(සැකසුම -  අකිල බද්දෙවිතාන)     

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහ නාහිමියෝ අද (3) අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 102 වැනි වියේ පසුවූහ.

බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුකිඳ කොට්ඨාසයේ ඌව පරණගම දවුල්දෙන ග්‍රාමයෙහි ආලෝක මුදියන්සේලාගේ කවුරාල සහ ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ යන මව්පිය දෙ‍පොළට 1915 දෙසැම්බර් මස 31 වැනිදා උපත ලද ඤාණිස්සර මහ නාහිමියෝ අග්ගමහා පණ්ඩිත, සාහිත්‍යශූරී, ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද, ද්වි භාෂා විශාරද, සංස්කෘත චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නාම රාශියකින් පිදුම් ලද සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන්හි උන්නතිය සඳහා අතිවිශාල මෙහෙවරක් කළ යතිවරයන් වහන්සේ නමකි.

එකොළොස් දෙනකුගෙන් යුත් පවු‍ලේ අටවැනියා වූ ආලෝක මුදියන්සේලාගේ සිරිබද්ධන නම් මේ කුඩා දරුවා මූලික අධ්‍යාපනය ලැබුවේ මැදගම ගුණරත්න විද්‍යාලයෙනි. කුඩා වියේ සිටම පන්ස‍ලේ ඇසුරට හුරුව සිටි ඔහු සිය ළමා කාලයේ දී සාමණේර හිමිවරුන් ගාථා කවි සිලෝ කටපාඩම් කරන විට සමීපයේ වාඩි වී ඒවා අසාගෙන හුන්නේය. බුද්ධගජ්ජය, සකස්කඬය, නාමාෂ්ට ශතකය ආදී ‍පොත් කටපාඩමෙන් කියන්නට සමතකු වීම නිසා එම සුවිශේෂී හැකියාවන් වටහාගත් ඌමෑ‍ලේ සිරි පඤ්ඤානන්ද සහ ඌමෑ‍ලේ සිරි පියරතන නාහිමිවරුන්ගේ ආචාර්යත්වය යටතේ 1928 මාර්තු 8 වැනිදා සපුගොල්ල ත‍පෝධනාරාම මූල මහා විහාරයේදී පැවිදි දිවියට පත්වූහ.

මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය හැදෑරූ දවුල්දෙන ඤාණිස්සර නාහිමියෝ තමන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව විදේශවලටද ලබාදෙන්නට සමත් ජාත්‍යන්තර භාෂා ඥානයද ලබාගත්හ.

උන්වහන්සේ ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් පමණක් නොව අනෙකුත් සමගාමී විෂය ධාරාවන්ගෙන්ද ගෞරව පන්තියේ සාමාර්ථ ලැබූ අතර විද්‍යොදය මහ පිරිවෙනෙහි අවසාන පරීක්ෂණයෙන් සාමාර්ථය ලබා එහිදී ලබා ගැනීමට අති දුෂ්කර වූ ‘ශ්‍යාමරාජ‘ ත්‍යාගයද දිනා ගත්හ. ඒ මීට වසර 70කටත් එපිට කාලයේ දීය. අමරපුර සාමග්‍රීය සංඝ සභාවේ විවිධ තනතුරුවලට පත්වූ උන්වහන්සේ අවසන එහි මහානායක පදවියටද පත්වූහ.

උන්වහන්සේ වඩාත් ප්‍රකටවූයේ සංස්කෘත භාෂා විශාරදයකු වශයෙනි.

උන්වහන්සේ විසින් රචිත සංස්කෘත ග්‍රන්ථ ද රැසක් වන අතර බෞද්ධ කාන්තාවන්ගේ අත්පොතක් බඳු යශෝධරා කාව්‍යය ද රචනා කරන ලදි. යශෝධරා දේවියගේ චරිතය බෞද්ධ කාන්තාවන්ට තම ජීවිතයට පරමාදර්ශයක් වශයෙන් තබාගැනීමේ අගය පෙන්වාදීම සඳහා එම කාව්‍යය මහත් පිටිවහලක් බව වියත්හු පෙන්වා දෙති.

‘මාරංගනා විජයම්‘ යනු බුදුරදුන් මරඟනන් පැරදවීම පිළිබඳව උන්වහන්සේගේ අතින් ලියැවුණු සංස්කෘත කාව්‍යයකි. ධර්මචිත්තා, වෛරාග්‍ය චිත්තා, ආශිර්පුෂ්පමඤ්ජරී, ශ්වානස්තව කාව්‍ය ආදී වශයෙන් උන්වහන්සේ අතින් ලියැවුණුත තවත් ප්‍රබන්ධ රාශියකි.
දවුල්දෙන මහනාහිමියන් විසින් රචනා කරන ලද ‘යතිදූතම්‘ සන්දේශ කාව්‍යයකි.

ශ්‍රී ලංකාවේ ඛෙදුම්වාදී ත්‍රස්තයින් මනුෂ්‍ය ඝාතන කරමින් බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳ දමමින් කරන විනාශය දැකීමෙන් කම්පා වූ ඤාණිස්සර හිමියෝ එම සාහසික ක්‍රියා  නවත්වන්නැයි යතිදූතම් කාව්‍යයෙන් ලෝක පාලක දෙවිවරුන්ට ආයාචනා කළහ. සංදේශය රැගෙන යන යතිවරයා එක් රැයක් ගත කරන්නේ මහනුවර අස්ගිරි මහා විහාරයේය.

දවුල්දෙන මහනාහිමියන්ට අස්ගිරි මහා විහාරය කෙරෙහි විශේෂ බැඳීමක්, ලැදියාවක් තිබිණි. උන්වහන්සේ නියෝජනය කරන උඩරට අමරපුර මහා නිකාය සමග අස්ගිරි මහා විහාරයට ඇති බැඳීම හේතුවෙන් උන්වහන්සේ අස්ගිරි මහා විහාරයටද අපමණ ඇළුම් කළහ.

විවේකයෙන් සිටින සෑම මොහොතකම කවි, ගාථා, ශ්ලෝක ආදිය රචනා කිරීම දවුල්දෙන මහනාහිමියන්ගේ පුරුද්දක් බවත් ඇතැම් විට ගමනක යෙදෙන අතරතුරදී නිර්මාණය කරන සංස්කෘත ශ්ලෝක බස් ටිකට්පතක ලියා අසන්නට හෝ කියවන්නට සැලැස්වීම උන්වහන්සේගේ සිරිතක් බවත් උන්වහන්සේ ළඟින්ම ඇසුරු කළ මහනුවර අස්ගිරි මහා විහාරයේ මැදගම ධම්මානන්ද හිමියෝ වරෙක පැවසූහ.

දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමියෝ 1990 දශකය මුල් භාගයේදී තායිවානයේ ලිංසොං සහ චුංහුවා යන බෞද්ධ විශ්ව විද්‍යාලයන් හි සංස්කෘත සහ ථේරවාදී සම්ප්‍රදාය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කළහ.

එපමණක් නොව උන්වහන්සේ ඉන්දියාව, මැ‍ලේසියාව, හොංකොං, තායිපේ, කොරියාව ආදී දේශයන්හි ද, එංගලන්තයේද වැඩවසමින් ශබ්ද ශාස්ත්‍රය උගන්වමින් පැහැදිලි ධර්මය පෙර අපර දෙදිග කාටත් ඛෙදා දුන්හ. උන්වහන්සේගෙන් ශාස්ත්‍රය ලද භික්ෂූන් අතර ශාස්ත්‍රපති පණ්ඩිත විශ්‍රාමික විදුහල්පති කරගහ උල්‍පොත සුගතනන්ද ස්ථවිරයන් ප්‍රමුඛ කීර්තිමත් දැන උගත් ක්‍රියාශීලී ශිෂ්‍ය පිරිසක් සිටියහ.

මෙරට දී සුවිසල් ධර්ම දූත සේවාවක නිරත වූ ඤාණිස්සර නාහිමියෝ විද්‍යොදය මහ පිරිවෙන, මහරගම සිරිවජිරඥාන ධර්මායතනය බඳු ශබ්ද ශාස්ත්‍රීය විද්‍යාස්ථානවල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයත්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂාවන් පිළිබඳ දැනුමත් ලබා දුන්හ.

දිනපතා අලුයම අවදිව පන්සල ඇමද, මුව දෙවීමෙන් අනතුරුව බුදුරුව අබියසට වී තෙරුවන් නමැද පිරිත් සජ්ඣායනය කරන දවුල්දෙන මහනාහිමියන් පැරණි බෞද්ධ ආරාමික සම්ප්‍රදාය තුළ හැඩගැසුණු වැඩිහිටි පැවිදි උතුමකුගේ දින චර්යාව වන හෙරණසිඛ අකුරටම ඉටු කළ බව උන්වහන්සේ ළඟින් ඇසුරු කළ බොහෝ හිමිවරු කියති.

තායිවානයේ ගත කළ කාලයේ දී උන්වහන්සේ හමුවන්නට එන මහායාන බෞද්ධයින්ට දහම් කරුණු පැහැදිලි කරදීමට හා ආශිර්වාද කිරීමට උන්වහන්සේ නිරන්තරයෙන් ඉදිරිපත් වූහ. ඤාණිස්සර හිමියන්ගේ ගැඹුරු හඬින් හා නිරවුල් උච්චාරණයෙන් යුතුව පටිගත කළ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ ගුණ ඇතුළත් ස්තෝත්‍ර සහ සූත්‍ර දේශනා චීන සහ වියට්නාම් බෞද්ධයෝ අදත් තම නිවෙස්වලදී උදේ සවස ශ්‍රවණය කරති. එය ඔවුහු ආශිර්වාදයක් ලෙස සලකති.       
ජාතික හා ශාසනික වශයෙන් මතුවන ප්‍රශ්නවලදී වඩාත් ශාස්ත්‍රීය හා ධර්ම විනයානුකූල හේතු සාධක සහිතව ඒවාට විසඳුම් ඉදිරිපත් කරන භික්ෂූන් වහන්සේ අතර ප්‍රමුඛත්වය දවුල්දෙන මහා නාහිමියන්ට හිමිවිය.

පැවිදි දිවියේ වසර 89ක් පුරා ලොව පුරා සුවහසක් බොදුනුවන් උදෙසා සිය ශ්‍රමය, ශක්තිය හා කාලය වැය කරමින් අනුපමේය ශාසනික සේවාවක් සිදු කළ දවුල්දෙන ඤාණිස්සර අමරපුර මහා නිකායේ නා හිමියන් කළ මෙහෙවර විවිධ අවස්ථාවන් වලදී මෙරට ජනපතිවරුන්, මැති ඇමැතිවරුන් හා විද්වතුන් අතින් කිහිප වරකදීම ගෞරව බහුමානයට පාත්‍ර විය. වසර 102ක ආයු කාලයක් ගත කරමින් බෞද්ධ ශාසන ඉතිහාසයේ සිය නාමය රන් අකුරින් සනිටුහන් කළ දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමිපාණන්ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.

(ශාස්ත්‍රීය ලිපි ඇසුරිනි)