කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය කර දෙසැම්බර් 15 වැනි දිනට වසර 31 කි. මේ ඒ අඳුරු භූගත මතකය අවදි කිරීමකි.

 

ජවිපෙ කටයුතුවලට එරෙහිවන්නන් 2 වැනි කැරැල්ලේ ද්‍රෝහීන් ලෙස හැඳින්වූ අතර ඔවුන් සමාජයෙන් ඉවත් කිරීමටද 1986 අවසාන භාගයේදී තීරණය කෙරිණි. ඒ අනුව ප්‍රථම ඝාතනය බවට පත්වූයේ හම්බන්තොට මිද්දෙනිය ගෝනදෙණිය මහා විද්‍යාලයේ විදුහල්පති එච්. ජයවික්‍රමය. ඒ 1986 දෙසැම්බර් 5 රාත්‍රී 7 ටය. 


සිය පාසලේ රාත්‍රී කාලයේදී ජවිපෙ දේශපාලන පන්ති පැවැත්වෙන බවට විදුහල්පති ජයවික්‍රම මිද්දෙනිය පොලිසියට පැමිණිලි කර තිබිණි. පාසල සහ ඒ අවට ජවිපෙ ප්‍රචාරක පත්‍රිකා අලවා තිබුණු බවට සැකකළ සිසුන් කිහිපදෙනෙකුගේද ශිෂ්‍යභාවය තාවකාලිකව විදුහල්පති විසින් තහනම් කර තිබිණි. සිය නිවස අසලදී 39 හැවිරිදි එම විදුහල්පතිවරයා ඝාතනය කර තිබුණේ වෙඩි තබමිනි. ඒ සඳහා තරුණයින් 5 කගේ කණ්ඩායමක් පැමිණ තිබිණි. දෙවැනි ඝාතනය වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණය.


වසර 1986 වන විට කොළඹ සරසවිය තුළ ශිෂ්‍ය කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක විය. ඒ දයා පතිරණගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය, ගෙවිදු කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් විද්‍යා පීඨයේ ජාතික චින්තන කණ්ඩායම, ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වේ. ජවිපෙ ශිෂ්‍ය සංගමය එජාප ආණ්ඩු සමයේ ජවිපෙ සමගින්ම තහනමට ලක් වූ බැවින් එහි සාමාජිකයන් පෙනී සිටියේ වෙනත් කණ්ඩායම්වල නාමයන් ගෙනි. උතුරේ දෙමළ තරුණ ප්‍රචණ්ඩත්වය නාගරික ගරිල්ලා ප්‍රහාර මගින් සරසවි ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුළත් කිරීමට අත්හදා බැලීම් සිදුකරන ලද්දේ රෝහණ රත්නායක ඝාතන සිද්ධිය මුල් කරගෙනය. පද්මසිරි සහ රෝහණ ඝාතනයන්ට නායකත්වය දීම සඳහා වෙනත් හේතු නිසා ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ කේන්ද්‍රකරගත් නාගරික ලූම්පන් සහ ඉහළ මධ්‍යම පාන්තික සිසුන් අතර ජනප්‍රිය විය. ජවිපෙ 1983 ජූලි තහනමත් සමගම සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරකම් පසුබෑම සහ නිල මට්ටමින් ඇනහිටීම නිසා එහි රික්තයද පිරවීමට ඔවුන්ට හැකිවිය. ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවිය තුළ ගෙනගිය දඩබ්බර ක්‍රියාකාරකම් 1986 වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගනු ලැබීය. දයා පතිරණගේ නායකත්වයෙන් තගරි න්‍යායක් අනුමනය කරමින් සෙසු ශිෂ්‍ය කණ්ඩායම්වලට වැට බැන්දේය. ජවිපෙ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයට වැට බැන්දේය. ජවිපෙ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ජුනි 20 ජයවර්ධනපුර සරසවියේ පිහිටුවූ අතර එය කිසිදු බාධාවකින් තොරව කැලණිය, රුහුණ, පේරාදෙණිය සහ මොරටු සරසවියන්හිද ආරම්භ විය. දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ අදිසි නායකයා වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමය. කැලණි සරසවියේ තාරපේරියේ රත්නජෝති හිමි එහි ලේකම්වරයා වූ අතර සභාපති වූයේ කඩවත ඇල්දෙණියේ පදිංචි ජයවර්ධනපුර සරසවියේ සිසු කාරියප්පෙරුම අතුකෝරලාගේ රනිල්ය. රංජිත් වීරවංශ මෙහි මෙහෙයුම්කරු විය.


කොළඹ සරසවියේදී දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය 1986 ඔක්තෝබර් 08 ස්ථාපිත කිරීමේදී එයට දයා පතිරණගේ නායකත්වයෙන් යුත් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෝ කඩු සහ පොලුවලින් පහර දුන්හ. කොළඹ සහ පිටස්තර සරසවිවල සිසුන් ඇතුළු භික්ෂූන් කිහිප දෙනෙක්ම බරපතළ තුවාල ලැබූ අන්දම එය වාර්තා කිරීමට ගිය ලේඛකයාට දැකගැනීමට හැකිවිය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සරත් එදිරිසිංහ, හේමන්ත, රොෂාන් ගුණවර්ධන, සමන්, තඹළුවේ ජිනානන්ද හිමි, තලකොලවැව චන්ද්‍රරත්න හිමි, ධම්මික හිමි ඇතුළු ජවිපෙ සියලු අනුගාමිකයින්ටද සරසවියේ ක්‍රීඩාගාර පෙදෙස එදින සිට තහනම් කලාපයක් ලෙස ඔවුන් විසින් නම් කරන ලදී.


එමෙන්ම විනිවිද සඟරාවේ සංස්කාරකවරයෙකු වූ උඩුගොඩ සෝරත හිමියන්ට කොළඹ සරසවියේ කණුවක බැඳ දවසක් තිස්සේ හිරිහැර කළ ස්වාධීන ශිෂ්‍ය සංගමය 1986 නොවැම්බර් 12 කොළඹ මහජන පුස්තකාලයේ පැවති වීරසූරිය සිසු සැමරුමේ කටයුතු සඳහා කොළඹ සරසවියට ගිය කැලණි සරසවියේ මච්චාගම සේනාරත්නටද පහර දුන්නේය. ඔහු නිදහස් කර ගැනීමට ආචාර්යවරුන්ට පවා මැදිහත්වීමට සිදුවිය. මෙයට පිළිතුරක් ලෙස ජවිපෙ සිදුකළේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරියෙකු වූ රත්නපුරේ ප්‍රදීප් උදයකුමාර තේනුවර ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටින් යද්දී විමලධර්ම ශාලාවට රැගෙන ගොස් පහරදීමය. 

 

 

ස්වාධීන ශිෂ්‍ය සංගමය කොළඹ සරසවිය තුළ ආරම්භය 1979 දක්වා දිව ගියද ස්ථාපිත වූයේ 1980 පෙබරවාරි 02 ය. එහි 1980/82 දී සභාපති වූයේ දීප්ති ළමාහේවාය. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය ඔවුන් පිළිගත්තේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් වන ඊරෝස් කණ්ඩායමේ නායකයකු වන ඬේවිඞ්සන් සමඟ 1980 අප්‍රේල් සිටද ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායම සමඟ 1981 පෙබරවාරි සිටද ස්වාධීන ශිෂ්‍ය සංගමය සබඳකම් පැවැත්වීය. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දෙවැනි සභාපතිවරයා වූයේ චම්මි වර්ණකුලසූරියයි. දයා පතිරණ සභාපතිවූයේ 1984/86 කාල වකවානුවේදීය. පතිරණ විභාගයට නියමිත පරිදි ලියාපදිංචි නොවීම නිසා ඔහුගේ ශිෂ්‍යභාවයද 1986 දී අහෝසි විය. 


නසසපයේ ලංකා ශිෂ්‍ය සම්මේලනය, කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයෙන් මතවාදීව බිඳුණු පිරිසක් ස්වාධීන ශිෂ්‍ය සංගමය පෝෂණය කළේය. දෙමළ ජනයාගේ ඊළාම් ස්වයං නිර්ණ අයිතිය පිළිගත් කොළඹ සරසවියේ 1981 ආර්ථික විද්‍යා උපාධිධාරියෙකු වූ වාද්දුවේ තිලක් ප්‍රනාන්දු සංගමයේ මතවාදය පෝෂණය කිරීමට බොහෝ දුරට බලපෑවේය. ස්පාට්සිස්ට් ලිග් ට්‍රොස්කිවාදී කණ්ඩායම 1979 දී ඇරඹුණු 16 දෙනෙකුගෙන් පමණ සමන්විත සුළු කණ්ඩායමක් වූ අතර එයට පේරාදෙණියේ කෘෂි උපාධිධාරියෙකු වූ සුනිමල් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්වී සිටියහ. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කොළඹ සරසවියේ 1980 වන විට දෙමළ ජාතික සිසුන් 400ක් පමණ පිරිසක් අධ්‍යාපනය ලැබූ අතර ඔවුන්ගේ සහාය ස්වාධීන ශිෂ්‍ය සංගමයට හිමි වන්නේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිලක් ප්‍රනාන්දු දැරූ එම මතවාදය අනුවය. එක්සත් ඉන්දියානු සෝවියට් සමූහාණ්ඩුවක් ස්පාට්සිස්ට් ලීග් අරමුණ විය. මුල් කාලයේ තිලක් ප්‍රනාන්දුගේ අනුගාමිකයෙකු වූ දයා පතිරණ පසුව දයාන් ජයතිලකගේ විකල්ප කණ්ඩායමේ මතයට අනුගත විය. කෙටි කලකින් ඉන්ද ඉවත්ව චාල්ස් අබේසේකර ඇතුළු එන්.ජී.ඕ. ව්‍යාපාරයන්ට සහ ජවිපෙ විරෝධී වාමාංශික කණ්ඩායම්වලට නතුවිය.


ස්වාධීන ශිෂ්‍ය සංගමය 1982 කොළඹ සරසවියේ නිලවරණය සඳහා උපරිම ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වුවද මහා ශිෂ්‍ය සංගමයේ බලය ලබාගැනීමට අවස්ථාව අහිමි වී ගියේය. ජවිපෙ ඇතුළු දෙමළ බෙදුම්වාදයට එරෙහි ශිෂ්‍ය සංවිධාන එකට එකතු වී ශිෂ්‍ය සභාවේ බලය ලබාගෙන සභාපති තනතුර ජවිපෙටද ලේකම් තනතුර ශ්‍රිලනිපයටද භාණ්ඩාගාරික තනතුර එජාපයටද බෙදා ගන්නා ලදී. දයා පතිරණ සරසවි දේශපාලනය ආරම්භ කරන්නේ මෙම නිලවරණයට විද්‍යා පීඨයෙන් තරග වැදීමෙනි. සංගමයේ න්‍යායාත්මක පසුබිම පසු කාලයේ ඉදිරියට ගෙන යන්නේ දයා පතිරණ මගිනි. යාපනයේ සරසවි ශිෂ්‍ය අප්පුතුරෙයි විමලරාජා වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී චෝදනා යටතේ රඳවා ගෙන සිටි අතර ඔහු නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් 1982 මැයි 14 සවස්වරුවේදී සංකේත පන්ති වර්ජනයට යාපනය සහ මඩකළපු සරසවි ශිෂ්‍යයන් හැරුණු විට එයට සහභාගි වූයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පමණි. 


කොළඹ සරසවියේ විමලරාජා වෙනුවෙන් එම විරෝධය සිදු කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (අන්තරේ) මගින් එයට එරෙහිව රටපුරා සරසවිවල පොදු විරෝධතාවක් ගෙනයෑමට 1982 මැයි 12 තීරණයක් ගෙන තිබියදීය.


ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයින් 05 දෙනෙකු ප්ලොට් සංවිධානයේ වව්නියා සන්නද්ධ නායක තාසන් යටතේ නැගෙනහිරදී අවි පුහුණුවද ලබාගෙන තිබිණි. එය සම්බන්ධීකරණය කළේ සිවරාම් විසිනි. ලේඛකයා 1988 අප්‍රේල් 16 ප්ලොට් නායක උමා මහේෂ්වරන්ගේ වැල්ලවත්තේ රොක්සි සිනමාහලට යාබද ස්ථානයේදී හමුවූ අතර ජවිපෙට මුදල්වලටද සහ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ කණ්ඩායමකට නොමිලේද අවි පුහුණුව දුන් බව උමා මහේෂ්වරන් කියා සිටියේය. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයට එරෙහි ඕනෑම අයෙකුට ප්ලොට් සංවිධානය කොන්දේසි විරහිතව සහාය දෙන බව ඔහු එහිදී අවධාරණය කළේය. සිවරාම් සහ ෂර්ලිද එම අවස්ථාවට එක්ව සිටියහ. ප්ලොට් සංවිධානය මගින් 1985 අප්‍රේල් 26 නිකවැරටිය ලංකා බැංකුවට ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටියකට අධික මුදල් සහ රන් බඩු කොල්ලකෑ අතර එම කණ්ඩායමට එක් වූ සිංහල ජාතිකයින් දෙදෙනා අතර ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයකුද වූ බවට ජවිපෙන් චෝදනාවකි. කොළඹ සරසවියේ උද්ගතවී ඇති ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් එහි ජවිපෙ ශිෂ්‍ය අංශය 1986 මුල්භාගයේ සිට කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න යටතට පැවරිණි.


ස්වාධීන ශිෂ්‍ය සංගමය සමග ශිෂ්‍ය සංගම් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම ජයවර්ධනපුර සරසවියේ හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න සහ කෑගල්ලේ උපාලි දෙවැනි වරටද දෙසැම්බර් 15 පැමිණෙන්නේ පස්වරු 3.30 ටය. දයා පතිරණ ඒ වන විට විශාකා විදුහලේ උසස් පෙළ පාසැල් ශිෂ්‍යාවන් වූ තනුජා ධර්මපාල සහ දෙනියායේ පද්මිණී ශ්‍රියාකාන්ති කළුපලගේට සරසවියේදී අතිරේක විෂය දැනුම ලබාදෙමින් සිටියේය. (පතිරණ ඝාතකයින් හඳුනා ගැනීමේ පෙරට්ටුවටද 1987 ජූලි 17 ඔවුහූ සහභාගි වූහ.) නිමල් සහ උපාලි කොළඹ සරසවියට පැමිණියේ ධර්මසිරි හමුවීමට වුවද ඔහු නොමැති හෙයින් සෝමසිරි ඔවුන්ව පතිරණට යොමු කරන ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ සංවිධානාත්මකව පැහැර ගැනීමේ කල්ලියකට පතිරණ හෝ ධර්මසිරි කොටුකර දීමටය.


 

තුන්මුල්ලේ හන්දිය අසල ඔවුහූ වෑන් රථය තබාගෙන රැඳී සිටි අතර එහි හෙට්ටිහේවාගේ ජයතිස්ස හෙවත් ගාමිණී, කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාල, වැලිසර යුස්ටස්, දිල්ප් චන්ද්‍ර ප්‍රනාන්දු, තිලක් කුමාරතුංග හෙවත් සුදු මල්ලී, ආගිරිස් කොස්තා සිටියහ. සාකච්ඡාව තවදුරටත් කරගෙන යෑමට එකඟවී උපුල් සහ නිමල් සමඟ පතිරණ සරසවියෙන් එළියට පැමිණියේය. ඩිස්ප්‍රින් පෙත්තක් ගැනීමට අවශ්‍ය බව පවසමින් සෝමසිරි සමඟින් ගමන් කළේ උපාලිය. පතිරණ සමඟ ගමන් කළේ නිමල්ය, රහීමා හෝටලයේදී ඔවුහූ තේ පානය කළෝය. ශාන්ති විහාරයට මීටර් 25ක් පමණ දුර තිබියදී වෑන් රථයක් ඔවුන් අසල නතර කෙරුණි. වෑන් රථයට ඒ සඳහා ඔත්තු ලබාදුන්නේ ඉදිරිපස යතුරුපැදියෙන් පැමිණි සරත් එදිරිසූරියය.


තමන් සී.අයි.ඩී. එකෙන් යැයි කියා ගත් පිරිස පිස්තෝලයක් පෙන්වා 04 දෙනාටම වෑන් රථයට නගින ලෙසට නියෝග කළෝය. ඔවුන් අත කෙටේරියක්ද, ගල්කටස් එකක්ද, පිස්තෝලයක්ද, පිහියක්ද තිබුණි. සැලැස්මට අනුව සරත් වාහනය පිටුපසින් යතුරුපැදියෙන් පැමිණිය යුතුය. එහෙත් එය එසේ සිදු නොවීය. ඒ අනුව කොට්ටාව දෙසට ඇදුණු වාහනය පසුව ධාවනය කළේ මත්තේගොඩටය. අතතුරුව ජයවර්ධනපුර සරසවියේ සිසුන් වූ නිමල් ජයරත්නද, උපුල්ද වාර දෙකට අතර මගදී බස්සන ලදී. එවිට වේලාව පස්වරු 7.30 පමණ විය.  

 

 

 


මතු සම්බන්ධයි.