෙවියන් වහන්සේ මෙම මිනිසුන් පාපයෙන් ගලවාගෙන යහපත් ජන සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොට ගෙන තමන්ගේ ඒකජාත පුත්‍රයාණන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙත දායාද කළ බව කියැවේ. සර්ව පාපයන්ගෙන් නිර්දෝෂීව කන්‍ය මරියාවන් කුසින් දේව පුත්‍රයාණන් මිනිස් කය ලබා නත්තල් දිනයක මෙලොව උපත ලැබූ බව ක්‍රිස්තියානි සාහිත්‍යයේ දැක්වේ.


මෙසේ මිනිසත් බව ලබා මෙලොවට බිහි වූ දේව පුත්‍රයාණෝ මිනිසුන් හට යුක්තිය, සාධාරණය, ප්‍රේමය, දයාව කරුණාව පහදා දෙමින් ජනතාව අතර සැරිසරමින් හොඳ නරක පහදා දෙමින් පාපයෙන් මුදවා ගැනීම සඳහා තම මුළු කාලයම ගත කළහ. ජේසුස් ක්‍රිස්තුස් නමින් නම් ලැබූ මෙතුමාගේ වැඩපිළිවෙළ නොරිස්සූ පැරණි දහමේ පූජකයෝ පාලකයන්ට ගතු කීහ. තමන්ගේ දූෂිත සහ අක්‍රමිකතාවන්ගෙන් යුතු පාපකාරී දිවි පෙවෙත පවත්වාගෙන යාමට නව දහම බාධාවකැයි සැලකූ ඔවුහු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රාජ උදහසට ලක් කර විනාශ කර දැමීමට කුමන්ත්‍රණය කළහ. දිගු කතාවක් කෙටියන් සඳහන් කළහොත් මට ලිවිය යුතුව ඇත්තේ මෙකී කුමන්ත්‍රණය සාර්ථකව ජෙරුසලමේ කල්වරි කඳු මුදුනේ දී කුරුසියේ ඇණ ගසා ඝාතනය කර දැමීමට එතුමන් විනිශ්චය ලැබූ බවය. මිනිස් වර්ගයා පාපයෙන් ගලවා ගැනීමට මෙලොවට සම්ප්‍රාප්ත වූ මෙකී යුග පුරුෂයා මහ සිකුරාදදිනකදී ඝාතනය කරනු ලැබ එම සිරුර ද භූමදාන කරන ලද බවයි. එහෙත් දින දෙකකට පසු පාස්කු ඉරිදා මරණයෙන් නැගී සිටි උන්වහන්සේ නැවත උත්ථානය ලැබූ බවය.
මරණය පරාජය කර ජීවනය ජය ගැනීම හෙවත් පාපය පලවා හැර සත්‍යය හා යුක්තිය ජය ගැනීම යන ක්‍රිස්තියානි සංකල්පය පදනම්ව ඇත්තේ මෙම ගැලවුම්කරුවාණන්ගේ නැවත උත්පත්තිය පිළිබඳ ඉගැන්වීම මතය. සකල ලෝකවාසී කිතුනුවෝ මහත් උත්සවශ්‍රීයෙන් යුතුව සමරනු ලබන පාස්කුවේ මෑත ඉතිහාසයේ කතාව ගොනු කළ හැක්කේ ඒ අයුරිනි.
පසුගිය විසිඑක් වැනිදා පාස්කු ඉරිදා වුවේය. මරණයෙන් නැගී සිටි ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය සිහිපත් කරමින් එතුමන්ට ප්‍රශංසා කරමින් පුද පූජා පවත්වමින් යාඥා කිරීමට ලක්ෂ සංඛ්‍යාත කිතුනුවෝ තම තමන්ගේ පළාත්වල දේවස්තාන කරා රොක් වූහ. එය දීර්ඝ කාලයක සිට සිරිත් පරිදි සිදුවන්නකි. මෙම පාස්කු ඉරිදා යක්ෂයාගේ හෙවත් පාපයේ දිනය බව ඔව්හු දැන නොසිටියහ. ගීතිකා ගයමින් දෙවියන්ට ප්‍රශංසා කරමින් යාඥකරමින් සිටි පිරිස අතර දේවස්ථාන තුනකදී බෝම්බ තුනක් පිපුරුණි. කවුරුන් විසින් කුමක් උදෙසා කරන ලද්දක් දැයි නොදැනම දෙවිඳුන් නමදිමින් සිටි ස්ත්‍රී පුරුෂ ළමා ළපටි ආදී කිසිදු භේදයකින් තොර අහිංසක බැතිමත්හු සිය ගණනක් දෙනා රුදුරු මරණය වැලඳ ගත්හ. විසිතුරු ඇඳුම් පැලඳුම්වලින් සැරසී තම අධ්‍යාත්මික නායකයාණන් නැමදිමට දේවස්ථානවලට රැස් වූ භක්තිකයන්ගේ සිරුරු මස් වැදලී ගොඩවල් බවට පත්ව යාමට ගත වූයේ මොහොතක් පමණි.

 

 


කොටහේනේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටානේ කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය සහ මඩකළපුවේ සියොන් දේවස්ථානය ද මෙසේ පහර දීමට ලක්ව තිබුණි. දෙසීය පනහක් පමණ පිරිසක් මරණයට පත්ව ඇතැයි නිල වාර්තාවල දැක්වේ. මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා ම්ලේච්ඡ පිරිසක් මෙම අපරාධය සිදු කර ඇති බව කිය වේ.


මෙම අවසාවනාවන්ත සිදුවීම් මාධ්‍යවලින් නොකඩවා ප්‍රචාරය වෙද්දී මගේ මනසට නැගුණේ මෙයට හැත්තෑ හත් වසරකට පෙර එළඹුණු පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවාසී ජනතාවට මුහුණ දෙන්නට සිදු වූ මෙවැනිම භයානක අත්දැකීමක් ගැනය. එදද සිය ගණනක් වූ ශ්‍රී ලාංකීය පුරවැසියෝ දිවි පිදූහ. එසේ වූයේ ද බෝම්බ ප්‍රහාර නිසාය. එම සිද්ධිය පෙළ ගැසෙන්නේ මේ ආකාරයෙනි.


මේ වන විට දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වී තිබුණි. ජර්මන් ආඥාදායක ඇඩොල්ප් හිට්ලර් ඉතාලි නායක බෙනිටෝ මුසෝලිනි සමග එක් වූ ජපානයේ රාජකීය ආණ්ඩුවද එක් කඳවුරක් ලෙස සිටිමින් සමස්ත ලෝකයට එරෙහිව යුද වැදී සිටියහ. හිට්ලර්ගේ හමුදව් බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්ෂම්බර්ග් සහ පෝලන්තය යටත් කර ගනිමින් පෙරට ගොස් සෝවියට් රුසියාව ද ආක්‍රමණය කළහ. පැසිස්ට් ඉතාලිය බටහිර අප්‍රිකානු රටවල්වලට පහර දෙමින් ජයග්‍රාහකයා ලෙස ඉදිරියට ගියේය.

 

කොළඹට බෝම්බ හෙලූ අද්මිරාල් නගුෂුමෝගේ ජපන් ප්‍රහාරක යානාවග

 


මෙම තත්ත්වය නිසාත් තම යුද ශක්තිය ගැන තිබූ අභිමානය නිසාත් ජපානය ද අවට රටවල් යටත් කර ගැනීම ඇරඹුවේය. මලයාව, සිංගප්පූරුව සහ බුරුමය (වර්තමාන මියන්මාරය) ද යටත් කර ගත් එම රට බි්‍රතාන්‍යය හිරු නොබසින අධිරාජ්‍යය සලිත කරමින් එහි යටත්විජිතයන් වූ ඉන්දියාව සහ ලංකාව දෙසට ද තම උකුසු ඇස් යොමා සිටින බවට ආරංචි පැතිරෙමින් තිබුණි.


බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ මුදුන් මල්කඩ ලෙස සැලකනු ලැබුවේ ඉන්දියාවයි. එමෙන්ම බටහිර සිට නැගෙනහිරට යාත්‍රා කරන සමුද්‍ර මාර්ගයේ කේන්ද්‍ර ස්ථානය වූ ශ්‍රී ලංකාව ජපානය විසින් අල්ලා ගනු ලැබුවහොත් එය ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය වැනි බලවත් යටත්විජිත රැක ගැනීම ද අභියෝගයට ලක් වන බව බි්‍රතාන්‍යයෝ දැන සිටියහ. මෙසේ උණුසුම් වෙමින් පවතින යුදමය තත්ත්වය හමුවේ ඉන්දියාව සහ ලංකාව රැක ගැනීම පිණිස විශේෂ යුද මෙහෙයුමක් සකස් කිරීමට ඔව්හු කටයුතු කළහ. බි්‍රතාන්‍ය රජ පවුලේ සමීප ඥාතියකු වූ නාවික අද්මිරාල් මවුන්ට් බැටන් සාමිවරයා කැඳවා අග්නි දිග ආසියානු කලාපය භාර මිත්‍ර හමුදසේනාධිනායකයා ලෙස පත් කරනු ලැබීය. ඔහුගේ අණ දෙන ප්‍රධාන කාර්යාලය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පිහිටු වන ලදී. ශ්‍රී ලංකාවේ යුද කටයුතු මෙහෙය වීමේ ප්‍රධානියා වශයෙන් පත් කර සිටියේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු වූ සර් ජෙයාෆ්‍රි ලේටන්ය. ඉතා අහංකාර තැනැත්තෙකු වු ඔහු කටයුතු කළේ එවකට මෙරට ආණ්ඩුකාරවරයා වු ඇන්ඩෲ කොල්ඩි කොට් පවා නොතකමිනි. සිංහලයා යනු ඉතා නූගත් කිසිම දෙයක් ඉටු කර ගත නොහැකි දැනුම මද පිරිසක් ලෙස ඔහු නිතරම අවඥාවට ලක් කෙළේය.


යුද්ධයේ අඳුරු සෙවණැල්ල ලංකාවට වැටී ගෙන එන මොහොත වන විට මෙරට අත්‍යාවශ්‍ය සිවිල් කටයුතු පවත්වා ගෙන යාම සඳහා ද යම් යම් පියවර ගැනෙමින් තිබුණි. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ධුරයක් ඇති කර මෙරට සිටි කීර්තිමත් සහ තාක්ෂණ දැනීමෙන් යුතු රාජ්‍ය නිලධාරියකු ද වූ ඔලිවර් ගුණතිලක මහතාට පවරා තිබුණි. ඔහු කල්වේලා ඇතිව බොහෝ සංවිධාන කටයුතු පිළියෙල කිරීමට වග බලා ගත්තේය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටු වන ලද්දේ 1942 ජනවාරි පළමු වැනිදා කොළඹ යුනියන් පෙදෙසේ විශාල කාර්යාලයක් ද දක්ෂ කාර්ය මණ්ඩලයක් ද ඔහු තෝරා ගත්තේය.

 

 


මෙම යුද වකවානුවේ ඔහුට ඉහළින් සිටියේ දෙදෙනෙකු පමණි. ආණ්ඩුකාර සර් ඇන්ඩෲ කොල්ඩිකොට් සහ සර් ලේටන් එම දෙදෙනාය. යුදමය අවස්ථාවක දී සාමාන්‍ය පුරවැසියන් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳව එංගලන්තයෙන් ගෙන්වා ගත් කුඩා පොත් පිංචක් මුද්‍රණය කර ඉංග්‍රීසි සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම පළ කර ජනතාව අතර බෙදහැරියේය. ගිනි නිවන හමුදඅලුතන් බඳවා ගෙන නව උපකරණ ද විදේශයෙන් ගෙන්වා ගත්තේය. ගුවන් ප්‍රහාරයක දී සාමාන්‍ය වැසියන් මුහුණ දිය යුතු ආකාරය දැක්වෙන පත්‍රිකා බෙදහැරීමට සැලැස්වීය. තම දෙපාර්තමේන්තුවට හාර දහසක සේවක පිරිසක් බඳවා ගත් අතර, හැට හතර දහසක අර්ධ කාලීන සේවක පිරිසක් ද බඳවා ගත් බවද වාර්තාවල සඳහන් වේ.


ජපන් ආක්‍රමණ අත ළඟටම පැමිණ ඇති බවත් එම යුද නැව් ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන බවත් ඔත්තු සේවා මගින් ආණ්ඩුකාරවරයාට වාර්තා කර තිබුණි. නැව් මගින් පැමිණ ප්‍රහාර එල්ල කිරීමට පෙර එහි ඇති ගුවන් යානා පියාසර කරමින් කොළඹට පැමිණ බෝම්බ හෙළනු නියත බව සර් ලේටන් අත්දැකීමෙන් දැන සිටියේය. ඒ 1942 අප්‍රේල් 04 වැනිදා මධ්‍යම රාත්‍රියයි. ආණ්ඩුකාරවරයා යුද්ධ මෙහෙයුම් කමිටුව කැඳවනු ලැබීය. එයට සහභාගි වූවේ හතර දෙනකු පමණි. ආණ්ඩුකාර කොල්ඩිකෝට්, අද්මිරාල් ලේටන්, ඔලිවර් ගුණතිලක සහ පොලිස්පතිවරයාය.


මෙම සුළු පිරිස අතර සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන කාරණය වූවේ හෙට දින අලුයම නිසැකවම ඇතිවිය හැකි ජපන් ආක්‍රමණයට මුහුණ දෙන ආකාරයයි. එයට අමතරව පසු දිනට යෙදෙන පාස්කු ඉරිදා ආගමික කටයුතු සඳහා වැසියන්ට සහභාගි වීමට අවසර දිය යුතුද? යන්න මෙහිදී මාතෘකාවක් බවට පත් විය. ඉතිරි තිදෙනාම මේ ගැන ඔලිවර් ගුණතිලකයන්ගේ අදහස දැන ගැනීමට උනන්දු වූහ. ආගම අතින් ක්‍රිස්තු භක්තිකයකු වූ ඔලිවර් ගුණතිලක මහතා පාස්කු ඉරිදා දිනයේ ඇති ආගමික වැද්ගත්කම හොඳින්ම දැන සිටියේය. ක්‍රිස්තුස්වහන්සේ තමන් දේව පුත්‍රයාණන් බව ලෝකයට ඔප්පු කළේ පාස්කු ඉරිදාය. මහ සිකුරාදා කුරුසියේ දී මරණයට පත් උන්වහන්සේ මළවුන් අතරින් නැගිටීමෙන් තමා දේව පුත්‍රයා බව ඔප්පු කිරීම නිසා ඒ නිමිති කොට ගෙන පාස්කු සැමරීම ක්‍රිස්තු භක්තිකයෝ උත්කර්ෂවත්ව සිදු කරති. මෙම අවස්ථාවේදී බාල, මහලු, තරුණ යන භේදයක් නොසලකා ස්ත්‍රී පුරුෂ ළමා ළපිටි යන සියලු  සමාජ කණ්ඩායම් දේවස්ථානවලට රැස්වීම පාස්කුවේ සිරිත විය.


එක් දහස් නව සිය හතළිස් දෙක වසරේ පාස්කු ඉරිදා උදවී ඇති ජපන් ආක්‍රමණ පිළිබඳ මේ ගැන කුමන තීරණයක් ගත යුතු දැයි ආණ්ඩුකාර කොල්ඩිකෝට් මෙන්ම හමුදා ආඥාපති ජ්‍යොප්‍රි ලේටන් ද සිටියේ දෙගිඩියාවෙනි. මොරටුවේ සිට හලාවත දක්වාත් කොළඹ නගරයේත් වෙසෙන ක්‍රිස්තු භක්තිකයින් ලක්ෂ ගණනක් පල්ලි කරා යාමට මහ මඟට බැසීම සිදු වීම මෙම බෝම්බ හෙළන අන්තරාය තිබියදී නුසුදුසු ක්‍රියාවක් නොවන්නේ දැයි බොහෝ අංශවලින් ඔලිවර් වෙත විමසීම් ලැබෙමින් තිබුණි. ඔවුන්ගේ මතය වූයේ මෙම පිරිස් ආක්‍රමණය ගැන දැන සිටිය යුතුය යන්නය. එහෙත් ඔලිවර්ගේ අදහස වූවේ මෙය දන්වා ජනතාව බියට පත් නොකළ යුතුය කියාය. ඔහුගේ ගණන් බැලීම් වූයේ සියලු  බැතිමතුන් පල්ලි තුළට රොක් වී ආගමික කටයුතුවලට යොමු වී සිටීම වඩාත් සුදුසු බවයි. අලුයම සිට බැතිමත්හු පල්ලි කරා ඇදුණහ. දේවස්ථාන පිරී ගියේය.

 

 

ජපන් ආක්‍රමණිකයන් මෙරටට පැමිණෙන බව දැනුම් දුන් ලෙනාඞ් බර්වෝල් ගුවන් ගතවීමට පෙර.

 


උදෑසන හතයි පනහට ජපන් ගුවන් යානා රාශියක් කොළඹ නගරයේ අහස ගිඟුම් දෙමින් රට අභ්‍යන්තරයට පියාසර කළේය. වහාම ජනතාව වෙත අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කරන ලෙස ඔලිවර් නියෝග කළේය. තම ගෙවතුවල තනා ගෙන තිබුණු ආරක්ෂක ස්ථානවලට රිංගා ගැනීමට ජනතාවට කාල වේලාව ලැබුණි. එක කණ්ඩයාමකට පහක් බැගින් සතුරු ගුවන් යානා රැසක් රටට ඇතුළු වූ බව රේඩාර් තිරයේ දිස්විය. එයින් සමහර යානා බි්‍රතාන්‍ය හමුදප්‍රහාරවලින් බිම හෙළනු ලැබුණි. කොළඹ වරායට බෝම්බ දමනු ලැබීය. ඒ වන විට වරායේ තිබුණු නැව් සියයක් පමණ ඈත මුහුද වෙත ඉවත් කරගෙන තිබුණි. තවමත් ඉතිරිව තිබුණේ නැව් හතළිහක් පමණි. ටෙනඩෝස් නමැති බි්‍රතාන්‍ය යුද නෞකාවත් හෙක්ටර් නමැති බඩු ප්‍රවාහන නෞකාවත් පමණක් ජපන් බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය. ඒවා මුහුදේ ගිලී ගියේය. වරායේ ඉංජිනේරු අංශයේ වැඩපොළ මතට බෝම්බ වැටීම නිසා එම අංශය සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. එමෙන්ම ලංකාවට ආසන්න ඈත මුහුදේ තිබුණු තවත් නැව් දෙකක් වන කොන්වෝල් සහ ඩොවෙට්ස්ර් නම් බි්‍රතාන්‍ය නැව් දෙක ද ජපන් බෝම්බවලට ගොදුරු වීමෙන් ගිලී ගියේය. අංගොඩ මානසික රෝහල මතට ද බෝම්බ හෙළනු ලැබීය. එම ප්‍රහාරයෙන් රෝගීන් පනහක් පමණ මිය ගිය බව වාර්තා ගතව ඇත. රෝහල මත රතු කුරුසය සටහන්ව තිබී නැත. ඒ නිසා සතුරාගේ අදහස වූයේ ඒ මත තිබූ චිමිනිය නිසා මෙය විදුලි බලාගාරයක්ය යන වැරදි වැටහීමකි. මෙම ප්‍රහාර නිසා මිය ගිය සම්පූර්ණ සංඛ්‍යාව අසූ පහකි. හැත්තෑ පස් දෙනෙක් තුවාල ලැබූහ. කලින් තොරතුරු ලැබීමෙන් අවශ්‍ය පමණට සූදානම්ව සිටි නිසා ජපන් ආක්‍රමණය පරාජයට පත් කිරීමට බි්‍රතාන්‍ය හමුදාවට හැකි විය. ජපන් ගුවන් යානා අසූ පහක බළ ඇණියක් ආක්‍රමණය සඳහා මෙරටට පැමිණි නමුදු ආපසු යාමට හැකි වූයේ යානා පනස් හතරකට පමණි. ඉතිරි යානා තිස් දෙකම වෙඩි තබා බිම හෙළීමට මෙරට යුද අධිකාරිය සමත් විය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ පර්ල් වරායට බෝම්බ දමා නැව් විශාල සංඛ්‍යාවක් විනාශ කරමින් ජපානය යුද්ධයට අවතිර්ණ වීමෙන් පසු ජපානයේ යුද යාන්ත්‍රණය පරාජයේ වේදනාකාරී අත්දැකීම ලැබුවේ ලංකාවේදීය. එය යුදමය වශයෙන් වූ ගමනක අවසානයේ ආරම්භය සටහන් කළේය.


අප්‍රේල් මස පස් වැනි පාස්කු ඉරිදා කොළඹ වරායට එහි ඉංජිනේරු අංශ ගොඩනැගිල්ලට සහ මානසික රෝහලට ද බෝම්බ හෙළන ලද ජපනුන් එදපසු බැස ගිය ද දින හතරකට පසු ඔවුහු නැවතත් පැමිණ ත්‍රිකුණාමලය වරායට බෝම්බ දැමූහ. එය කොළඹ ප්‍රහාරයට වඩා සාර්ථක වූ බව කියැ වේ. අහස් යානා පනස් හතරක් ත්‍රිකුණාමලයට කඩා වැදුණේය. එමගින් වරායේ නවතා තිබුණු බි්‍රතාන්‍ය යුද නෞකා රාශියක් විනාශ කළ අතර වරාය පරිශ්‍රයට ද විශාල ලෙස අලාභ හානි කළහ. හර්මිස් නමැති ගුවන් යානා ගෙන යන නැව ඉන් එකකි. ගුවන් යානා ද සමග එම නැව මුහුදු බත් වූ බව කියනු ලැබේ. ප්‍රින්ස් ඔෆ් වේල්ස් හා රිපල්ස් යන යුද නෞකා දෙක ද ජපන් ප්‍රහාරයෙන් විනාශ වූ බව වාර්තාවන්හි දැක්වේ.
පාස්කු ඉරිදා කොළඹ නගරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමග නගර වැසියෝ වැල නොකැඩී නගරයෙන් පිටව ඈත පිටිසර බද පෙදෙස් බලා පිටත් වූහ. බොහෝ දෙනා ඈත එපිට ගම්වල නෑ හිත මිතුරන් වෙත ගොස් එහි ජීවත් වූහ. නැවතත් බෝම්බ හෙළීමක් සිදු වනු ඇතැයි බිය නිසා මෙසේ පලා ගිය බව කියනු ලැබේ. කොළඹ ඉතිරි වූ අයට මුහුණ දීමට සිදු වූයේ මහත් අකරතැබ්බයකටය. එනම් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. එම වකවානුවේ ආහාර තොග වෙළෙඳ මුළුමනින්ම අත්කරගෙන තිබුණේ දකුණු ඉන්දියානුවන් විසිනි. ඔවුහු සියල්ලෝම පැන ගොස් සිටියහ. ඒ නිසා උග්‍ර ආහාර හිඟයක් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පැතීරි තිබුණි. වහාම මැදිහත් වූ ඔලිවර් ගුණතිලක මහතා තම බලතල යොදවා සියලු ආහාර ගබඩාවල දොරවල් කඩා බලයෙන්ම ඒවා විවෘත කර සියලු ආහාර ද්‍රව්‍ය ජනතාව අතර බෙදදුන්නේය. ඒ නිසා කුසගින්නෙන් පෙළෙමින් සිටි ජනයාට ආහාර ලැබුණි. එවේලේම කඩ සාප්පු අවට සිටි සමහර මිනිසුන් කැඳවා එම ව්‍යාපාර දිගමට පවත්වාගෙන යාමට පවරා දීමට අත්‍යාවශ්‍ය කොමසාරිස්වරයා වශයෙන් ඔලිවර් ගුණතිලකයන් කටයුතු කළේය. කොළඹ නගරයේ සිංහල ව්‍යාපාරික පන්තියක් බිහි වූවේ ඒ ආකාරයෙනි. මෙම අයගේ දූ දරුවෝ ඉතා ධනවත් සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ ඔලිවර් ගුණතිලකයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවට පිං සිදුවන්නටය.

 

ජපන් ප්‍රහාරයෙන් ගිනිගෙන දැවෙන බි්‍රතාන්‍යය සතු කොන්වෝල් යුද නෞකාව.

 


ඉතා පැරණි සිදුවීමක් මගේ මතකයට නැගේ. මිනුවන්ගොඩ පත්තඬුවන නම් ගමේ ඒබ්‍රහම් අප්පුහාමි නම් මගේ ඥතියෙකු සිටියේය. ඔහු යුද සමයේ මානසික රෝහලේ උපස්ථායකයකු ලෙස සේවය කළේය. මා කුඩා කල දිනෙක ඒ මාමා මානසික රෝහලේ බෝම්බ ප්‍රහාරය ගැන මට කීවේය. කුඩා කඩදාසි කැබැල්ලක් අතට ගත් ඔහු ඉතා කුඩා කැබලි ඉර ඉරා මා අතට දෙමින් පැවසුවේ ජපන් ප්‍රහාරය අවසානයේ දක්නට ලැබුණු මිනිස් සිරුරවල මස් කැබලි මෙන්න මේ වගේ කැබලිවලට කැඩී තිබුණා යැයි කී බව මට තවමත් මතකය.


එදමට සිතුණේ කුමක් දැයි දැන් සිහිපත් කළේ නොහැකි වුවත් එය විශ්වාස කිරීමට බැරි පමණේ අතිශයෝක්තියක් වන්නට ඇතැයි සිතුණා නම් එය පුදුමයට කරුණක් නොවේ. හැත්තෑ හත් වසරක් ගතව ඇත. මෙම මාසයේ පාස්කු ඉරිදා දේවස්ථාන තුනක සහ හෝටල් කීපයක සිදු වූ ප්‍රහාරවලදී ඝාතනයට ලක් වූ අයගේ සිරුරු මාධ්‍යවලින් ප්‍රදර්ශනය කරද්දී එදා ඒබ්‍රහම් මාමා කී කතාව සත්‍ය යැයි සිතමි. එම ඥතියා තවත් කතාවක් කීවේය. මානසික රෝහලේ වහලයේ රතු කුරුසිය පින්තාරු කර තිබුණා නම් මෙම විනාශය සිදු නොවන බව කියමින් එදසෞඛ්‍ය අමාත්‍ය ජෝර්ජ් ඊ. ද. සිල්වා මහතා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ඔලිවර් ගුණතිලකයන්ට චෝදනා කළ බවයි. එයට ඔලිවර්ගේ පිළිතුර වී ඇත්තේ අංගොඩ රෝහලට බෝම්බ ප්‍රහාරය ඉල්ල වීම නිසා මිය ගියේ මානසික රෝගීන් එතනට නැතිව වෙන තැනකට එය වැටුණා නම් මිය යන්නේ මොළේ තියෙන හොඳ මිනිසුන් කියාලු. කෙසේ වුවත් සෑම තැනකටම මොළේ තිබෙන හොඳ මිනිසුන් සිටිනුයේ නම් මෙවැනි ආපදා අවම කර ගත හැකි බව මේ දිනවල බොහෝ දෙනා පවසන බව නම් ඇත්තකි.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි