මැගසින් බන්ධනාගාරය බිඳදමා ජවිපෙ සාමාජිකයන් 221ක් පැනගිය 1988 දෙසැම්බර් 14 වැනිදා උදෑසන බන්ධනාගාරය දිස්වූයේ මෙසේය.

 

රාජ්‍යය නමැති උපකරණය බිහි වූයේ කෙදිනක ද එහි අත්‍යවශ්‍ය අංගයක් ලෙස සිරගෙවල් පැතිරී තිබේ. අන් සිරකරුවන් මෙන් නොව දේශපාලන හේතු මත සිරගත වූවන් හැඳින්වෙන්නේ දේශපාලන සිරකරුවන් නමිනි. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරය :ක්‍ඍධඡඡ* ශ්‍රී ලංකාවේ ඇරඹුණේ 1975 දීය. ජවිපෙ 1971 සිරකරුවන් නිදහස් කර ගැනීම එහි ආසන්නම හේතුව විය. රාජ නීතිඥ එස්. නඬේසන්, සූරියා වික්‍රමසිංහ, මහජන එක්සත් පෙරමුණේ හිටපු සභාපති සහ ජවිපෙ හිතවාදී නීතිඥ එම්. බී. රත්නායක ඇතුළු කිහිප දෙනෙක් එහි පෙරමුණ ගත්හ. හදිසි නීතිය 1976 දී ඉවත් කිරීමට එහි උද්ඝෝෂණයන් බලපෑ අතර හදිසි නීතිය ඉවත් කිරීම නිසා 1971 දී ජවිපෙට පනවා තිබූ තහනම ද ඉවත් විය.


මර්ජ් ආයතනයේ සභාපති චාල්ස් අබේසේකර විසින් පසුකලෙක මෙය විදේශ ආධාර ද ලබමින් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස මෙහෙයවන ලදී. මතිමතාන්තර නොසලකා දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම එහි පරමාර්ථය විය. ක්‍රියාකාරී කමිටුවට ආණ්ඩු පක්ෂය හැර සෙසු පිළිගත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් අයත් විය. ඉන්දු - ලංකා ගිවිසුම පිළිගත් මෙම සංවිධානය 1987 ජූලි ගිවිසුම් විරෝධි අරගලය ඇරඹුණ විට දකුණේ ජනයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මුනිවත රැකීය. සංවිධානයේ සමලේකම් නීතිඥ දුෂ්මන්ත සමරසිංහ ද මෙම ඒකපාර්ශ්වීය ස්ථාවරයට විරෝධය පළකරමින් 1987 නොවැම්බර් 17 ඉල්ලා අස්විය.


ඉන්දු - ලංකා ගිවිසුම 1987 ජූලි මස 29 අත්සන් කිරීමට රජය ගත් තීරණයත් සමගම එයට එරෙහිව මතුවන විරෝධතා උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා රටපුරා සරසවි සිසුන් සහ ජවිපෙ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමේ යෝධ මෙහෙයුමක් 1987 ජූනි 20 එක රැයකින් ක්‍රියාත්මක කරන ලදී, මේ අනුව රට පුරා පොලිසි හමුදා කණ්ඩායම් සමග සරසවි සිසු නායකයින් 310ක් සහ ජවිපෙ ක්‍රියාකාරිකයන් 450ක් අත්අඩංගුවට ගැනීමට ඔවුන් සිටි නේවාසිකාගාර, නිවාස සහ සැකකරන නිවාස වැටලූහ. එහෙත් ආරක්ෂක අංශවලට අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ කොළඹ, කැලණිය, මොරටුව, පේරාදෙණිය, ජයවර්ධනපුර, රුහුණ යන සරසවිවල සිසු නායකයින් 88 දෙනෙකු පමණක් සහ ජවිපෙ ක්‍රියාකාරිකයන් 126 දෙනෙකු පමණි.


ශ්‍රී ලංකාවේ විශාලතම සහ උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරය කොළඹ මැගසින් බන්ධනාගාරය වන අතර එය 1841 දී බි්‍රතාන්‍ය පාලන සමයේදී කැමරුන් ආණ්ඩුකාරයා විසින් ඉදිකර තිබේ. අක්කර 48ක් පුරා ඇති මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 1,700කට පහසුකම් ඇතත් සාමාන්‍යයෙන් එහි රැඳවියන් 6000කට ආසන්න ප්‍රමාණයක් රඳවා තබාගෙන සිටී. ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් අය 1987 මැද භාගයේ සිට 1990 මාර්තු දක්වා කොළඹ සහ රට පුරා බන්ධනාගාර සහ පොලිස් රැඳවුම් මැදිරිවල රඳවාගෙන තිබිණි.


සරසවි සිසු නායකයින් 71 දෙනා මෙන්ම ජවිපෙ ක්‍රියාකාරිකයන් 126 දෙනා ද රඳවා තිබුණේ මැගසින් බන්ධනාගාරයේය. ජවිපෙ ක්‍රියාකාරිකයන් 126 අතර අවිස්සාවේල්ල නීතිඥ සමන් වික්‍රමබන්දු, සංවර්ධන සභා මන්ත්‍රීවරුන් වූ වෘත්තීය සමිති නායක ගාමිණී ජයලත් සහ ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ගුණවර්ධන, වැලිවේරියේ සුනිල් කස්තුරිආරච්චි ද නුවර, බදුල්ල, කෑගල්ල, මාතලේ, අම්පාර, අනුරාධපුරය දිස්ත්‍රික්කයන්හි ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරී පිරිසක් ද වූහ.


මෙම පිරිසට අමතරව මැගසින් බන්ධනාගාරය තුළ ජවිපෙ 2 වැනි කැරැල්ලට සම්බන්ධ වීම හේතුවෙන් නඩු පැවරීම් සහ අත්අඩංගුවට ගෙන සිටි තවත් 143 දෙනෙකු ද 1987 ජූනි 22 වනවිට මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටියහ. ඔවුහු අතර මහනුවර, පල්ලෙකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 අවි පැහැර ගැනීමට ප්‍රහාරයක් එල්ල කළ ජවිපෙ කණ්ඩායමේ සාමාජිකයන් 12න් 8ක් විය. 


ප්‍රේමකුමාර් ගුණරත්නම් මැගසින් බන්ධනාගාරයේ ඒ ෂෙල් එකේ රඳවා සිටි අතර සැකකරුවන්ට ජවිපෙ අධ්‍යාපන පන්ති ඔහු විසින් පවත්වන ලදි. එහිම ඒ සහ බී මැදිරිවලත් ඒ සහ බී වාට්ටුවලත් ජවිපෙ ක්‍රියාකාරිකයන් සිය ගණනක් රඳවා තිබිණි. මැදිරිය සහ වාට්ටුව යනුවෙන් අදහස් කරන්නේ මැදිරිවල වෙන් කළ කුටි පැවතීමත්, වාට්ටුවල එසේ නොමැති තනි ශාලාවක් වීමත්ය. බී මැදිරියේ රඳවාගෙන සිටියේ ත්‍රස්තවාදී මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් ජවිපෙ සැකකරුවන්ය. අනෙක් අය රඳවා සිටියේ හදිසි නීතිය යටතේය. 1987ට කලින් ඒ සහ බී මැදිරිවල රඳවාගෙන සිටියේ දෙමළ බෙදුම්වාදී සැකකරුවන් 132ක් සහ වැරදිකරුවන් 17කි. රටපුරා ජවිපෙ ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමත් සමඟම දෙමළ බෙදුම්වාදී සැකකරුවන් ඒ ආසන්නයේම පිහිටි ගොඩනැගිලිවලට මාරුකර යවන ලදී. බන්ධනාගාරයට ජවිපෙ දේශපාලන සිරකරුවන්ගේ පැමිණීම එහි සිට අපරාධවලට සම්බන්ධ සිරකරුවන්ට සහ සේවක පිරිස්වලට නව ප්‍රබෝධයක් සහ අත්දැකීමක් විය.

මැගසින් බන්ධනාගාරයට පහරදී ජවිපෙ පිරිසක් මුදාගෙන ගිය මෙම පෞද්ගලික බස් රිය හමුදා වෙඩි පහරට ලක්වීමෙන් පසු සර්පන්ටයින් පාරේ කාදර් නානාගේ වත්තේ නිවසක්ද කඩාගෙන නතර වී තිබූ අන්දම.

 


දෙවැනි කැරැල්ලේදී බෙහෙවින් ප්‍රබල දේශපාලන ක්‍රියාවලියක් සඳහා සුවිශේෂ මෙහෙයක් ඉටුකරනු ලැබුවේ මැගසින් බන්ධනාගාරයයි. මේවායේ දේශපාලන ක්‍රියාකාරකම්වලට අමතරව ඒ වාට්ටුව කේන්ද්‍රකර ගනිමින් කැරැල්ල නමින් බිත්ති පුවත්පතක් ද ඒ මැදිරිය මුල් කරගනිමින් ශක්ති නමින් බිත්ති පුවත්පතක් ද නිර්මාණය කරන ලදී. එමෙන්ම ඒ වාට්ටුව පුරා දේශප්‍රේමිත්වය තේමා කරගත් තරුණ අරගලය පිළිබඳව සඳහන් කර තිබුණේය. දේශපාලන සිරකරුවන්ගේ කාලය යොමු වූයේ සිත්ගන්නා අයුරිනි. සන්ධ්‍යා කාලය වෙන් වූයේ පොදු සාකච්ඡා, ප්‍රබුද්ධ ගීත ගායනා කිරීම, විමුක්ති ගී සහ සත්‍යයේ ගී ගායනා කිරීම, සාහිත්‍ය ග්‍රන්ථ පිළිබඳ සාකච්ඡා, නාට්‍ය වැඩමුළු, විවිධ ප්‍රසංග, විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය පුද්ගලයින්, රටේ පවතින අසාධාරණයන්, වත්මන් දේශපාලන තත්ත්වය, කාලීන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා වෙනුවෙනි. පේරාදෙණිය සරසවියේ මොහොමඞ් ඉක්බාල් විසින් චිලියේ වික්ටර් හාරා විසින් ලියූ ගී ගායනා කිරීම, වතුකම්කරුවන්ගේ දුක් අඳෝනා සහ යුද්ධයේ බිහිසුණු බව පිළිබඳව ලියවුණු ගී ගායනා කිරීම, දේශපාලන සිරකරුවන්ගේ සංගීත ප්‍රසංගයන් නව ආරකට යොමු කිරීමට සමත් විය.


බන්ධනාගාර කොමසාරිස්වරයාගේ අවසරයක් මත ලේඛකයා මැගසින් බන්ධනාගාරයට එකල ගිය අතර බී වාට්ටුවේ රවුම් අකුරෙන් තිබූ පහත වැකියේ ආකර්ෂණීයභාවය තවමත් මතකය. එහි වූයේ “මව්බිම නැතොත් මරණය විඳිනෙමු. භුක්ති අම්මේ අපට ලොකු නෑ හිරගේ බිත්තේ” යන්නය. ජවිපෙ සාමාජිකයන් සිටි සියලු ගොඩනැගිලිවල කටයුතු ඔවුන්ගේම විනයකට යටත් වී තිබිණි. මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සෙසු ජවිපෙ සාමාජිකයන්ට ගල්ගමුව සහ මරඳගහමුල බැංකුවලින් මුදල් සහ රන් පැහැර ගැනීම්, පොලිස් ස්ථානවලින් අවි පැහැර ගැනීම්, කෙලාබොක්ක වතුයායේ මුදල් පැහැර ගැනීම ඇතුළු චෝදනා රැසක් විය.


අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සරසවි සිසු නායකයින් 71 නිදහස් කරන ලෙස ඉල්ලමින් සියලුම සරසවිවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අඛණ්ඩ පන්ති වර්ජනයක් ආරම්භ කළහ. එවකට බන්ධනාගාර කොමසාරිස්වරයා වූයේ හිටපු කතානායක කේ.බී. රත්නායකගේ සොහොයුරා වූ අතර ඔහු සහ ප්‍රධාන ජේලර් රොජර් ජයසේකරගෙන් සිසු නායකයිනට සහ ජවිපෙ ක්‍රියාකාරිකයිනට මානුෂීය සැලකිල්ලක් ලබාදුන් බව සැකකරුවන් කිහිප දෙනෙක්ම ලේඛකයාට බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී කියා සිටියහ. බන්ධනාගාරය තුළ ජවිපෙ විසින් සැකකරුවන් සමග සබඳතා ගොඩනගා ගනු ලැබුවේ රංජිතම් හරහා වන අතර බන්ධනාගාරය සහ බාහිර ලෝකය අතර සම්බන්ධකම් ගොඩනඟන ලද්දේ ගාමිණී ජයලත් හරහාය. මැගසින් බන්ධනාගාරයේ ජවිපෙ සැකකරුවන්ට නායකත්වය දෙනු ලැබුවේ රාගම සෝමේ, සුදත් හෙවත් පතී, යක්කල විමලේ, කළු මල්ලී, සුමිත්, ගම්පහ දිසා ලේකම් වූ උපාලි ඇතුළු පිරිසකි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රිමාන්ඞ් සිරකුටියක ඇතුළත දර්ශනයක්.

 


මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ජවිපෙ ක්‍රියාකාරිකයින් 126 දෙනා අතර සිටි ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි සහ ගාමිණී ජයලත් යන ජවිපෙ සංවර්ධන සභා මන්ත්‍රීවරුන් දෙදෙනා 1988 ඔක්තෝබර් 11 නිදහස් කළ අතර ඔවුහු 1988 ඔක්තෝබර් 18 පැවැති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමට ද සහභාගි වූහ. බුද්ධදාස විතානාරච්චි ජවිපෙ පක්ෂ තහනමින් පසු ඉන් මතවාදීව ඒ වනවිට ඉවත්වී තිබිණි. නිදහස් වූ ගාමිණී ජයලත් යළිත් ජවිපෙට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අතර 1989 අගෝස්තු මස අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ විමර්ශන කාර්යාංශයට ද පසුව සපුගස්කන්දේ බටලන්ද කඳවුරට ද ගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්විය.


මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සරසවි සිසු නායකයින් 71 දෙනා ඇතුළු 300කට ආසන්න සැකකරුවන් සිරගෙය තාප්පය බිඳ පැහැර ගැනීමට  ජවිපෙ මුලින්ම තීරණය කළේ 1987 ජූලි 28 ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහි විරෝධතා පැවැත්වූ අවස්ථාවේදීය. එහෙත් ඒ සඳහා කොටුවේ සිට මරදාන දක්වා ගිය 3000කට ආසන්න විරෝධතාකරුවන්ගේ පෙළපාළියට මරදාන පොලිසිය වෙඩි තැබීමෙන් 5 දෙනෙකු මියගිය අතර පසුව එම පෙළපාළිය ආමර්වීදිය දෙසට හැරවිණි. අසාර්ථක වූ එම සැලසුම භාරව කටයුතු කළේ දේශපාලන මණ්ඩල සභික එච්. බී. හේරත් ය. මැගසින් බන්ධනාගාරය බිඳ දමා යළි ප්‍රහාරයක් එල්ල කිරීමට සමන් පියසිරි ප්‍රනාන්දු පසුව විධිමත් සැලසුමක් සකස් කෙරෙණි.


1988 නොවැම්බර් වනවිට බන්ධනාගාරවල සිටි ජවිපෙ සැකකරුවෝ 1988 නොවැම්බර් 3 සිට තමන් නිදහස් කරන ලෙස හෝ නඩු පවරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළහ. එම කැරලිකාර සිරකරුවෝ මැගසින් බන්ධනාගාරයේ උද්ගත වී ඇති තත්ත්වයට මුහුණ දීම සඳහා සංවිධානගත වූහ. එක් අයෙකු 1988 නොවැම්බර් 7 උදෑසන බන්ධනාගාරය තුළ වූ ඇහැළ ගසට නැග ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් අණදෙනු දක්නට ලැබිණි. ඇතැම් සිරකරුවන්ගේ අත්වල ගල්, පොලු, මුඟුරු, පයිප්ප බට වැනි දෑ විය. එය උණුසුම් මුහුණුවරක් ගත් අතර 1988 නොවැම්බර් 7 වැලිකඩ බන්ධනාගාර පාලනය සිරකරුවන් අතට පත්විය. ප්‍රචණ්ඩකාරී හැසිරීම නතරකර යටත්වන ලෙසට බන්ධනාගාර නිලධාරීහු දැනුම් දුන්හ. යුද හමුදාව සහ පොලිසිය බන්ධනාගාර දොරටුවෙන් පිටත සූදානමින් තබන ලදී. පසුව හමුදා කමාන්ඩෝ භට කණ්ඩායමක් ඉණිමඟක් තබා තාප්පය නැග කඹ මගින් බන්ධනාගාරයට ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟම රැඳවියෝ ප්‍රකෝපකාරී වූහ.


මෙහිදී හමුදා වෙඩි පහරවලින් කැරලිකරුවන් කිහිප දෙනෙක් මිය ගියහ. එසේ මියගිය රැඳවියන් දෙදෙනකු වූයේ මිරිහාන රජ මාවතේ පදිංචිව සිටි බුලත්සිංහගේ සුනිල් පෙරේරා  සහ දෙද්දූව කපුරුගම ඩග්ලස්ය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. එම්. ඒ. ගෆූර් විසින් ඔවුන්ගේ මරණ පරීක්ෂණ වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ පවත්වන ලදී. මැගසින් බන්ධනාගාරය සහ රටපුරා රිමාන්ඞ් බන්ධනාගාරවල ජවිපෙ සැකකරුවන් විසින් ඇති කළ දැවැන්ත විරෝධයෙන් උද්ගත වූ ප්‍රබල ප්‍රචණ්ඩකාරී තත්ත්වය මත ජනාධිපති ජයවර්ධන අදාළ ඇමැතිවරුන්ට දොස් නැගීය.


ඒ අවස්ථා වනවිට බන්ධනාගාර භාරව සිටි අධිකරණ ඇමැති වූයේ ආචාර්ය නිශ්ශංක විජේරත්න ය. ඔහු ප්‍රංශයට ගොස් සිටි බැවින් වැඩබලන අධිකරණ ඇමැති වූයේ ෂෙල්ටන් රණරාජාය. අදාළ සිද්ධීන් පිළිබඳව වගකීම භාරගෙන අධිකරණ ඇමැති නිශ්ශංක විජේරත්න ප්‍රංශයේ සිට සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපති ජයවර්ධන වෙත 1988 නොවැම්බර් 9 වැනිදා ටෙලෙක්ස් පණිවිඩයක් මගින් යොමු කළේය. ඉන් දිනකට පසු වැඩබලන අධිකරණ ඇමැති ෂෙල්ටන් රණරාජා ද සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. එම ඉල්ලා අස්වීම් පිළිගත් ජනාධිපති ජයවර්ධන නව අධිකරණ ඇමැති වශයෙන් 1988 නොවැම්බර් 11 කඩුවෙල මන්ත්‍රී ඊ. පී. පෝල් පෙරේරා පත් කළේය.


වසර 1988 දෙසැම්බර් 13 රාත්‍රී 7ට මැගසින් බන්ධනාගාරයේ පිටත සහ ඇතුළත එකවර මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක කිරීමෙන් පලායෑමේ සැලසුම සකස් කෙරිණි. ඇතුළේ සිටි බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහාය ඊට ලබා ගැනීමට ජවිපෙ සමත් විය. ජනාධිපතිවරණය 1988 දෙසැම්බර් 19 පැවැති අතර ඒ නිමිත්තෙන් එජාප අපේක්ෂක රණසිංහ ප්‍රේමදාස දිනවීමේ රැස්වීමක් කලා ශිල්පී කාලිංග ඔබේවංශගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල මංසන්ධියේ දෙසැම්බර් 13 පැවැත්වීම ප්‍රහාරයට ප්‍රබල උත්තේජනයක් විය.

 

මතු සම්බන්ධයි.