රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තනතුරෙන් පහකොට මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කිරීම අරමුණු කොටගෙන දියත් කළ කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වූයේ පසුගිය 26 වැනිදාය. අසාර්ථක වූ එම කුමන්ත්‍රණය අනුස්මරණය කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන සහ වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පසුගිය දිනවල කොළඹ අග නගරය තුළ රැස්වීම් කිහිපයක්ද පැවැත් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහෙත් ඒ කෙරෙහි දැක්වූ ජනතා ප්‍රතිචාරය එතරම් ඉහළ මට්ටමක පැවති බවක් දැකිය නොහැකි විය. හේතුව බොහෝ දෙනකුට මේ වනවිට කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය සහ එම හේතුවෙන් ඇති වූ ආණ්ඩු අර්බුදයේ බරපතළකම මතකයෙන් ගිලිහී ගොස් තිබීමය. එසේවූවද,  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයේ තිරසාර පැවැත්ම සහ ව්‍යවස්ථානුකූල පාලන ක්‍රමය ගැන උනන්දුවක් දක්වන සෑම අයකුම එම කුමන්ත්‍රණය ගැන දැනුවත් වී සිටීම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නොමැතිව වුවද එම කුමන්ත්‍රණය හේතුවෙන් ඇති වූ එයට සමාන ආකාරයේ ව්‍යවස්ථා අර්බුදයක් යළි ඇතිවිය හැකිය යන්න අනුමාන කිරීම සඳහා පසුබිම සැපයෙන පෙර නිමිති මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රය තුළ පහළ වී තිබෙන බැවිනි.

එම අනුමාන කිරීම කෙරෙහි තුඩු දී තිබෙන්නේ නොවැම්බර් 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව තේරී පත්වන නව ජනාධිපතිවරයාට එම ධුරයට පත් වූ වහාම දැනට අගමැති ධුරය හොබවන රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය බලයෙන් පහකොට නව අගමැතිවරයකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට ව්‍යවස්ථානුකූලව බලය තිබෙන බවට සමහර දේශපාලනඥයන් අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබීමය. මෙම ප්‍රකාශය කර තිබෙන්නේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පෙහොට්ටු පක්‍ෂයේ දේශපාලනඥයන් පමණක්ම නොවේ. දැනට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකුද එවැනි අදහසක් වරින් වර ප්‍රකාශ කර තිබෙන ආකාරය මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

ජනාධිපතිවරයකුට අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තිබෙන ව්‍යවස්ථාමය බලතල පිළිබඳව අදාළ සැබෑ තත්ත්වය ගැන දැන හෝ නොදැන කරන මෙවැනි ප්‍රකාශ මගින් රටේ පවතින ව්‍යවස්ථානුකූල පාලනයට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එළඹෙන 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් බලයට පත්වන නව ජනාධිපතිවරයා තම ගෝල බාලයන් සන්තෝෂ කිරීම සඳහා එම ප්‍රකාශවලින් අදහස් කරන දෙය ක්‍රියාවට නැංවීමට ගියහොත් යළිත් වරක් 2018 ඔක්තෝබර් මාසයේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයට සමාන අර්බුදයක් ඇතිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි වනු ඇත. එබැවින් 2018 වර්ෂයේ ඔක්තෝබර් 26 දින ආරම්භ වී දින 52 ක් මුළුල්ලේ ඇදී ගිය එම කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ ක්‍රියාවලියේ අගමුල කෙටියෙන් හෝ මතක් කර ගැනීම මෙහිදී ප්‍රයෝජනවත් වේ.

පසුගිය 26 දිනට වසරක් සපිරුණු කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරළියට ආවේ 2018 ඔක්තෝබර් 26 දින සවස් යාමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය බලයෙන් පහකොට මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කිරීම සමඟය. ජනාධිපතිවරයාගේ මතය වූයේ මෙසේ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන්ට බලය තිබෙන බවත් එබැවින් තමන්ගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන බවත්ය. එසේවුවද අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ තීරණයට එකඟ නොවෙමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවත්, එමගින් බරපතළ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බවත්ය. එබැවින් තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවනවා පමණක් නොව නිල නිවාසය වූ අරලියගහ මන්දිරයෙන්ද ඉවත් නොවන බව අගමැතිවරයාගේ ස්ථාවරය විය.

මෙයාකාරයට ඇතිවෙන ව්‍යවස්ථා අර්බුදය තවදුරටත් උත්සන්න වීම කෙරෙහි බලපෑවේ නොවැම්බර් 04 දින ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2095/50 ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කරමින් නොවැම්බර් 14 දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමත් ඉන් අනතුරුව නිකුත් කරන 2096/50 ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම පිනිස මහා මැතිවරණයක් පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝග කිරීමත්ය. ජනාධිපතිවරයාගේ මේ සෑම ක්‍රියාවක්ම එක් අතකින් අධිකරණය තුළත් අනෙක් අතින් පාර්ලිමේන්තුව තුළත් අභියෝගයට ලක් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මතය වූයේ ජනාධිපතිගේ සෑම ක්‍රියාවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවය.

අනෙක් අතට පාර්ලිමේන්තුව දෙවරක්ම මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව බහුතර ඡන්දයෙන් සම්මත කළ විශ්වාසභංග යෝජනාවක් මගින් ඔප්පු කර පෙන්වූයේ ආණ්ඩුව ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාමට අවශ්‍ය බහුතර බලය පාර්ලිමේන්තුව තුළ අගමැති මහින්ද රාජපක්‍ෂට නොමැති බවය. අධිකරණ තීන්දු මගින් සහ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා සම්මතයෙන් පැහැදිලිවම පෙන්නුම් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය මගින් මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කරමින් පිහිටු වූ ව්‍යාජ ආණ්ඩුව ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම කිසිසේත්ම කළහැකි දෙයක් නොවන බවය. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ 2018 දෙසැම්බර් 15 දින මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීමත් ඊට පසු දින එනම් දෙසැම්බර් 16 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අගමැති තනතුරට පත් කරනු ලැබීමත්ය.

කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට පිරිමැහිය නොහැකි බරපතළ හානියක් කළද එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ වැදගත් ප්‍රශ්න කිහිපයකට ස්ථිර විසඳුම් ලැබීම එම දේශපාලන සංසිද්ධියෙන් සිදු වූ ලොකුම වාසිය ලෙස පෙන්වා දියහැක. මෙයින් එකක් වන්නේ අගමැතිවරයකු පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සතු බලතල කුමනාකාර වේද යන්න පිළිබඳ අදාළ ව්‍යවස්ථානුකූල තත්ත්වය නිරාකරණය වීමය. මෙම කරුණ දෙයාකාරයකින් සලකා බැලිය හැක. මෙයින් පළමු එක වන්නේ මහා මැතිවරණයකින් පසුව අලුතෙන් තේරීපත් වන පාර්ලිමේන්තුවකින් අගමැතිවරයා පත් කරන්නේ කෙසේද යන්නය. දෙවන කරුණ වන්නේ තෝරාපත් කරන ලද අගමැතිවරයකු තනතුරෙන් ඉවත් කොට නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවාද යන්නය. අගමැතිවරයා පත් කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන දෙස බලන විට පෙනී යන්නේ මේ අවස්ථා දෙකෙහිදීම අගමැතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අභිමතානුසාරී බලයක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයාට නොහැකි බවය.

මෙයින් පළමු අවස්ථාව සලකා බලන්නේ නම් එහිදී පෙනී යන්නේ මහා මැතිවරණයකින් පසුව අගමැතිවරයා පත්කිරීම පිළිබඳව අදාළ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.3 වගන්තියයි. එහි දැක්වෙන ආකාරයට, “පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු වන්නේය”. මෙම වගන්තියේ දැක්වෙන ‘උපරිම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා’ කවුරුන්ද යන්න නිශ්චිත ලෙස අර්ථකථනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතුවේ. මේ අනුව අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා වඩාත් ළැදියාව දක්වන අයකු පත් කිරීමේ ඉඩකඩක් පවතින බව පෙනී ගියද ජනාධිපතිවරයාට එසේ කළහැකි වන්නේ තමන් නියෝජනය කරන පක්‍ෂයට බහුතර බලයක් පාර්ලිමේන්තුව තුළ තිබෙන්නේ නම් පමණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඩී.බී. විජේතුංග අගමැති තනතුරට පත් කළේත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් දි.මු. ජයරත්න අගමැති තනතුරට පත් කරනු ලැබුවේත් මෙම පදනම මතය. අනෙක් අතට තමන්ගේ පක්‍ෂයට බහුතරයක් නොමැතිව තමන්ගේ අභිමතය අනුව අගමැතිවරයකු පත්කළ විට ඇතිවිය හැකි අර්බුදයට දිය හැකි හොඳම නිදසුන වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය යටතේ මහින්ද රාජපක්‍ෂ අගමැති තනතුරට පත් කිරීමය.

ඉහත දැක් වූ දෙවන තත්ත්වය එනම් දැනටමත් අගමැති තනතුර දරන තැනැත්තකු තනතුරින් ඉවත් කොට වෙනත් අයකු අගමැති තනතුරට පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට හිමිවනවාද යන්න සලකා බැලීමේදී පැහැදිලිවම පෙනී යන්නේ අගමැතිවරයකු තනතුරෙන් පහ කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි නොවන බවය. තනතුර දරන අගමැතිවරයකු ධුරයෙන් පහ කිරීමට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට බලය නොමැති අතර අලුතින් අගමැතිවරයකු පත්කළ හැකි වන්නේ අගමැති තනතුර පුරප්පාඩු වුවහොත් පමණි. එසේ අගමැති තනතුර පුරප්පාඩු වන්නේ (අ). අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන්, (ආ). පාර්ලි​ෙම්න්තු මන්ත්‍රී ධුරය අහිමි වීමෙන්, (ඇ). පාර්ලිමේන්තුවේ සම්මත කරන විශ්වාසභංග යෝජනාවක් මගින් අගමැතිවරයා තනතුරෙන් ඉවත් කිරීමෙන් සහ (ඈ). පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් කැබිනට් මණ්ඩලය විසිරී යාම හේතුවෙන් යන අවස්ථාවලදී පමණි. එහෙත් මෙවැනි අවස්ථාවලදී වුවද (ඈ) සීමාව හැර ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43.3 වගන්තියේ දැක්වෙන සීමාවන්ට යටත්වය.

කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස විසඳුණු අනෙක් වැදගත් කරුණ වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ජනාධිපතිවරයා සතු බලතල පිළිබඳව පැහැදිලි අර්ථකථනයක් ලැබීමය. ඒ අනුව 70.1 වගන්තියේ දැක්වෙන ආකාරයට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එක්කෝ අලුතින් තේරීපත් වී ඇති පාර්ලිමේන්තුවක පස් අවුරුදු නිල කාලයෙන් අවුරුදු හතර හමාරක් ගත වූ විටය. නැතිනම් පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 ට නොඅඩු සංඛ්‍යාවකගේ අනුමැතියෙන් සම්මත කරන ලද යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ නම් පමණක්ය.

ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ ලබන 16 වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කවරෙකු තේරීපත් වුවද දැනට සිටින අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තම අභිමතානුසාරී බලය අනුව වෙනස් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවය. එසේ වෙනස් කළ හැකි වන්නේ එක්කෝ අගමැතිවරයා ස්වකීය කැමැත්තෙන් ධුරයෙන් ඉල්ලා අස්වුව හොත් පමණි. නැතිනම් පාර්ලිමේන්තුවේ සම්මත කරන විශ්වාසභංග යෝජනාවක් මගින් අගමැතිවරයා ධුරයෙන් පන්නා දැමුව හොත් පමණි. එසේත් නැතිනම් 70.1 වගන්තියේ දැක්වෙන විධිවිධානවලට අනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හොත් පමණි. අගමැතිවරයා නියත වශයෙන්ම ඉල්ලා අස් නොවනු ඇත. විශ්වාසභංග යෝජනාවක් මගින් අගමැතිවරයා ඉවත් කිරීමද පහසු නොවේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අඩුම වශයෙන් අවුරුදු හතර හමාරක් ගතවෙන තෙක් එනම් ලබන මාර්තු මාසය දක්වා බලා සිටිය යුතුය. තමන්ගේ විශ්‍රාම වැටුප නැතිවීමේ තර්ජනය නිසා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් ඉල්ලා යෝජනාවක් සම්මත කිරීමට එකඟ නොවනු ඇත. එකම නිශ්චිත දෙය අගමැති රනිල් වික්‍රමසිංහ එක්කෝ ලබන මාර්තු මාසය හෝ නැතිනම් අගෝස්තු මාසය දක්වා බලයේ සිටීමය.

මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. ලබන 16 දායින් පසුව අලුත් ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතාකරන දේශපාලනඥයන් අඩුම වශයෙන් තමන්ගේ රට පාලනය කිරීම හා අදාළ මූලික නීතිය ගැනවත් දැනුමක් නොමැති අය බවය. ඔවුන් කරන්නේ නොදන්නාකම හේතුවෙන් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමඟ යැවීමය. මෙවැනි දේශපාලනඥයන් දේශපාලනයෙන් ඉවත් කළයුතු බවට ජනතාව නඟන හඬ සාධාරණ සහ යුක්ති සහගත යැයි හැඟෙන්නේ එබැවිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා