යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන් 
22 වැනි කොටස

 

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

අප්‍රේල් 23 වැනි දින පෙරවරු 9.00 ට පමණ ආරම්භ වූ එම උත්සවයේ දී පළමුව LTTE  ඊළාම් ධජය ඛඔඔෑ ආටිලරි සේනාංකයේ හා සන්නද්ධ රථ බළකායේ අණ දෙන නිලධාරි කර්නල් භානු විසින් ඔසවනු ලැබීය. භානු ධජය ඔසවද්දී රැස්ව සිටි සිය ගණනක් වූ  LTTE සාමාජිකයන් ඊට ගෞරව කළ අතර ආටිලරි වෙඩි මුර 7ක් ද පසෙකින් අහසට නිකුත් විය. මෙම අවස්ථාව දැක ගැනීමට කිලිනොච්චිය ආදී ප්‍රදේශවල සිට පැමිණි සාමාන්‍ය ජනතාව සුළු පිරිසක්ද වූහ. ධජය එසවීමෙන් පසුව රැස්ව සිටි සියල්ලෝම ජය ඝෝෂා පැවැත් වූහ. මෙහි දී තවත් වැදගත් සිද්ධියක් වන්නේ 1990 දී  LTTE ය විසින් යාපනය කොටුව අත්පත් කර ගත් අවස්ථාවේ දී කොටුව තුළ ඛඔඔෑ ධජය ඔසවන ලද්දේ ද භානු විසින් ම වීමය. ජය ඝෝෂා අවසන් වීමෙන් පසුව රැස්ව සිටි පිරිස ඇමතූ භානු සිය කථාව අවසන් කරමින් මෙසේ අවධාරණය කළේය. ‘මෙය අපගේ නිජබිම නිදහස් කර ගැනීමේ සටනේ ජයග්‍රාහී මුල් පියවරක් පමණි. ඒ සඳහා මෙවන් යුද පිටි අනාගතයේදී ද තවත් මුණ ගැසෙනු ඇත” මේ අනුව පෙනී යන්නේ ‘නොනවතින රැල්ල ෂෂෂ. ක්‍රියාන්විතයේ ප්‍රභාකරන් පිටු පසින් සිටි අයෝමය හස්තය භානු බවයි.


අලිමංකඩ කඳවුර  LTTE  ය සතු වූ පුවතත් සමඟම යාපනයේ හා අනෙකුත් ප්‍රදේශවල බහුතර දෙමළ ජනතාවගේ සිත් සතන් තුළ තම අනාගත දෙමළ ඊළාම් රාජ්‍යය පිළිබඳ සිහිනය දලුලා වැඩුණු අතර බහුතර සිංහල ජනතාව මඳකට ගොළු වී සිටි ආකාරයක් පෙනෙන්නට තිබිණි. යාපනයේ හින්දු කෝවිල්වල ඛඔඔෑ හිතවතුන්ගේ බලපෑම මත ඛඔඔෑ යට යාපනය නගරය අත්පත් කර ගත හැකිවේවා යයි පතමින් දේව පූජා පවත්වමින් දේව කන්නලව් කරද්දී සිංහල බෞද්ධ ජනතාව ද තම හමුදාවට සෙත් පතා තරගකාරී ලෙස හින්දු දේව මණ්ඩලයේම පිහිට පැතූහ.


කඳවුර  LTTE  ය සතු වූ පුවත තහවුරු වීමත් සමඟම සිදු වූයේ කුමක්ද යන්න ජනතාවට පැහැදිලි කරදීමේ අරමුණින් හා සිදු වූ පරාජයට සාධාරණ හේතු දැක්වීම සඳහා අප්‍රේල් මස 24 වැනිදා හමුදා මූලස්ථානයේ දී ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී මාධ්‍යවේදීන්ගේ වැඩි අවධානය යොමු වූයේ යුද හමුදාපති මේජර් ජනරාල් ශ්‍රී ලාල් වීරසූරිය වෙතටයි. ඔහු මෙසේ කීය. “මාර්තු 26 වැනිදා සිට වරින්වර ප්‍රහාර එල්ල වුණා. ඒ අතර අප්‍රේල් 18 වැනිදා සිට  LTTE  ය උපරිම ශක්තිය යොදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. භූමි ප්‍රමාණය අතින් අපට අහිමි වූයේ 5නප දුරක් පමණයි. LTTE ය ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය කරගෙන තිබෙන්නේ මල්ටි බැරල් රොකට් වෙඩි සහ 152පප බර පංතියේ ආටිලරි ප්‍රහාර ආදිය මගිනි. ඊට අමතරව ප්‍රහාරය සඳහා 60පපල 85පපල 122පප ප්‍රමාණයේ මෝටාර් ද යොදා ගෙන තිබෙනවා. මෙසේ පැවසූ ඔහු අලිමංකඩ කඳවුරට එල්ල වූ ප්‍රහාර සහ එහි ඉරණම ප්‍රධාන අවධි 2කට ගොනු කළේය. ඒ ජනවාරි 31 සිට මාර්තු 26 දක්වා සහ මාර්තු 27 සිට අප්‍රේල් 21 දක්වා වශයෙන් වූ අතර අලිමංකඩින් හමුදා ඉවත් කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම යුදමය තීරණයක් බව ද පැවසීය. අලිමංකඩ කඳවුරෙන් හමුදාව ඉවත් වීම හැඳින්වූයේ ‘උපක්‍රමික පසුබැසීමක්’ වශයෙනි.(Tactical Withdrawal)  තවත් විටක අලිමංකඩ අහිමිවීමෙන් තමන්ට අහිමි වූයේ 5km  දුර ප්‍රමාණයක් බව පැවසූ හමුදාපතිවරයා පලෙයි සහ උතුරු සොරන්පත්තු ප්‍රදේශයේ තම හමුදා නව ඉදිරි ආරක්ෂක වැටක් නිර්මාණය කර ගනිමින් ප්‍රතිසංවිධානය වන බව ද පැවසීය.


මේජර් ජනරාල් වීරසූරියගේ මෙම ප්‍රකාශය සමාජයේ බොහෝ අංශ විවේචනාත්මක ස්වරයකින් විග්‍රහ කළ අතර ලෝක පරිමාණයෙන් සලකා බැලීමේ දී වුවත් රජයක හමුදාවක් මුහුණ පෑ ඉතා දරුණු හමුදාමය පරාජයක් වූ මෙම සිද්ධිය උපක්‍රමික පසු බැසීමක් ලෙස හැඳින්විය හැකි ද යන ප්‍රශ්නය විවාදයට ලක් විය. මේ සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමු කරන විට පෙනී යන්නේ එහි දී සිදු කළ උපක්‍රමය වූයේ තව දුරටත් කඳවුර රැක ගැනීමට එම අවස්ථාවේ දී උත්සාහ නොකර හැකි පමණින් නිරුපද්‍රිතව පලාලි හා කිලාලි  දක්වා සෙබළුන් පසු බැසීමය. යම් ආකාරයකින් තව දුරටත් කඳවුර රැක ගැනීමේ අරමුණින් කඳවුරේ සිට යුද වැදුණේ නම් එහි අවසන් ප්‍රතිඵලය හමුදාවේ තවත් සෙබළු දස දහස් ගණනකගේ මරණය විය හැකිව තිබිණි.  හමුදාපතිවරයා .'There was no point in loosing men at EPS' යනුවෙන් පැවසූයේ මෙම අර්ථයෙනි. කෙසේ වෙතත් හමුදාපතිවරයාගේ ප්‍රකාශයන්හි අවසන් හරය වූයේ “වෙනත් දවසක සටන් කිරීමේ අරමුණින් එය එසේ සිදු කළා” යන්නය.(It was done so that they could fight another day)  නැතහොත් අලිමංකඩින් හමුදාව ඉවත්වීම පිටුපස වූ එකම උපක්‍රමය එයයි.


මෙම පුවත්පත් සාකච්ඡාවේ දී එහි පැමිණ සිටි දෙස් විදෙස් මාධ්‍යවේදීන් බොහෝ දෙනෙකු යුද හමුදාපතිවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීමට ඉදිරිපත් වූ අතර එසේ අසන ලද එක් ප්‍රශ්නයක් වූයේ ‘ඔබ යටතේ වන්නි පරාජය සිදුවිය. දැන් අලිමංකඩ, මේ තත්ත්වය අනුව ඔබ ඉල්ලා අස්වී ගෙදර යා යුතු යැයි නොසිතන්නේ ද?” මීට පිළිතුරු දුන් හමුදාපතිවරයා ‘ඉල්ලා අස්වීමෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. මට රජය එසේ කියනවා නම් මම ගෙදර යනවා. මම මෙම තනතුර ඉල්ල ගත්ත එකක් නොවේ” යනුවෙන් තරමක ආවේගශීලී ස්වරූපයකින් පැවසීය.


මෙම පුවත් පත් සාකච්ඡාවේදී මේජර් ජනරාල් රොහාන් දළුවත්තගේ නව පත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටීමෙන් හමුදා ප්‍රධානීන් තුළ ඊට අනුකූලතාවක් නොමැති බව තහවුරු වූවා වැනිය. සිදු වූ දේ හා අර්ධද්වීපයේ අනාගතය පිළිබඳ ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කථා කළ හමුදාපතිවරයා “අපිට අපගේ උපක්‍රම වෙනස් කරන්නට සිදු වෙනවා. යාපනය ගැන සලකන විට අලිමංකඩ කඳවුරෙහි පිහිටීම ඉතා වැදගත්. නමුත් දැන් අපට සිදු වී තිබෙන්නේ යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා සොරොන්පත්තුවලට ඉහළින් නව ආරක්ෂක වළල්ලක් ගොඩ නගා ගැනීමයි. යාපනය අර්ධද්වීපය අප සතුව තබා ගැනීම අපගේ මූලික උත්සාහයයි. මේ අවස්ථාවේ දී  LTTE යට යාපනය අල්ලා ගැනීමට නොහැකි බව අපට සහතිකවම කිව හැකියි. මේ කටයුතු සඳහා ඉදිරියේ දී අපගේ උපක්‍රම වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් යුද හමුදාවට වඩා  LTTEයෙහි යුද ශක්තිය මෙම අවස්ථාවේ දී ප්‍රබල තත්ත්වයක පවතින බව එහිදී හමුදාපතිවරයා පිළිගත්තේය.


මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී හමුදාව විසින් තමන්ට අහිමි වූ යුද අවි පිළිබඳව ද වාර්තාවක් ඉදිරිපත් කෙරිණ. ඒ අනුව මෙම සටනේ දී සෙබලු 88 දෙනෙකු පමණක් මිය ගිය බවත් සියයකට ආසන්න පිරිසක් පමණ අතුරුදහන්ව ඇති බවත් පැවසීය. 


එහෙත්  LTTE සංඛ්‍යා ලේඛනවලට අනුව ඔවුන් කියා සිටියේ තමන් හමුදාවේ සෙබළු 1000 ක් පමණ මරා දැමූ බවයි. කෙසේ වෙතත් හමුදාපතිවරයා එම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන විටත්  LTTE ය රතු කුරුස සංවිධානයට මළ සිරුරු 126 ක් භාර දී තිබුණු අතර එම මළ සිරුරු වව්නියාවේ දී රතු කුරුස සංවිධානය මගින් ශ්‍රී ලංකා හමුදාවට භාර දෙන ලදි. එහෙත් මෙම සිරුරු 126 අතරින් අනන්‍යතාව තහවුරු කර ගත හැකි වූයේ මළ සිරුරු 28 ක පමණි. අනෙක් සිරුරු 98 ම නරක් වී තිබීම නිසා හඳුනාගත නොහැකි වීම හේතුවෙන් වව්නියාවේ දීම ආගමික වතාවත් හා හමුදා උත්තමාචාර පවත්වා මිහිදන් කෙරිණ.


කෙසේ වෙතත් අලිමංකඩ සිද්ධියත් සමඟම එතෙක් වසර 17ක් පුරා දෙපාර්ශවය අතර සිදු වූ යුද්ධයේ බල සංතුලනයක් (Balance of power) පිළිබිඹු විය. විශේෂයෙන්ම අර්ධද්වීපය තුළ සිදු වූ අනුක්‍රමික සටන් තුළද  LTTE  ය ඉදිරියෙන් සිටීම එම බලතුලනය මැනවින් ප්‍රකට කරවීය. අලිමංකඩ දී තමන් ලද ජයග්‍රහණය විග්‍රහ කළ LTTE ය ප්‍රහාර එල්ල කර දුව ගොස් වනයේ සැඟවෙන ගරිල්ලා යුද උපක්‍රමයේ සිට සම්මත හමුදාවක් ස්ථාවර යුද බිමක සටන් කරන ක්‍රමවේදය තෙක් තම සංවිධාන ශක්තිය වර්ධනය වී ඇතැයි ප්‍රකාශයට පත් කළේය(Hit and Run outfit into a Conventional Force Fighting Fixed Battles)LTTE ය එසේ තම යුද ශක්‍යතාව අගයද්දී සමහර ජාත්‍යන්තර යුද විශ්ලේෂකයෝ අලිමංකඩ දී  ඛඔඔෑ ය ලත් යුද ජයග්‍රහණයට හේතු වූයේ ඔවුන් යුද කලාවේ සඳහන් Shock and awe'යුද උපක්‍රමය භාවිතයේ යෙදීම තුළ ශ්‍රී ලංකා හමුදාව මංමුලා වීම බව පැවසූහ. සාමාන්‍යයෙන් අවසන් අරමුණ කුමක් වුවත් යම් සමාජයක බිහිවන ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක මූලික විකාශන අවධි තුනක් හඳුනා ගත හැක. එනම් සමාජ අසහනය තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම, සැඟවී සිට පහරදීම(Gurrilla Warfare)සහ පූර්ණ යුද ශක්‍යතාව (War of Movement) අත්කර ගැනීම වශයෙනි. ඒ අනුව මෙහි පළමු පියවරේදී යම් සමාජ කණ්ඩායමක් පවතින සමාජ ආර්ථික ක්‍රමය මූලික කොටගත් රජයට එරෙහිව ප්‍රාථමික කඩාකප්පල්කාරී ක්‍රියාවන්වල නිරත වීම සිදුවිය හැක. විශේෂයෙන්ම එවැනි තත්ත්වයක් තුළ සමාජ අසහනය ගැබ්ව ඇත. එම සමාජ අසහනකාරී. කඩාකප්පල්කාරී ක්‍රියා කාලයත් සමග වර්ධනය වත්ම එය ගරිල්ලා ව්‍යාපාරයක් බවටද පත්විය හැක. මේ අනුව ඉහත සංසිද්ධිය LTTE සංවිධානය සමග ගැළපූ කල 1970 දශකයේ මැද භාගයේ සිට 1983 කළු ජූලිය දක්වාම ඒ තුළ විද්‍යාමාන වන්නේ මෙම ක්‍රියාවලියේ පළමු පියවර හෙවත් අසහනකාරී තත්ත්වය මුල් කරගත් රාජ්‍ය විරෝධී කඩාකප්පල්කාරී බවකි. 83 සිද්ධියෙන් පසුව එම සංවිධානය එහි දෙවැනි අවධිය හෙවත් ගරිල්ලා යුද උපක්‍රම දක්වා වර්ධනය වන අතර ඒ තුළ අසහනකාරී අවධියේ වූ කඩාකප්පල්කාරී ලක්ෂණ ද අන්තර්ගතය. ඉන් අනතුරුව යුද සංවිධානයක උපරිම අවස්ථාව වන මෙම ක්‍රියාවලියේ තෙවැනි අවධියට LTTE ය පූර්ණ වශයෙන් අවතීර්ණ වන්නේ 2000 වසරේ අලිමංකඩ සිද්දියෙන් පසුවය. එහිදී යාපනය අර්ධද්වීපය තුළදී ශ්‍රී ලංකා හමුදාව සමග මුහුණට මුහුණලා සටන් කිරීමෙන් අනතුරුව මුහමලේ දී සහ වව්නියාවේ දී ප්‍රබල ආරක්ෂක වැටක් නිර්මාණය කර ගැනීම දක්වා ද ඔවුන් ගමන් කර ඇත.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි