යාපනය - මෙවර ජනපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනෙක් ඉදිරිපත්ව සිටිය ද, කලක් යුද්ධයෙන් බරපතළ ලෙසම බැට කෑ යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ අවධානය යොමුව තිබෙන්නේ අපේක්ෂකයින් දෙපළකට පමණකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංජිත් ප්‍රේමදාස මහතා ඔවුන් දෙපළය.

සිනහවට කාරණයක් වන්නේ ඔවුන් මෙම දෙපළට යක්ෂයින්ගේ නමින් නම් තබා තිබීමය. ඔවුන් ගෝඨාභය රාජපක්ෂට නම් තබා තිබෙන්නේ අච්චක්කාර පෙයි, නැතහොත් භයංකර යක්ෂයා ලෙසය. වෙරුක්කිරා පෙයි, නැතහොත් වෛරී යක්ෂයා, ඔවුන් සජිත් ප්‍රේමදාසට තබා තිබෙන නමය. මෙම දෙපළ අතුරින් කුමන යක්ෂයා අනෙකාට වඩා අඩු වශයෙන් භයංකර වේ ද, ඔවුන්ගෙන් කවරෙක් නම් රටේ ජනපතිවරයා ලෙස දෙමළ ජනතාවට යහපත් වේ ද, යන්න උතුරේ ඡන්ද දායකයින් අතර මේ දිනවල පවතින කතාබහ වේ.

අවධානය යොමුකිරීම මනා විවිධ කාරණ සැලකිල්ලට ගත් විට යාපනය අර්ධද්වීපයේ ජනතාව ඔවුන් පාලනය කිරීමට පත්වන යක්ෂයෙකු හා ගැඹුරු පෝක් සමුද්‍ර සන්ධියට සහ මන්නාරම් බොක්ක අතරට හසුව සිටින සෙයක් පෙනේ. යාපනයේ ජනතාව ගෝඨාභය රාජපක්ෂට මෙවැනි නමක් පටබැඳ තිබෙන්නේ ගෙවුණු යුද සමයේ ඔහු උරුමකරගත් ආන්දෝලනාත්මක කීර්තිය නිසාම පමණක් නොවේ. ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උතුරේ ක්‍රියාත්මක කර ඇති මැතිවරණ ව්‍යාපාරය ද, එයට හේතුවක් බවට පත්ව ඇත. වරක් යාපනයේ සේවය කළ, ක්‍රියාවෙන් අතිශය ආන්දෝලනාත්මක වූ හිටපු ආරක්ෂක අංශ නිලධරයින් කිහිපදෙනෙකුම ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව සිටින අතර, ඒ නිසාම සුව අතට හැරෙමින් පැවැති තුවාළ නැවත වරක් පැරී තිබෙන සෙයක් හඳුනාගත හැකිය. යුද්ධයෙන් දරුණු ලෙසම බැට කෑ පවුල් සහ සිවිල් ජනතාව වෙනුවෙන් වන වගකීම් ඉටු කිරීම සඳහා පත් කරනු ලැබූ විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් අතර මෙම තත්ත්වය කැපී පෙනේ. එම නිලධරයන් කෙරේ, ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියාව නිසාවෙන්ම, යාපනය ජනතාවගේ පවතින්නේ බලවත් අප්‍රසාදයකි.

ලියුම්කරු සමග අදහස් හුවමාරු කරගත් බොහෝ දෙනෙක් එම අදහස් පළකිරීමේ දී, අනන්‍යතාවය සඟවන ලෙස අවධාරණය කළහ. පසුවිපාක අත්විඳීමට සිදුවනු ඇතැයි බියක් ඔවුනට විය. කිසිදු දිනක අවියක් අතට නොගත් පවුලේ සාමාජිකයකු කුරිරු ලෙස ඝාතනය කැරුණු අයුරු අයෙක් විස්තර කළ අතර, තමන්ව ආබාධිත තත්ත්වයට පත්කළ, දැනට සුවපත්ව තිබෙන සහ ඇතැම් අවස්ථාවල සදාකාලික අන්ධභාවයට හේතු වී තිබෙන සිරුරේ ඇති තුවාළ කැළැල් ඔවුහු පෙන්වූහ. ඔවුන්ගෙන් ඇතැමෙක් පවසන්නට යෙදුණු දේ විස්තර කිරීමට පවා අපහසුය. රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ද, ලියුම්කරු සමග අදහස් හුවමාරු කරගත්හ. උසස් නිලයකට පත් කැරුණු එක්තරා විශ්‍රාමික නිලධාරියකු, ඔහුගේ බලය භාවිත කරමින් තර්ජනයෙන් සහ ගර්ජනයෙන් තමන් ලවා වැඩකටයුතු කරගැනීමට උත්සාහ කළ ආකාරය ඔවුහු විස්තර කළහ. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුවහොත් අතීතයේ තමන් අත්විඳි එම තත්ත්වය නැවත ඇතිවනු ඇතැයි බියක් ඔවුනට විය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට ප්‍රමාණවත් තරම් පුද්ගලයින් නොමැති වාතාවරණයක, විශ්‍රාමික නිලධාරීන් මෙසේ පවසන්නට යෙදුණු දේවල් සහ ඔවුන්ගේ ක්‍රියාවලින් පක්ෂය බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන බවක් කොහෙත්ම පෙනෙන්නට නැත. මෙම තත්ත්වය සමාන කළ හැක්කේ කුකුල් කොටුවකට නරියකු ගෙන හැර අතහැරියාක් වැන්නකටය.

රාජපක්ෂ සමයේ ජයග්‍රහණ
මෙය එක්තරා අතකින් දෛවයේ සරදමක් වැනිය. වව්නියාවේ සිට යාපනය අර්ධද්වීපයේ අන්තය වන කන්කසන්තුරය දක්වා මාර්ගය සංවර්ධනය කළේ රාජපක්ෂ රජයයි. ඔවුහු, ප්‍රදේශයේ අභ්‍යන්තර මාර්ග ජාලය ද සංවර්ධනය කළහ. අමතරව, වව්නියාවේ සිට කන්කසන්තුරය දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ද රාජපක්ෂ පාලනය යටතේ පියවර ගැනිණ. එතෙක් එම ප්‍රදේශයේ පැවැතියේ තාර අතුරනු නොලැබූ, අතිශය කර්කෂ, කටුපදුරුවලින් සහ විශාල වළවල්වලින් ගහණ මාර්ගයකි. යුද සමයේ දී, කොටි ත්‍රස්තයින් බංකර තැනීම සඳහා දුම්රිය මාර්ගයේ වූ පීලි සහ සිල්පර කොටන් ගලවාගෙන ගොස් තිබිණ.

ඉන්දියා රජයේ සහාය ඇතිව වේගවත් ගමනාගමනයක යෙදීම සඳහා වඩා ස්ථාවර මාර්ගයක් ඉදිකිරීමට රාජපක්ෂ පරිපාලනය යටතේ කටයුතු කැරිණ. එය උතුරේ සහ දකුණේ ජනතාවට අතිශයින් ප්‍රයෝජනවත් වූ බව පැවසීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. යාපනයේ නව පිබිදීමක ආරම්භය වූයේ එයයි. දුම්රිය මාර්ග සංවර්ධනය සමග උතුරේ ඉදිකැරුණු නව දුම්රිය ස්ථාන හමුවේ දකුණේ දුම්රිය ස්ථානයන් ඇත්ත වශයෙන්ම වැටුනේ දෙවැනි තැනටය. එම දුම්රිය ස්ථාන දකුණේ ජනතාව පිළිගැනීමට පාවඩ දමා සැදුවා වැනි විය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය ගණනක් දකුණේ ජනතාව, වරක් ඔවුන්ට තහනම් ප්‍රදේශයක් වූ උතුර වෙත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිකළ උතුර - දකුණ යා කළ පාලම හරහා පැමිණියහ. එයින් පසුව පැවති රජය උතුරු පළාත් සභාව පිහිටුවීම හරහා උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම අතිශය සුවිශේෂී ජයග්‍රහණය ඔවුන්ගේ වාසිය වෙනුවෙන් යොදාගැනීමට අපොහොසත් විය. යාපනය ජනතාවගේ ජීවන තත්ත්වයේ පැහැදිලි වෙනසක් ඇතිකිරීමට හේතු වූයේ මෙය බව සඳහන් කළ යුතුමය.

මේ ජයග්‍රහණවලින් පස්සේ රාජපක්ෂ රෙජිමය අපව අමතක කළා. ඔවුන් සාමය වෙනුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහිවීම වැනි සමාජ ව්‍යාධීන් අපව වෙළාගත්තා. අපේ උගත් තරුණ තරුණියන්ට ඔවුන්ට සුදුසු රැකියා තිබුණේ නැහැ. ඒ නිසාම ඔවුන්ට සිදුවුණා කම්කරුවන් හැටියට හරි හෝටලවල වේටර්වරුන් හැටියට හරි සුළු රැකියාවල යෙදෙන්න. අරුල් (මනඃකල්පිත නමකි) පැවසුවේ ය.

මෙම තත්ත්වයට තවත් ඌණ පූර්ණයක් එක් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපළේ නම වෙනස් කිරීමට පියවර ගන්නා බවය.

යාපනයේ පවත්නා තත්ත්ව තවත් තීව්‍ර කිරීමට සමත්ව තිබෙන එක්තරා සුවිශේෂී හේතුවක් ද වේ. සාමාන්‍යයෙන් විවිධ ප්‍රකාශකයන් යටතේ පුවත්පත් පළවන ලොව ඕනෑම තැනක එම පුවත්පත්වල අන්තර්ගතය සකස් වන්නේ එකිනෙකට වෙනස් අදහස්වලින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පුවත් සංස්කරණයේ දී අනුගමනය කැරෙන ප්‍රතිපත්තිය, පළවන පුවත්වලට ආර්ථිකමය වටිනාකමක් ද හිමිවන බව මත පිහිටා අනුගමනය කැරෙන්නක් වන අතර, විහින් බංකොලොත්වීමේ වුවමනාවක් නොමැති නම් පිළිපැදෙන ප්‍රතිපත්තිය එවැනිය. යාපනය අර්ධද්වීපයේ ඉහළ ප්‍රේක්ෂක ග්‍රහණයක් හිමි ප්‍රධාන පුවත්පත් ත්‍රිත්වය ද ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්ය. එහෙත් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ දී එම පුවත්පත් ත්‍රිත්වයම අනුගමනය කරන්නේ එකම පිළිවෙතකි. එවන් අවස්ථාවක එක්සත්ව කටයුතු කරන ඔවුන්, රාජපක්ෂවරුන් කෙරේ විරෝධාකල්පයකින් යුතුව වාර්තාකරණයේ යෙදෙන අතර, ඇතැමෙක් එහිලා භාවිත කරන්නේ ඉතාම දැඩි ස්වරයකි. මෙය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වියරු යැයි ප්‍රතිරූපයක් යාපනය ජනතාව අතර ගොඩනැගීමට හේතු වී තිබේ.

පසුගිය සති කිහිපය සැලකීමේ දී මෙම පුවත්පත් ත්‍රිත්වය රාජපක්ෂ පාලන සමයේ වූ සිදුවීම් සිය පාඨකයන් වෙත නැවත සිහිපත් කිරීමේ යෙදී තිබෙන අතර, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ප්‍රකාශ කළහොත් අත්විඳීමට සිදුවන ප්‍රතිවිපාකයන් ද, විස්තර කිරීමේ යෙදී ඇත. එසේ ඔවුන් අතර පවතින සුවිශේෂී එක්සත් භාවය හමුවේ එයට හේතුව මේ සියල්ලට ඉහළින් පවතින බලවත් අතක බලපෑමදෝහෝයි ආරක්ෂක කවයන්ගේ අවධානය යොමුව තිබේ.

අපි දන්නවා, යැයි මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධරයෙක් එයට වැඩිමනත් තොරතුරු හුවමාරු කරගැනීම ප්‍රතික්ෂේප කළේය. මෙවන් ගැටලු නිසියාකාරව ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපොහොසත්ව තිබෙන බවක් පෙනේ. ලියුම්කරු සමග අදහස් හුවමාරු කරගත් බොහෝ දෙනෙක් පෙනී සිටියේ අනෙකා හා සැසදීමේ දී භයංකාරත්වයෙන් අඩු යැයි සැලකෙන සජිත් ප්‍රේමදාස වෙනුවෙනි. නමුත් භයංකර යක්ෂයා වන ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වන පිරිසක් ද, නැතුවා නොවේ.

කෙසේවුවද, පසුගිය සතියේ තින්නල් හෝටලයේ සංවිධානය කර තිබූ වෘත්තිකයන්ගේ හමුවකට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්විය. පැමිණ සිටියෝ හමුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තීන් පැහැදිලි කළ ඔහු, නැගුණු ප්‍රශ්නවලට ද පිළිතුරු දුන්නේ ය. නාමල් කිසිදු ආකාරයක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුනොකර, සභාවේ කටයුතු මෙහෙයවූ ආකාරය ප්‍රශංසනීය යැයි ඔවුහු කීහ. අනාගත නායකයකුගේ ලක්ෂණ ඔහුට ඇතැයි ද, ඇතැමෙක් පැවසූහ. මෙම අදහස් පැමිණුනේ දෙමළ ජාතික වෘත්තිකයන් අතුරින් වීම ඉතාම වැදගත්ය.

පසුගිය අඟහරුවාදා, ජනපති අපේක්ෂක රාජපක්ෂගේ යාපනය ජනහමුව පැවැත්වුණේ මෙවන් පසුබිමකය. මහා වැසි මැද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි රික්කා ක්‍රීඩාංගනයේ පැවැත්වුණු එම ජන හමුවට ආරක්ෂාව සැපයීම සඳහා කොළඹ සිට විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ නිලධාරීන් රැසක් පැමිණ සිටියහ. භාරත් සමාජ මධ්‍යස්ථානය යටතේ පාලනය වන රික්කා ක්‍රීඩාංගනයේ ප්‍රමාණය කොළඹ මුත්තයියා උද්‍යානය හා සමය. ආරක්ෂක හේතූන් මත සිය දේශනය අවසානයේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පැමිණීමට ප්‍රථම එම ස්ථානයෙන් නික්ම ගියේ ය.

ජනහමුව ආරම්භවීමට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත යාපනයේ බලය දිනාදීමට මැදිහත්ව සිටින සහ ඒ අරබයා එකිනෙකා සමග තරගවැද සිටින දෙපාර්ශ්වයක් රික්කා ක්‍රීඩාංගනය වෙත පැමිණියහ. ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා එම එක් පාර්ශ්වයක් නියෝජනය කරමින්, ඔහුගේ පක්ෂය සංකේතවත් කරන රතු සහ කළු පැහැයෙන් යුතු වූ කුඩා ධජ අතින් ගෙන සිටි පක්ෂ ආධාරකරුවන් පිරිසක් සමග පැමිණියේ ය. අනෙක් පාර්ශ්වය නියෝජනය කරන අන්ගජන් රාමනාදන් මහතා එහි පැමිණ සිටියේ දම් පැහැයෙන් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ධජ අත දරා සිටි ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමගය. ගෝඨාභය රාජපක්ෂ තරග කරන්නේ ජනපතිවරයා ලෙස පත්වීමට නම්, මොවුන් දෙදෙනා තරග කළේ තම තමන්ගේ ශක්තිය පෙන්වීමටය. පොලිස් ඇස්තමේන්තුවලට අනුව විශේෂයෙන් ඉදිකරන ලද කැනොපියක් යට සිට සහ එයින් පිටත සිට 3500--4000ක පමණ ජනතාවක් ජන හමුවට සහභාගීව ඇත. එම ප්‍රමාණය යාපනය සැලකූ විට ඉතාම ඉහළ ජන සහභාගීත්වයකි.

යටිතල පහසුකම් අතින් ද යාපනය නගරය ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් තිබේ. යුද සමයේ ප්‍රහාරයන්ට ලක්ව විනාශව ගොස් තිබෙන ගොඩනැගිලි දැන් එහි ඇත්තේ අතලොස්සකි. අවන්හල්වල තරුණ තරුණියෝ ගැවසෙන්නෝ ය. සුපිරි වෙළඳසල්වල කොළඹට වඩා වැඩි ප්‍රමාණවලින් එළවළු සහ පලතුරු අසුරා තිබෙන්නේ ය. හෝටල ඉදිරිපස නවතා තියෙන රථ බොහෝමයක් අධි සුඛෝපභෝගී පන්නයේය. යුද සමයේ යාපනයෙන් පලා ගිය බොහෝමයක් දැන් ඔවුන්ගේ නෑසියන් බැලීමට පැමිණෙමින් සිටින අතර, ඔවුන් බහුතරයක් ඒ සඳහා භාවිත කරන්නේ දුම්රියයි. ඔවුන් වෙනුවෙන් දුම්රියෙන් සලසා දෙන සේවය නම් තවමත් පවතින්නේ ඉතාම අවම මට්ටමක බව සඳහන් කළ යුතුය. වැල්ලවත්තේ සිට යාපනය දක්වා දිවෙන අති සුඛෝපභෝගී බස් රථ සේවාවන් ඔවුන්ට තිබෙන තවත් විකල්පයකි. කාන්තාවෝ සිය ගමනාගමන පහසුකම් සලසාගෙන තිබෙන්නේ පාපැදි සහ ස්කූටරවලිනි. ඇතැම් විට මෙරට අන් කිසිදු නගරයක යාපනයේ තරම් පාපැදි සහ ස්කූටර භාවිත කරන කාන්තාවන් පිරිසක් නොසිටිනවා විය හැකිය. මේ සියල්ල අතරවාරයේ මාර්ග නීති නොපිළිපදින, ඒ නිසාම ප්‍රධාන වීදියේ නොයෙක් අකරතැබ්බයන්ට මුහුණදෙන මෝටර් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ද, එමටය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කොටි ත්‍රස්තයින් පරාජය කොට වසර 10ක කාලයක් ගෙවී තිබෙන තැන යාපනයේ සිදුව තිබෙන වෙනස සැබැවින්ම පෙනෙන්නට තිබෙන, පුදුමාකාර වෙනසකි. යුද සමයේ ලියුම්කරු යාපනයට ගිය අවස්ථාවේ එහි තිබුණේ කාලතුවක්කු සහ මෝටර් ප්‍රහාරවලින් විනාශව ගොස් ගරා වැටී තිබූ ගොඩනැගිලිය. සෑම බිත්තියකම පාහේ වෙඩි පහරවලින් වූ සිදුරු තිබිණ. ඒ කිසිවක් දැන් යාපනයේ නැත. පේලි ගණන් නව ගොඩනැගිලි ඒ වෙනුවට ඉදිව ඇත. හෝටලවල තිබෙන රූපවාහිනී හරහා චැනල 80ක් පමණ නැරඹිය හැකි අතර, ඒවා බොහෝමයක් තමින්නාඩුවේ සිට විකාශනය කෙරෙන්නේ වේ. ඒවා පැහැදිලිව තිරය මත දිස්වුව ද, කොළඹ සිට විකාශනය කෙරෙන මෙරට රූපවාහිනී නාලිකා බොහෝමයක දසුන් අපැහැදිලිය. ඇතැමුන් කේබල සේවයන් ඔස්සේ විවිධ රූපවාහිනී වැඩසටහන් නරඹමින් සිටින අතර, තවත් ඇතැමුන් යන්තම් ඇන්ටනාවක් භාවිත කර දකුණු ඉන්දියාවේ විකාශනය කැරෙන රූපවාහිනී වැඩසටහන් මෙරට සිටම නැරඹීමට පහසුකම් සලසාගෙන තිබේ.

යාපනය මෙසේ සාමාන්‍යකරණය කර තිබීමට මූලිකත්වය ගෙන තිබෙන්නේ යුද සමයේ එම නගරයේ සිටම සටන්වැදි ආරක්ෂක අංශ වීම අවධානය යොමු කළ යුතුවම තිබෙන විශේෂ කාරණයකි. යුද්ධය අවසන්වීමෙන් පසුව එළැඹි සාමකාමී වාතාවරණයේ ද, බලයේ සිටියවුන්ගේ නොහැකියාව නිසා උතුරේ සාමාන්‍ය ජන ජීවිතයේ ඇතිවූ රික්තය පිරැවූයේ ද, ආරක්ෂක අංශය. එහිලා සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් ඔවුහු, පොදු උත්සව, පාසල් දරුවන් වෙනුවෙන් රචනා තරග ආදී විවිධ ක්‍රියාකාරකම් සහ වැඩසටහන් සංවිධානය කළේ ය. එම කටයුතු මෙරට මාධ්‍ය හරහා ප්‍රචාරය කරවීමෙහිලා ද, ආරක්ෂක අංශ යටතේ ක්‍රියාත්මක වන මාධ්‍ය ව්‍යුහයන් සාර්ථක විය. දේශපාලනඥයින් අසාර්ථක වූ තැන ඔවුන් සාර්ථක වූ බව පෙන්වා දීමට මෙය හොඳම නිදසුනකි.

ප්‍රේමදාසට තිබෙන අවස්ථාව
දැන් සජිත් ප්‍රේමදාස වෙත, එනම් වෛරී යක්ෂයා දෙසට යොමු වෙමු. ප්‍රේමදාස කෙරේ යාපනය ඡන්ද දායකයින්ට පවතින බියට ස්ථීර පදනමක් නොමැත. ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු දෙමළ ජනතාවට එරෙහිව පෙනී සිටිනු ඇතැයි ඔවුහු බියපත්ව සිටින අතර, එය හා බැඳී තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ පියතුමන්ගේ ඝාතනයයි. සජිත් ප්‍රේමදාසගේ පියා වන හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අද්විතීය මෙන්ම ඇතැම් අවස්ථාවල ඉතාම ආන්දෝලනාත්මක පාලනයට 1993 වසරේ පැවැති මැයි දින රැලියේ දී, කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට හසුව ඔහු ඝාතනය වීමෙන් නැවතීමේ තිත වැටිණ. තරුණ ප්‍රේමදාස දේශපාලනයට පිවිසියේ එයින් පසුවය. ඒ දක්වාම දේශපාලනය යනු ඔහුට තහනම් කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ජ්‍යෙෂ්ඨ ප්‍රේමදාස පියවර ගෙන තිබිණ. සජිත් ප්‍රේමදාස ලබන 8 වැනිදා යාපනයට පැමිණීමට නියමිතය. තමන් කෙරේ දෙමළ ජනතාව අතර පවතින බිය හා සැක සංකා දුරු කිරීම ඔහු හමුවේ තිබෙන කාර්යභාරයයි.

සැලකිය යුතු පිරිසකගේ සහාය ඔහු කෙරේ වෙතත්, තවත් කොටසක් තවමත් සිටින්නේ දෙමළ සන්ධානය මෙවර ජනපතිවරණයේ දී සහාය දක්වන්නේ කවර අපේක්ෂකයාටදැයි නිවේදනය කරන තෙක්ය. දේශපාලන ඉල්ලීම් 13ක් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ 5ක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පසුගිය අඟහරුවාදා යාපනයේ දී හමුවුව ද, අවසන් තීරණයක් ගැනීම පසුවට කල් දැමිණ. පවත්නා දේශපාලන වාතාවරණය යටතේ ඔවුන් සිය ඉල්ලීම් 13 වෙනුවෙන් දැඩිව පෙනී සිටිනු ඇති ද, නැතහොත් නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කරනු ඇති ද, යන්න පැහැදිලි නැත. නමුත් ඔවුන් ජනපති අපේක්ෂකයකුට සහාය දක්වන්නට තීරණය කළහොත්, ඒ සජිත් ප්‍රේමදාසට බව පැහැදිලිවම කිව හැකිය. කොපමණ ප්‍රමාණයකින් ඔහු වෙත එම සහාය ලබාදෙනු ඇතිදැයි අරබයා තීරණාත්මක සාධකය වනු ඇත්තේ ප්‍රකාශ කැරෙන ඡන්ද ප්‍රමාණය මතය. කෙසේවුවත්, කොළඹ පැවති මතය පුස්සක් බවට පත් කරමින්, මැතිවරණයේ දී ඡන්දය පළනොකර සිටීමට ජනතාව මෙහෙයවීම සඳහා ගැනුණු උත්සාහයන් සියල්ල ව්‍යර්ථ විය. එම උත්සාහයන්ට විරෝධය දැක්වූවෝ, ඡන්ද දායකයෝම වූහ.

මෙයින් පැහැදිලි වන්නේ දෙමළ ජාතික සන්ධානයට යාපනයේ හිමි ඡන්ද පදනම කොටස් දෙකකට බෙදා දැක්විය හැකි බවය. ඉන් එක් කොටසක් දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටින අතර, වසර 5කට ආසන්න කාලයක් පුරාවට දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් ඉටු නොකළේයැයි අදහස දරන අනෙක් කොටසට දෙමළ ජාතික සන්ධානය කෙරේ පවතින්නේ විරෝධයකි. එක්සත් ජාතික පක්ෂයේ සහායක පක්ෂයක් ලෙස කටයුතු කරමින් සිටින්නේයැයි ඔවුහු දෙමළ ජාතික සන්ධානය කෙරේ අතිශය කෝපයට පත්ව සිටින අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතා එම සන්ධානයේ නොනිල නායකයා ලෙස කටයුතු කරමින් සිටීම කෙරේ ඔවුන් අතිශය විවේචනාත්මක අදහස් දක්වන්නේ ය. දෙමළ ජාතික සන්ධානයේ නිල නායක ආර්. සම්බන්ධන් මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවීම මෙසේ සුමන්තිරන් එම සන්ධානය මෙහෙයවීම සියතට ගෙන තිබීමට හේතුවයි.

දෙමළ ජනතාව ඉන්නේ තමන්ගේ සාක්කුවේ බවට වැරදි අදහසක් ඇතිව සිටින ඔහු ඒ නිසාම දෙමළ ජනතාවගේ ඕනෑම ගැටලුවක් වෙනුවෙන් පෙනී සිට සාකච්ඡා කළ හැකි බව සිතාගෙන ඉන්නවා. දෙමළ ජාතික සන්ධානය අප වෙනුවෙන් ඉටුකර ඇති දෙයක් නැහැ. ඔවුන් කර තිබෙන්නේ සමීප ආධාරකරුවන් කිහිපදෙනෙක්ට රැකියා ලබාදීමත්, යම් අංශයක් නියෝජනය කරන වෘත්තිකයන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමත් පමණයි, අරුල් පැවසුවේ ය.

පළාත් සභා මැතිවරණය කල්දැමීම සඳහා එක්සත් ජාතික පෙරමුණ ගෙන ආ සංශෝධනයන්ට දෙමළ ජාතික සන්ධානය විවෘතවම එකඟ වූ බව පෙන්වා දුන් ඔහු, එයින් ලද ආදර්ශය අනාගත රාජපක්ෂ රජයකට මෙම පළාත් සභා සියල්ල අහෝසි කිරීමට කරන ආධාරයක් බව කීවේ ය. අරුල්ට අනුව දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද පදනමේ වැඩි කොටසක් නියෝජනය කරන්නේ කොකාවිල් (අර්ධද්වීපයේ දකුණු කොටස) සහ අරියාලයි (උතුරු කොටස) යන ප්‍රදේශයන්ය. යාපනයේ පැරණි ඕලන්ද බලකොටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පවරා තිබීම අරබයා ද, යම් කනගාටුවක් සහ කළකිරීමක් ජනතාව අතර පවතී.

කෙසේවුවත්, ප්‍රේමදාස වගකිවයුතු නොමැති වෙනත් කාරණයක් ඔහුට සැලකිය යුතු හානියක් සිදුකරමින් තිබේ. එය නම් යාපනය අර්ධද්වීපය වටා නැවත වරක් යුද හමුදා සහ පොලිස් ආරක්ෂක මුරපොළවල් ස්ථාපිත කර තිබීමය. එක් කොට්ඨාසයක, චාවකච්චේරි සිට මන්නාරම දක්වා මාර්ගයේ කිලෝමීටර 5ක් වැනි අඩු දුර ප්‍රමාණයක ස්ථාපිත කර තිබූ මාර්ග බාධක ප්‍රමුඛ ආරක්ෂක මුරපොළ 3ක් ලියුම්කරු ගණන් කළේ ය. එවැනි මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ ස්ථාපිත කිරීම, භූමිය අත්පත් කරගැනීම සඳහා ගැටුම් පවතින හෝ වෙනත් බරපතළ අර්බුදයක් රටේ පවතින වාතාවරණයක නම් සාධාරණය. නමුත් එවැනි තත්ත්වයක් දැන් මෙරට නොමැත. එසේ නම්, මෙසේ ආරක්ෂක මුරපොළ ස්ථාපිත කිරීම හරහා වරක් තමන්ට මුහුණදීමට සිදුවූ දුෂ්කරතාව සහ අමිහිරි අත්දැකීම් උතුරේ ජනතාවට සිහිපත් වනු නැති ද? එසේ කිරීම හමුදාවට සහ පොලිසියට අර්ධද්වීපයේ සම්පූර්ණ පාලනය හිමි නොමැති බව පිළිගැනීමක් නොවේ ද? එසේ කිරීමෙන් අදහස් වන්නේ යාපනය අර්ධද්වීපයට ඇතුල්වන හෝ පිටවන ඕනෑම පුද්ගලයකු ඒ සඳහා ආරක්ෂක වශයෙන් තමන් පිරිසිදු බවට සහතිකයක් ලබාගත යුතු බව ද?

ලියුම්කරු මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නිලධාරියෙක් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේ ය. අහිංසක සිවිල් වැසියන් 268 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා සංහාරයෙන් පසුව මෙම මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ ස්ථාපිත කළ බව ඔහු පැවසුවේ ය. එසේ නම්, එම මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළවල ආධාරයෙන් ගැටුම් ඇතිකිරීම සඳහා යොදාගත හැකි උපකරණ හෝ උවාරණයක් කිසිවක් සොයාගැනීමට හැකිවූවා ද, නැතහොත් යන්නේ කොහේට ද? එන්නේ කොහේ සිට ද? ආදී ලෙස තතු විමසා ජනතාව අපහසුතාවයට පත්කිරීම පමණක් ද? යන්න ලියුම්කරු ඔහුගෙන් විමසා සිටියේ ය. ලැබුණු පිළිතුර පුදුම සහගත විය. එවැනි කිසිවක් සොයාගත නුහුණු බව පැවසූ එම නිලධාරියා, ඉහළින් ලැබුණු නියෝග මත කටයුතු කළ යුතු වුණු බව කීවේ ය.

මෙසේ සිදුකැරෙන පරීක්ෂා කිරීම් සඳහා දේශපාලන අනුබලය සහ ආශිර්වාදය හිමි බව පැහැදිලිය. රටේ ආරක්ෂක ව්‍යුහයේ ඉහළම තැන සිටින්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වීම ඊට හේතුවය. සේනාධිනායකයා වන්නේ ඔහුය. කාරණා දෙකක් නිසා මෙම වත්මන් වැඩපිළිවෙළ අවැඩදායක පමණක් නොව සැලකිය යුතු හානියක් සිදුකරමින් තිබෙන බව කිව හැකිය. පළමුව, යාපනයට පැමිණ තිබෙන ඕනෑම අයකු දන්නා දෙයක් වන්නේ මෙහි භූමිය සම්පූර්ණයෙන්ම පාහේ විවෘත බවය. එහි ජනාවාස ඇති මෙන්ම එසේ නොමැති ප්‍රදේශ ද, ඇත. එවැනි වාතාවරණයක තමන් යාපනයට බෝම්බ තැබීමට පැමිණියේ යැයි එම උවාරණ ද සමග, මුරපොළක දී ආරක්ෂක අංශවලට හසුවීමට තරම් කිසිදු ත්‍රස්තවාදියකු හෝ කඩාකප්පල්කරුවකු මුග්ධයකු විය නොහැකිය. එසේ වන්නේ නම් ඔහුට හෝ ඇයට කිසියම් මානසික ව්‍යාධියක් තිබිය යුතුය.

නැත. එවැනි වුවමනාවක් ඇති පුද්ගලයෙක් ඒ සඳහා වුවමනා කරන උවාරණ සහ උපකරණ යාපනයට රැගෙන එනු ඇත්තේ රහසේය. යාපනය යනු විවෘත භූමියකි. ඒ හරහා නගරයට පිවිසීමට රහසිගත මාර්ගයක් සොයා ගැනීම අපහසු නැත.

එසේ නම් මෙම මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ ස්ථාපිත කිරීමේ අරමුණ කිම? දෙවන කාරණය නම්, ආරක්ෂක විධිවිධානයක් වශයෙන් ඉතාම සාර්ථක යැයි හඳුන්වා දී තිබෙන මෙම ආරක්ෂක මුරපොළ සහ මාර්ග බාධකවලින් සිදුවන්නේ, ඒවා මගහැර ඉහත කී රහසිගත මාර්ග හරහා එම මුරපොළවලින් අල්ලා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය අවසන නගරයටම යන නිසාවෙන්ම, උතුරේ ජනතාව අනවශ්‍ය පරිදි අපහසුතාවයට පත් කිරීමක් පමණක්ම වීමය. උතුර හා දකුණ අතර නිදහස් ගමනාගමනයකට ඇති ඉඩකඩ අවුරා දමන මෙම ව්‍යායාමයෙන් සිදුවන්නේ වෛරය සහ බෙදුම්වාදයේ බීජයන් නැවත වැපිරීමක් පමණකි. සියලුම හමුදා සාමාජිකයන් එකිනෙකා හා සමාන නොවන්නා සේම සියලුම පොලිස් නිලධාරීන් ද එකිනෙකා හා සමාන නොවෙත්. මේ නිසා ජනතාව මෙහෙයවීමේ දී, මීට වඩා ප්‍රවේසම් විය යුතුය. මෙය වරක් ආරක්ෂක අංශ තලාපෙලා පොඩිකර දැමූ බෙදුම්වාදී අරගලය නැවත දලුලා වැඩීමට අවශ්‍ය සාධක සපයන්නක් බවට පැහැදිලි පෙර ලකුණකි. නැවත අරගලයක් ඇතිවීම සඳහා සරු බිමක් සකස් කිරීමේ අර්ථයක් තිබේ ද?

ආරක්ෂාව අනවශ්‍ය බවක් මින් කිසිසේත්ම අදහස් නොකෙරේ. අවශ්‍යව තිබෙන්නේ අදාළ බලධරයින්ට සහ පොලිසියට ගැටුම් ඇතිවිය හැකි ස්ථාන හඳුනාගැනීමට සහ එම ගැටුම් ඇතිකිරීමට තුඩුදෙන පුද්ගලයින් හඳුනාගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීමේ සමත් කාර්යක්ෂම බුද්ධි පද්ධතියකි. එක්සත් ජාතික පෙරමුණු රෙජිමය යටතේ වූ සිත කළඹවන සුලු ආකාරයේ සිදුවීමක් වූයේ දෙමළ දේශපාලන පක්ෂයක බලපෑම මත හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සේවයට අනුයුක්ත කිරීමෙන් වැළකීමය. එසේ නම් බුද්ධි තොරතුරු එක්රැස් කරන්නේ කවුරුන් ද? සහතිකයෙන්ම, ආරක්ෂක මුරපොළවල සිටින නිලධාරීන්ට එය කළ නොහැකිය. එක්සත් ජාතික පෙරමුණේ ඉහළම තලයේ දේශපාලනඥයින් කිහිපදෙනෙක් පෞද්ගලික කරුණු කාරණා නිසා හමුදා බුද්ධි අධ්‍යක්ෂ අංශය කෙරේ දැඩි අප්‍රසාදයකින් පසුවේ. එයින් පන්නරය ලබන ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් සහ සිතිවිලි ගොන්නක් යාපනය ජනතාව අතර ජනිත වෙමින් පවතින බව මෙම දේශපාලනඥයින් පවා නොදන්නා බව පෙනෙන්නට තිබේ.

මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළවලට අමතරව යාපනයේ වර්ධනය වෙමින් පවතින තවත් ව්‍යසනකාරී තත්ත්වයක් වන්නේ මත්ද්‍රව්‍ය, විශේෂයෙන්ම කේරළ ගංජා, භාවිතයයි. යාපනය සිට කේරළ ගංජා, මන්නාරමට, පුත්තලමට සහ හලාවතට පවා ගලා එමින් තිබෙන අතර, වුවමනා තරමට මිලයට ගැනීමට තරම් කේරළ ගංජා වර්තමානයේ මෙම ප්‍රදේශවල තිබේ. එහි භාවිතය සැලකිය යුතු මට්ටමකින් ඉහළට ගොස් ඇත. මෙය යම් යම් අවස්ථාවල අදාළ පුද්ගලයින් අල්ලා ගැනීමට උපකාර වුව ද, සමස්තයක් ලෙස මත්කුඩු උවදුර මර්දනය කිරීමෙහි ලා හෝ මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ අසාර්ථකව තිබෙන බව පෙන්වාදීමට කදිම නිදසුනකි. ගෙවුණු මාස කිහිපයේ දී, ඉහත සඳහන් කළ කේරළ ගංජා භාවිත කිරීම කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවට බිය පළව ඇත.

අප්‍රේල් මස 21 වැනිදා පාස්කු ඉරිදා සංහාරය යනු සමාව දිය නොහැකි බුද්ධි අංශ අසාර්ථකත්වයක සහ අතපසුවීමක ප්‍රතිඵලයයි. බුද්ධි අංශවල පළමු රාජකාරිය වන්නේ ජාතික ආරක්ෂාවට එල්ලව තිබෙන තර්ජන හඳුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය දැනුම්වත් කිරීමය. මෙරට බුද්ධි ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙන, රාජ්‍ය බුද්ධි සේවය පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු කල්තියාම දැනගෙන සිටිය ද, එම තොරතුරු නිසි කාලය ඇතුළත දේශපාලන නායකත්වය වෙත ලබානොදුන් බව දැන් අනාවරණයව තිබේ. මේ නිසාම මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ ගැන නැවත සිතා බැලීමක් සිදුකිරීම අත්‍යාවශ්‍යය. අවධානය යොමුවිය යුත්තේ ක්‍රියාකාරී බුද්ධි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කෙරෙහිය. කොටි ත්‍රස්තයින් යුදමය වශයෙන් පරාජය කර දිනාගත් වාසියෙන් කොටසක් මෙසේ මාර්ග බාධක සහ ආරක්ෂක මුරපොළ නැවත පිහිටුවීමෙන් එක්තරා අතකට අප අහිමි කරගෙන තිබෙන බව කිව හැකිය. කොටි ගරිල්ලන්ගේ හස්තයෙන් මුදවා ගත් බව කීව ද, තමන්ට තවමත් විමුක්තියක් ලැබී නොමැති බව පවසන්නෝ බොහෝය.

යාපනය අර්ධද්වීපය කුමන යක්ෂයා ජය ගත්ත ද, ඔහුට මුහුණදීමට සිදුවන්නේ එදාට වඩා අවදියෙන් සිටින ජනතාවකටය. ඔවුන් නියෝජනය කරමින් කොළඹට පැමිණ සිටින දේශපාලනඥයන්ට වඩා, ඔවුන් නැවත නැවතත් තමන් නියෝජනය කරන ජනතාව ගැන කරන එකම ප්‍රකාශයන්ට වඩා, අද යාපනයේ දෙමළ ජනතාව වෙනස්ය. සිවිල් ජනතාව සැලකීමේ දී, එදිනෙදා ජීවිතය ගැන වදවීමට තරම් දෙයක් ඔවුනට නොමැත. ඔවුන්ගේ අවශ්‍යතා බහුතරයක් දැනටමත් සැපිරී අවසන්ය. සපුරාගැනීමට තරම් අවශ්‍යතාවයක් ඔවුනට වේ නම් එය උතුරේ සිට දකුණට බාධාවක් නොමැතිව, අපහසුතාවයක් නොමැතිව, ගමන් කිරීමට අවස්ථාවක් තිබීමය. එක්සත් ජාතික පෙරමුණු රජය හෝ එහි සහායක පාර්ශ්වයක් ලෙස කටයුතු කරමින් සිටින දෙමළ ජාතික සන්ධානය හෝ මෙසේ අවදියෙන් සිටින ජනතාවකගේ නිහැඬියාව නිසි පමණින් ආමන්ත්‍රණය කිරීමට සමත්ව නොමැත. තවත් දින 13කින් බලයට පත්වන නව ජනපතිවරයා මෙම තත්ත්වය අවධානයට ගත යුතුමය. ඒ මන්ද යත්, උතුරේ මෙම නිහැඬියාව, ඉදිරියේ එන සිදුවීම්වල පෙර ලකුණක් වන බැවින්ය.

රනිල්ගේ මම තමයි අගමැති වන්නේ ප්‍රකාශය
කොළඹ - ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම එකිනෙකා සමග ගැටීම නිසා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිවරණ ව්‍යාපාරය පසුගියදා ප්‍රබල පසුබෑමකට ලක්විය. වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නායකයා ද, වේ.

පසුගිය බදාදා අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ අගමැති වික්‍රමසිංහ,
සජිත් ප්‍රේමදාස ජනපතිවරයා ලෙස පත්වෙනවා. මම අගමැතිවරයා ලෙස අපගේ සංවර්ධන කටයුතු ඉදිරියට අරගෙන යනවා, යැයි පැවසුවේ ය. මාධ්‍ය වෙතින් නැගුණු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ සඳහන් කළේ ය. මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ගෙවුණු වසර 5ක කාලයේ රජයේ ලබාගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහාය.

මෙය ප්‍රේමදාසව කෝපයට පත් කළේ ය. එවැනි ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂ නායකයා සිදුනොකළ යුතුව තිබුණේ බව සිය හිතවතුන් හමුවේ පවසන්නට යෙදුණු ඔහු, සමාජ මාධ්‍ය දැනටමත් එය හුවා දක්වමින් පුවත් පළකරන්නට ගෙන තිබෙන බව කීවේ ය. අගමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රේමදාසගෙන් පිළිතුරක් එම පුවත්වලින් අපේක්ෂා කර තිබිණ. ප්‍රතිඵලය - නුවර රැජින හෝටලයේ ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයේ දී අදහස් දැක්වීමට වික්‍රමසිංහට අවස්ථාවක් නොලැබීම විය. ප්‍රේමදාසට අමතරව, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරු සහ සමාජ ක්‍රියාධරයකු වන වික්ටර් අයිවන් මහතා එම අවස්ථාවේ දී, අදහස් දැක්වූහ. වික්ටර් අයිවන් මීට පෙර රනිල් හිතවාදියකු ලෙස පෙනී සිටි අතර, එයටත් පෙර ඔහු හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හිතවාදියකු ලෙස ද, පෙනී සිටි අයෙකි.

එය එතනින් නතර වූයේ ද නැත. ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ අවස්ථාවේ සිදුකළ දේශනයේ දී, ප්‍රේමදාස වහෙන් ඔරෝවෙන් චෝදනා එල්ල කළේ ය. ඔහුගේ අදහස් මෙවැනි විය.

අපි තවමත් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ එක කැබිනට් අමාත්‍ය ධුරයක් පමණයි. එය අපගේ ජාතික ආරක්ෂාව පමණක් නොව නීතියේ සහ සාමයේ පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහායි. මම ඒ වගකීම පැවරුවේ පෞද්ගලික සබඳතා මත පදනම්ව නොවේ. මම ඒ තනතුර අපගේ වීරෝධාර හමුදාපති සරත් ෆොන්සේකා මහතාටම ලබාදුන්නේ ඔහු යුද්ධය අවසන් කර අපේ රටට ගෞරවාන්විත සේවයක් ඉටු කළ නිසා.

මෙය ආදර්ශයට ගන්න කියා මම ජනතාවට කිව යුතුමයි. වංචා, දූෂණ හෝ සොරකම්වල යෙදී තිබෙන පුද්ගලයින් පත්කර ගන්නට මම මගේ අත්සන යොදන්නේ නැහැ. ඔවුන්ට කිසිම තනතුරක් ලැබෙන්නේ නැහැ. රටට සහ එහි සංස්කෘතියට එරෙහිව ගොස් තිබෙන කිසිම කෙනෙක්ට මම කිසිම තනතුරක් ලබාදෙන්නේ නැහැ. දැනට නම් කර තිබෙන්නේ සරත් ෆොන්සේකා පමණක් බව යන්න සියලුම දෙනා හොඳින් තේරුම්ගත යුතුයි. අනෙක් අයට තනතුරු දෙනකොට, ඒ අයගේ අත් පිරිසිදු ද, කියා මම බලනවා. ඔවුන් වංචනික කටයුතුවල යෙදී, රජයේ සම්පත් සොරාගෙන ඇති ද, කියා මම සොයා බලනවා. මම ඔවුන්ව පත්කරන්නේ, ඔවුන් පිරිසිදු නම් පමණයි.

අගමැතිවරයාගේ අදහස් දැක්වීම ප්‍රේමදාසගේ ජනපතිවරණ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුකළ බව ඔහුගේ ආධාරකරුවෝ පැවසූහ. එනිසාම, වරද නිවැරදි කිරීම විනා අන් කළ හැකි කිසිදු දෙයක් ප්‍රේමදාසට නොතිබූ බව ඔවුන්ගෙන් අයෙක් පැවසුවේ ය. එයින් අදහස් වන එකම දෙය නම් එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා එකිනෙකාගෙන් තවදුරටත් දුරස්වන බවය. එය වඩාත් ගම්‍ය වන්නේ ප්‍රේමදාස සිය අදහස් දැක්වූයේ කෝපාන්විතව නිසාය. කෙසේවෙතත් අගමැතිවරයාට එරෙහිව යුද ප්‍රකාශ කිරීම ප්‍රේමදාසට ජය කැන්දනු ඇති ද, නැතිනම් එය ඔහුට පරාජය අත්කර දෙනු ඇති ද, යන්න මෙම කාරණය සඳහා අදාළ නැත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ද, ගෙවුණු සතිය ගැටලුවලින් තොර නොවීය. නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක කැඳවීම සඳහා ද, ජනමතය ප්‍රකාශවීමක් ලෙස සැලකිල්ලට ගතහැකි බව පැවසීම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය කලබලයට පත්විය. එම පක්ෂයේ නොනිල නායකතැන බවට දැන් පත්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේනට මේ බව දැනුම්දෙනු ලැබුණු අතර එය ඔහුගේ අසතුටට හේතු විය. මෙම අවස්ථාව වනවිට ජනපතිවරයා සිටියේ පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයේ සිට සිංගප්පූරුව බලා යමිනි. වහාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ඇමතූ ඔහු, මෙම කාරණය සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණු නායකත්වය සමග කරුණු පැහැදිලි කරගන්නා ලෙස උපදෙස් දුන්නේ ය. කඩිනම් මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොපහන් හැඟීමකින් සිටින බව පෙනෙන්නට තිබුණු අතර, එසේ වුවහොත් විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට හැකියාව නොලැබෙනු ඇතැයි එම පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බියට ද, පත්ව සිටියහ.

කෙසේවුවත්, කඩිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ පොරොන්දුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ද ලබා දී තිබේ. එනිසා, මෙම කාරණය ජනපතිවරණයෙන් පසුව වැඩිදුර අධ්‍යයනය කළ හැකි බව එහි නායකයන් පවසා තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙහි ලා කැමැත්ත විමසීමට සහ එය සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනාගැනීමට හැකිවෙතැයි දැඩි විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුල් පෙළ නායකයෙක් පැවසුවේ ය. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දුවක් දී තිබීම කෙසේවෙතත්, ව්‍යවස්ථාව අනුව සැලකීමේ දී, පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ඔවුන්ට අත්‍යාවශ්‍යයෙන්ම සිදුවන බව ඔහු වැඩිදුරටත් කීවේ ය.

විශ්‍රාම වැටුප් ගැටලුව විසඳාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන අපගේ අවධානය යොමුව තිබෙනවා, එම නායකයා පැවසුවේ ය. තුනෙන් දෙකක බහුතරය ඇතිවා හෝ නැතිවා, බහුතරය දිනාගැනීමට හැකිවෙතැයි දැඩි විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවසීම අතිශය වැදගත්ය. තත්ත්වය එසේ නම් ජනපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් ඒ හා ම ඔවුන්ගේම යැයි රජයක් පිහිටුවාගැනීමට පොදු ජන පෙරමුණට හැකිවනු ඇත. එසේ පිහිටුවාගන්නා රජය ලබන පාර්ලිමේන්තු මැතිවරණය තෙක් පවත්වාගැනීමට ද, ඔවුනට හැකියාව ලැබේ.

පසුගිය බ්‍රහස්පතින්දා ලියාපදිංචි දේශපාලන පක්ෂ 17ක්, පොදු සන්ධානයක් එනම්, ශ්‍රී ලංකා පොදු ජන නිදහස් සන්ධානය පිහිටුවාගැනීම සඳහා වූ එකඟතාවයකට අත්සන් තැබුවේ ය. මෙය පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නම වෙනස් කරනු ලැබූ තෙවැනි වතාවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම සන්ධානයට ඇතුළත් අතර, මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන එහි සම නායකත්වය උසුලනු ඇති බවට ඔවුහු එකඟ වූහ. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනපති සිරිසේන වෙනුවට සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතර, තමන් මත පනවාගෙන සිටින නිර්පාක්ෂික පිළිවෙත අවසන් කළ වහාම ජනපති සිරිසේන එම කටයුතු භාරගනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග අත්වැල් බැඳගැනීම හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කෝපයට පත් කළ සිදුවීමක් විය. අපි ශ්‍රී ලංකා යැයි තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් පසුගිය සිකුරාදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේ ය. බණ්ඩාරනායක මෙම කණ්ඩායම හා සම්බන්ධය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කටයුතුවලට සහභාගීවන මහජන තනතුරු හොබවන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනු හඳුනාගත හැකිය. දේශපාලන පක්ෂවල කිසිදු කටයුත්තකට දායකත්වය නොදක්වන ලෙසට ඔහු පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේ ය. ඔහු එවැනි පියවරක් ගත්තේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමේ යෙදෙන ආයතනයක් ඡන්ද වැඩවලට සහභාගීවන ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙක් හඳුනාගෙන තිබීම හමුවේය. පසුගිය සතියේ මෙම තීරුවට අදහස් දක්වමින් තමා සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව පැවසූ ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා, තමා ආරම්භයේ සිටම නිර්පාක්ෂිකව කටයුතු කළ බවත් - ඉදිරියටත් එසේම කටයුතු කරන බවත් කීවේ ය. මේ හා සමානම ප්‍රතිචාරයක් උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගෙන් ද, පළවිය. ඔහු ද, සැලකෙන්නේ ප්‍රේමදාසගේ ආධාරකරුවෙක් ලෙසය. තමා කිසිදු ජනපති අපේක්ෂකයකුට ආධාර නොකරන බව ඔහු පැවසුවේ ය.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආන්දෝලනය
පසුගිය සතියේ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමය. එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය සමග, මෙරට ප්‍රවාහන සහ ඉඩම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් ලක්ෂ 4800ක වටිනාකමකින් යුත් ගිවිසුමකට අත්සන් තැබීම එම කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතය විය. මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ජනපතිවරණයෙන් පසුව බව අවධාරණය කළ ජනපති සිරිසේන, එම ගිවිසුමට දැඩිව විරෝධය පළකිරීම පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ කටයුතු සම්පූර්ණයෙන්ම ආපසු හැරවීමට සමත් විය.

රජයේ ඇතැම් පාර්ශ්ව සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙම ගිවිසුමට ඉක්මනින් අත්සන් තැබීමට උත්සාහ කළ අතර, ගිවිසුමෙහි වාසි සහ අවාසි විමසුමට ලක්කිරීම සඳහා ශ්‍රී ලංකා ජනතාවට අවස්ථාවක් ලබාදීම කෙරේ ඔවුන්ගේ අවධානය යොමුව නොතිබිණ. ගිවිසුම අත්සන් තැබීමට ඔවුන් උත්සාහ කරමින් සිටියේ ද, ජනපතිවරණයක් පැවැත්වෙන්න ඔන්න මෙන්න තිබිය දී - ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ ඊට ඇලීගැලී සිටින වාතාවරණයක වීම ද, විශේෂය. මෙම කටයුත්තට එරෙහිව කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පසුගිය සිකුරාදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය. විරෝධය නැගෙන්නට ගත් තැන මුදල් අමාත්‍යවරයා එදිනම, ගිවිසුමේ කෙටුම්පතක් මාධ්‍ය වෙත නිකුත් කළේ ය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල මහත්වරුන් සහ අතුරලියේ රතන හිමි පසුගිය බ්‍රහස්පතින්දා හදිසියේම ජනපති සිරිසේන හමුවූහ. ජනපතිවරණයට පෙර මෙම ගිවිසුමට අත්සන් කිරීමේ උත්සාහයක් පවතින බවට ඔවුහු පැමිණිලි කළහ. ඒ හමුවේ ජනපති සිරිසේන, මුදල් අමාත්‍යවරයා සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ විය. ඒ වනවිට ඔහු සිටියේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ නුවර නිවසේ දිවා ආහාරය ගනිමිනි.

ජනපතිවරණයට ඉස්සෙල්ලා එම්සීසී ගිවිසුම අත්සන් කිරීමේ කුමන හෝ සැලැස්මක් තිබෙනවා ද? ජනපතිවරයා ඔහුගෙන් විමසුවේ ය. සමරවීර පිළිතුර දෙමින් එවැනි කිසිදු සැලැස්මක් නොමැති බව කීවේ ය. මාධ්‍ය මේ සම්බන්ධයෙන් පුවත් මවමින් සිටින ආකාරය ගෙන හැර දක්වමින් දෙදෙනා සිනාසුනහ. මෙවැනි තත්ත්වයක් මතුවූ පළමු අවස්ථාව මෙය නොවන බව සමරවීර පැවසුවේ ය.

ගිවිසුම අත්සන් කිරීමේ සැලැස්මක් නොමැති බව පසුගිය සෙනසුරාදා සමරවීර කීවේ ය.

අපි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්පූර්ණ විවාදයකට එය යොමු කරනවා, සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ ය.

කෙසේ නමුත් ඔහුගේ අදහස් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් හා සැසදීමේ දී පරස්පර විරෝධීය. අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සහ තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය අතර පැහැදිලි වෙනස්කම් පැවතිණ.

ගිවිසුම අත්සන් කළ පසු එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත යවනු ඇත, යැයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. එනම්, පාර්ලිමේන්තුව කරා ළඟාවන විට ගිවිසුම අත්සන් තබා අවසන්ය. රජය සහ නිලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ගිවිසුමේ සඳහන් තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකා රජය පිළිබඳ ඇති සඳහනයි. ශ්‍රී ලංකා පුරවැසියන් නොමග යැවීමේ උත්සාහයක් තිබෙනවා ද?, සිදුකර තිබෙන එකම පැහැදිලි කිරීම වන්නේ මෙම ගිවිසුමට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙන බව නැවත නැවතත් සඳහන් කිරීම පමණකි. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්නේ නීතිමය කාරණාවලට අදාළ අනුමැතිය මිස, ඒවායින් අත්විඳිය හැකි දීර්ඝකාලීන බලපෑම් සම්බන්ධයෙන් විවරණයක් නොවේ.

පරිවර්තනය
කෝවිද ගුණසේකර