1956 දී කොතලාවලගෙන් බණ්ඩාරනායකට පාලන බලය මාරුවුවත් සැබවින්ම එය මුල්ම සේනානායක යුගයේ අවසානයක් හැටියට සැලකිය හැකිය. 1947 සිට 1956 දක්වා වසර නවයක කාල සීමාව තුළ සේනානායකවරුන් දෙදෙනෙකු අඛණ්ඩව සත් වසරක් පාලනය ගෙන යෑම ඊට හේතුවය.


පාලිතයන්, පාලකයන් හැටියට සලකා, පාලකයන් පාලිතයන්ගේ තත්ත්වයෙන් හැඳින් වූ බණ්ඩාරනායක පොදු මිනිසාගේ යුගයක් නිර්මාණය කළ ද පාලිතයන් ලෙසට සැලකූ පාලකයන් එම කනපිට පෙරළීමේ වාසිය තමා වෙත නතුකර ගනිමින් නොයෙකුත් දූෂණයන්නි යෙදීමේ ප්‍රතිඵලයක් හැටියට බණ්ඩාරනායකට තම රජය සුද්ධ පවිත්‍ර කිරීමට අල්ලස් කොමිසමක් ස්ථාපනය කිරීමට සිදුවිය. 


මෙම වෝල්ටර් තල්ගොඩපිටිය අල්ලස් කොමිසමට බණ්ඩාරනායක රජයේ ඇමැති උප ඇමැති දැවැන්තයන් කිහිප දෙනෙකුම අසුවූ අතර ඒ පිළිබඳ සවිස්තර කතා කිහිපයක් 1977 දී පළකෙරුණු රිවිරැස පුවත් පත වාර්තා කර තිබුණි. 


“ඒකනායක මුදියන්සේලාගේ මුතු බණ්ඩා කුරුණෑගල මලිය දේව විද්‍යාලයෙන් ඉංග්‍රීසි හා සිංහල විභාගය සමත්වූවෙකි. ඔහුට රක්ෂාවක් අවශ්‍ය විය. ඒ 1956 පොදු ජන යුගය ආරම්භ වූ කාලයයි. නව පරිවර්තනය යටතේ සැලකෙන සමාජ සාධාරණය කෙරේ බලවත් විශ්වසාය තැබුවෙකි. මුතු බණ්ඩා.....” 


මේ සඳහා මුතු බණ්ඩා තම පළාතේ අලුත් මන්ත්‍රීතුමා හමුවීමට ඉටා ගත්තේය. තමා කුරුණෑගල රැකීරක්ෂා කාර්යාලයේ ලියාපදිංචි වී සෑහෙන කලක් ගතව ඇතත්, තාමත් අවශ්‍ය කාරණය ඉටු නොවී ඇති බැවින්, යම් කිසි රැකියාවක් සොයාදෙන ලෙසට අලුත් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත. 


මන්ත්‍රීවරයාගේ පිළිතුර වී ඇත්තේ රක්ෂා සෙවීම දුෂ්කර බවත් එහෙත් රුපියල් 1000ක් කෙනෙකුට දී එසේ ලබාදිය හැකි බවත්ය. තමාගේ දිළිඳුකම කියා දිගින් දිගට කන්නලව් කිරීම මත මුතු බණ්ඩාට රුපියල් 500ක සහනයක් ලැබී මුදල රුපියල් 1000ත් අඩක් බවට පත්විය. 


එහෙත් ඔහුගේ පියා මෙයට තදින්ම අකැමැත්ත දැක්වුවත් තම පුතාගේ කන්කෙඳිරි ගෑම නිසා රඹුක්කන තැපැල් කන්තෝරුවෙන් ඉතිරි කිරීම් පාස් පොතෙන් රුපියල් 300ක් ද ගෙදර තිබු රුපියල් 100ක් ද ණයට ඉල්ලා ගත් රුපියල් 100ක් වශයෙන් එකතු කොට අවශ්‍ය මුදල සපයා දී ඇත. 


මෙම මුදල රැගෙන 1956 සැප්තැම්බර් 04 වැනි දින පමණ මන්ත්‍රී හමු වී ඇති මුතු බණ්ඩා එය ඔහුට ලබා දී ඇත. 


මන්ත්‍රීවරයා ද ඔහුට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට යැවීමට ඉල්ලුම් පත්‍රයක් සකස් කර දී පසු දිනක පාර්ලිමේන්තු මන්දිරයේදී තමා හමු වන ලෙසට ඔහුට කියා ඇත. ඒ සියල්ල සිදුවීමෙන් පසු මුතු බණ්ඩාට අදාළ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු කෙටි පිළිතුර වූයේ දැනට දෙපාර්තමේන්තුවේ ඇබෑර්තු නැති බවත්, සියලුම ඇබෑර්තු රැකියා කාර්යාලයෙන් පුරවන බවත්ය. 


මෙය වංචාවක් බවට දැනගත් පුතාත් පියාත් දුන් මුදල් ආපසු ලබා ගැනීමට උඩ ඉඟුරුවත්තේ රැස්වීමකට පැමිණ මන්ත්‍රී හමුවී තම මුදල ආපසු දෙන ලෙසට ප්‍රසිද්ධියේම ඉල්ලා ඇත. මුදල් නොගත් බැව් මන්ත්‍රී ප්‍රකාශ කිරීම නිසා බණ පොතේ අත ගසා දිවුරන ලෙසට ඔවුන් මන්ත්‍රීට කියා ඇත. මන්ත්‍රීවරයාද (පසුව සොයා දී ඇති) බණ පොතේ අත තබා ගත්තා මිස දිවුරීම සඳහා තොල කට සෙලවීමක් පෙනී නැත. අනතුරුව මුතු බණ්ඩා 1959 දී යට කී අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු, එහි සභාපති වෝල්ටර් තල්ගොඩපිටිය, සාමාජික ඩබ්ලිව්. රොබර්ට්ස් හා ඇස්. ජේ. සී. ෂොක්මන් යන මහතුන්ගේ ඒකමතික තීරණය වුයේ අදාළ මන්ත්‍රීවරයා වරදකරු බවටය. ඒ මන්ත්‍රීවරයාගේ එක වික්‍රමයකි. අනික් වික්‍රමය වූයේ අරඹේපොල පදිංචි කුමාරි අරඹේපොල නමැති තරුණියකට ඉංග්‍රීසි උප ගුරු පදවියක් ලබාදීමට පොරොන්දු වී කොහිල ගෙදර මත වේ ජීමී කටුපිටිය ගෙන් රුපියල් 1500ක අල්ලසක් ගැනීමය. නඩු විභාගයේදී ඊට ද ඔහු වරදකරු විය. 


මේ හැරෙන්නට තෙල්ලියේ උප තැපැල් ස්ථානාධිපති ධුරයෙන් අස්කරන ලද කුරුප්පු මුදියන්සේලාගේ බණ්ඩා නැමැත්තාගෙන් එම රැකියාව නැවත ලබාදීමේ පොරොන්දුව පිට රුපියල් 50ක් ද, කුරුණෑගල ඇම්. කේ. ඇස්. අබුතාහිර්ගෙන් ලංකා පුරවැසිකම ලබාදීමේ පොරොන්දුව පිට රුපියල් 1500ක් ද ලබාගෙන ඇති මෙම මන්ත්‍රීවරයා උත්තර බැඳීමට කල් ඉල්ලා සිටීමෙන් පසු 1960 ජුලි මැතිවරණයේ ප්‍රතිඵල වලින් පසු කොමිසමේ වැඩ ඉක්මනින් නිමාවීම හේතුවෙන් වැඩිදුර විභාගයක් නොවීය. එහෙත් ඉහත නඩු කිහිපයේදී මෙම මන්ත්‍රී අල්ලස් ගත් බව ඔප්පුවීම නිසා වසර හතකට ඡන්ද බලය අහිමිවිය. 


පුදුමය බණ්ඩානායක රජයෙන් පිහිටුවන ලද අල්ලස් කොමිසමෙන් වරදකරුව දඬුවම් ලැබූ මෙම මන්ත්‍රීවරයා වසර හතේ දඬුවම ගෙවා දැමීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබීමය. 


මෙම අල්ලස් කොමිසම විසින්ම බණ්ඩාරනායක රජයේ තවත් උප ඇමැතිවරයෙකු වරදකරුකර ඇත. කොස්ගොඩ ඇන්. පී. ද ඉසඞ් ජයතිලකගේ ඉඩමක් රුපියල් 10,000කට කොස්ගොඩ ගම්කාර්ය සභාවට මිලදී ගැනීමට ක්‍රියාකිරීම සඳහා 1956 අප්‍රේල් අන්තිමට ඔහුගෙන් මහන මැෂිමක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම නිසාය. ඔහුද වරදකරු වී හත් වසර ගෙවීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක පදවිය හිමිකර ගැනීමේ වාසනාව ලබාගෙන ඇත. 


ප්‍රදේශයේ දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් ධනය බලය ආඨ්‍යව ඇති පුද්ගලයා කුමන අන්දමේ මජර වැඩක් කළත් ජයග්‍රහණය කරමින් පක්ෂයට එකතු වන තවත් මන්ත්‍රීවරයෙකු විය හැකි නම් ගොඩ වැඩිකර ගැනීමේ න්‍යාය මත මඩ වැහෙන්නට සුදගෑමට පක්ෂ නායකයන් පෙලඹීම මෙරට දේශපාලනයේ දක්නට ලැබෙන අති බහුල ශෝචනීය ක්‍රියාවකි.

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි