උද්ගතව ඇති වාතාවරණයෙහි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් හා වාද විවාදයෙන් තොරව ඒකරාශී වී නායකයන් එක්ව කඩිනම් සාකච්ඡාවක් ආරම්භ කරන්නැයි සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කරන බව කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නිකායේ මහනාහිමියන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා හා විපක්‍ෂ නායකවරයාගේ අනිවාර්ය නියෝජනයෙන් ද දෙමළ හා මුස්ලිම් වාර්ගික දේශපාලන පක්‍ෂවල රාජ්‍ය තාන්ත්‍රික විෂයෙහි හසළ අත්දැකීම් ඇති විශ්‍රාමික නිලධාරීන්ගේ ද සහායෙන් කමිටුවක් පත්කර මේ සාකච්ඡාව ආරම්භ කරන මෙන් ද උන්වහන්සේ ඉල්ලා සිටින බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

අසමගිය විනාශය කැඳවන බව ඉතිහාසය විසින් ඔප්පු කරන ලද පරම සත්‍යයකි. කුමන්ත්‍රණවලින් අලුත් ජයග්‍රහණ නිර්මාණය නොකරනවාක් මෙන්ම එතෙක් අත්පත් කරගත් යම් ජයග්‍රහණයක් වේනම් එය ද අහිමි කරවන්නකි. යුද්ධය ලේ, කඳුළු, විනාශය හා මරණය රැගෙන ආවා මිස කිසිදු ජයග්‍රහණයක් නිර්මාණය කර නැත.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඉල්ලීම වඩාත් වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.

රට ඉදිරිපිට බලවත් ව්‍යසනයක් ඇති බව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂය. යුද ජයග්‍රහණයෙන් දස වසරක් ඉක්ම යන මොහොතේ රටම යළිත් ලේ කුහරයක ගිල්වනු ලැබීය. පාස්කු දේව මෙහෙයන් සඳහා දේවස්ථාන කරා පිවිසි බැතිමතුන්, නිවාඩුව විවේකයෙන් ගත කිරීමට මෙරට තරු පන්තියේ හෝටල්වල ලැගුම් ගත් විදේශිකයන් හා මෙරට පුරවැසියන් තුන්සිය දෙනකුට ආසන්න පිරිසක් අකාලයේ මරු තුරුලට ගියහ. පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. සැකයේ බීජය යළිත් ගංවතුරක් මෙන් රට පුරා පැතිර ගොස් තිබේ. බියෙන් තිගැස්සුණු රට තවමත් යථා තත්ත්වයට පත් වී නැත. නිස්කලංකව පැවැති රට එක්වරම අඳුරෙන් වැසී ගොස් තිබේ.

මෙම තත්ත්වයෙන් රට වහා මුදවා ගත යුතුව තිබේ. ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත්, විවිධ වාර්ගික දේශපාලන පක්‍ෂවල නායකයන්ගේත් ප්‍රමුඛ කාර්යභාර්ය විය යුත්තේ රට පත්ව ඇති අනතුර එයට හිමි නිසි බරින් හඳුනා ගැනීමය. රට යථා තත්ත්වයට පත් කිරීමත් යළිත් රට මෙබඳු අඳුරු කාලකණ්ණි මූසල බියකරු අත්දැකීමට ලක්වීමට එරෙහිව කළමනා කටයුතු වේගවත් කිරීමත්ය.

කරුණු කාරණා එපරිදි වූවද මේ මොහොතේ ශ්‍රී ලාංකේය ජන සමාජය අත්විඳිමින් සිටින අත්දැකීම තමන්ගේ විමුක්තිය ඇත්තේ අනෙකාගේ පපු කුහරය තුළ යැයි සිතන වියරු උම්මත්තක ආගම්වාදීන්ගෙන් විඳි අත්දැකීමට වඩා බිහිසුණුය. එය නම් ඛේදවාචකයේ වගකීම එකිනෙකා මත පටවමින් තම ඇඟ බේරා ගැනීමට දරණ නිර්ලජ්ජිත උත්සාහයෙන් නිපන් අත්දැකීම වේ. රට මේ අඳුරු තත්ත්වයට පත්වීමට පාර කැපුවේත් මෙම පරිසරයම බව සැබෑය. අවම තරමින් එය වටහාගෙන හෝ මේ මොහොතේ සියලු නායකයන් පොදු ජාතික න්‍යාය පත්‍රයක් වටා ඒකරාශි විය යුතුය.

ඇතැමකුට අනුව මෙම සිදුවීම් මාලාවේ සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතුය. තවත් අයකුට අනුව රජය නොව රජයේ ඇතැමුන් බාර ගත යුතුය. තවත් අයකුට අනුව මේ මොහොතේ රජය ඉල්ලා අස්වී ගෙදර යා යුතුය. ඒ ආකාරයෙන් තම තමන්ගේ පටු මනසට අනුව, ඒ පටු මනසේ වර්ණයට අනුව, ඒ පටු මනසේ ගැඹුරට අනුව විවිධ අර්ථකථන විසඳුම් සැපයෙමින් තිබේ. ඒ අතරවාරයේ දී මේ කාලකණ්ණි දේශපාලන සම්ප්‍රදායට ගොදුරු වූ පුරවැසියෝ ද විදේශිකයෝ ද “යන්නම්” කියා නොකියාම සමූහ මිනී වළවල්වල මිහිදන් වෙති.

මෙබඳු බිහිසුණු ත්‍රස්ත ක්‍රියාවල අවසන් ත්‍රස්ත ක්‍රියාව මෙය නම් දේශපාලකයන්ගෙන් මේ වර්ගයේ හැසිරීමක් ප්‍රදර්ශනය වූවාට කම් නැත. එහෙත් එය එසේ නොවේ. ප්‍රභාකරන්ගේ වියරු ම්ලේච්ඡ ත්‍රස්තවාදය වෙල්ලමුල්ලි වයික්කාල්හි නන්දිකඩාල් කළපුව අද්දර වගුරු බිමේදී අවසන් ගමන් යෑමෙන් පසු නයන පිනවන මේ රන් දිවයිනෙහි යළිත් බෝම්බවල කළු දුමාරය පිරී යනු ඇතැයි විශ්වාස කළ අයකු නැත. එහෙත් පාස්කු ඉරිදා යළිත් වරක් ඔප්පු කරනු ලැබූවේ අවදානමට වඩා සූදානම වඩ වඩාත් වැදගත් බවය.

රාජ්‍ය ආරක්‍ෂාව අත්හළ නොහැකි වගකීමකි. එය රටේ ඉහළම පුරවැසියාගේ සිට වීදියේ සිඟමන් යදින දිළින්දා දක්වා සතු අනුල්ලංඝනීය වගකීමකි. එහෙත් එම අනුල්ලංඝනීය වගකීම එයට හිමි නිසි බරින් වටහාගෙන ක්‍රියා කිරීම වෙනුවට එදිනෙදා දේශපාලන මුෂ්ටි ප්‍රහාරවලට යොමු වීමේ තාර්කික වන්දිය වර්තමානයට ගෙවීමට සිදුවී තිබේ. අප ගමන් කරමින් සිටින්නේත් එම මාවතේම නම් අනාගතයේ උරුමය ද මෙයම විනා අන් යමක් නොවේ.

කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ ඉල්ලීමට සියලු නායකයන් අවනත විය යුත්තේ එහෙයිනි. ආගමික නායකත්වයේ අවවාද අනුශාසනා නොතකා කටයුතු කරන්නේ නම් එළැඹිය හැකි විපත්වල ස්වරූපය වර්තමානයෙන් වූවද හඳුනාගත හැකිය.