බස් වර්ජනයෙන් පසු 
සටන් නායකයන්ට මරණය-2

 

ජවිපෙ අරමුදල් තරකර ගැනීම සඳහා 1984 අග භාගයේ දී ඇරඹූ මුදල් සෙවීමේ කමිටුවේ දකුණු පළාතේ නායකයෙකු වූයේ තල්පාවිල ධර්මසේනය.


ගුරු වැටුප් මංකොල්ලයක දී එය සාර්ථකව සිදුකිරීමෙන් අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නෝනාගම වැලිපටන්වල දී යතුරුපැදියේ යමින් සිටිය දී ධර්මසේන සහ මුණි යන දෙදෙනා අම්බලන්තොට පොලිස් අත්අඩංගුවට 1985 මාර්තු පත්වන අතර තිරස්චින පහරදීම් වලින් පසු මාතර රෝහලට ඇතුළු කරන විටත් මිය ගොස් තිබිණි. කිසිදු තොරතුරක් තල්පාවිල ධර්මේ විසින් හෙළිකර නොතිබිණි. එවකට අම්බලන්තොට ප්‍රධාන පොලිස් පරීක්ෂක වූයේ ධනපාල නානායක්කාරය. ධර්මසේනගේ අවමඟුල් කටයුතු තල්පාවිල පවුලේ සුසාන භූමියේ දී සිදුකළ අතර ඒ සඳහා පොලිසිය මගින් අවසර ලබාදුන්නේ වරුවක් පමණි.


රත්මලානේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ බහුතරය තල්පාවිල ධර්මසේන හරහා ජවිපෙට බැඳුණු අය වේ. රත්මලානේ සිරිමල් උයනේ නවාතැන් ගෙන සිටි ඔවුහු සැලසුම් සකස් කළේ සහ සාකච්ඡා කළේ රත්මලානේ ලහිරු ටේ්‍රඞ් සෙන්ටර්හිදීය. කළමනාකරු සරත් ව්‍යාපාරික කටයුතුවලට බාධාවක් නොවන පරිදි එය සිදු කළ අතර ඉහළම ලාභද පෙන්නුවේය. එහෙත් එම ස්ථානයට යාබදව ඇති සිංහ හාඞ්වෙයාර් වෙත නිරතුරුව පැමිණෙන ජවිපෙන් ඉවත් වූ අයෙකු ලහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි සිදුවන ජවිපෙ කටයුතු ආරක්ෂක අංශවලට දැනුම් දුන්නේය. ආරක්ෂක අංශ ඉන්පසු එහි දුරකථනය ටැප් කළ අතර සම්බන්ධතා තහවුරු විය. පසුව සැඟවී සිට ප්‍රේමචන්ද්‍ර මුණසිංහ ලහිරු ටේ්‍රඞ් සෙන්ටර් වෙත 1988 නොවැම්බර් 17 පෙරවරු 11.20ට ඇතුළු වන විට සැඟව බලා සිටි ආණ්ඩුවේ අතුරු හමුදා කණ්ඩායමක් එල්. එස්. 30 සුදු පැහැති වෑන් රථයෙන් පැමිණ වෙළෙඳ ස්ථානයේ ඇතුළතට කඩාපැන වෙඩි තබා එහි සිටි සියලු දෙනා ඝාතනය කළහ.

 

 

ලහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි එම ස්ථානයේම ඝාතනයට ලක් වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභික සහ බස් වර්ජනය ඇතුළු කම්කරු සටන් සහ උද්ඝෝෂණ රත්මලාන ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ දියත්කළ නායකයා වූ ප්‍රේමචන්ද්‍ර මුණසිංහ, ලහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි කළමනාකරු අංගොඩ රාජපක්ෂ පතිරගේ සරත් පෙරේරා සහ විදුලි කාර්මිකයෙකු වූ රත්මලානේ පදිංචි ලක්ෂ්මන් කොස්තා යන තිදෙනාය. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එහි අලෙවි විධායක බදුල්ලේ රංජිත් රත්නායක රෝහල්ගත කළ අතර පසුව සුවපත් වූ ඔහු 2003 හදිසි අනතුරකින් මිය ගියේය. සරත් පෙරේරාගේ සහ ලක්ෂ්මන් කොස්තාගේ දේහයන් අවසන් කටයුතු සඳහා ඔවුන්ගේ පවුලේ අය භාරගත් අතර ජවිපෙ ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ අවසන් කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන ලදී. අදාළ ලහිරු ටේ්‍රඞ් සෙන්ටර් ව්‍යාපාර තුළ දී වෙඩි තැබීමෙන් අනතුරුව එය ආරක්ෂක හමුදා භාරයට පත්විය.


මෙම සිද්ධියත් සමගම එම ව්‍යාපාරයේ හිමිකරු රංජිත් දිසානායක හෙවත් කළු රංජි කිහිප දිනකින්ම ජීවිතාරක්ෂාව තකා සිංගප්පූරුවට පලාගිය අතර පසුව මැලේසියාව සහ ඉතාලියේ රැකියාවන්හි නිරත වී වසර 8කට පසුව 1996 දී ලංකාවට යළි පැමිණියේය. රංජි දිසානායක වර්තමානයේ අගහස් ප්‍රකාශන ආයතනයේ හිමිකරුය. තිදරු පියෙකු වූ රංජිත්ගේ බිරිඳ නීතාය.


ලහිරු ටේ්‍රඞ් සෙන්ටර් වෙත නිරතුරුවම පැමිණි කිහිපදෙනෙක් පසුව ඝාතනයට ලක්වූහ. ඒ අතර රාජගිරිය ජනාධිපති විදුහලේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි තල්පාවිල ටී. ඩබ්ලිව්. කේ. දයාරත්න ද පාසලට පැමිණි ආරක්ෂක අංශ විසින් 1989 අගෝස්තු 24 පැහැරගෙන ගිය අතර පසුව ඝාතනයට ලක්වී තිබිණි. තල්පාවිල පන්සල අසල කොමියුනිස්ට් පක්ෂ ක්‍රියාකාරිකයෙකු වූ විමලසෝම ජවිපෙ මගින් 1988 අවසානයේ දී ඝාතනයට ලක්කළ අතර විමලසෝමගේ දරුවන් දෙදෙනා අධ්‍යාපනය ලැබුවේ ද රාජගිරිය ජනාධිපති විදුහලේය. විමලසෝමගේ වැඩිමහල් සොහොයුරා වන්නේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ සාහිත්‍යධරයෙකු වූ විජයසෝමය. දයාරත්නගේ සොහොයුරෙකු වූයේ මාතර එජාප ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීව සිටි ටී. ඩබ්ලිව්. කේ. කරුණාරත්නය. එමෙන්ම රත්මලාන ලහිරු ටේ්‍රඞ් සෙන්ටර් වෙත පැමිණි ගුරුවරයෙකු වූ අබේරාම ද ආරක්ෂක අංශ මගින් ඝාතනයට ලක්කළ අතර ඔහුගේ දරු පවුල ජීවිතාරක්ෂාව පතා විදෙස් ගතවිය.

 

 

රත්මලාන ලහිරු ටේ්‍රඞ් සෙන්ටර් වෙත පැමිණි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් අතර සමන් පියසිරි ප්‍රනාන්දු ඩී. එම්. ආනන්ද, විමලරත්න ඇතුළු කිහිප දෙනෙකි.


පසුව 1989 දී ඇරඹුණ මහා බස් වැඩ වර්ජනයට නායකත්වය දුන් රත්මලාන ජවිපෙ කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයන් වූ කේ. කේ. සිල්වා සහ ඇක්මන් රණතුංග ද මහා බස් වැඩ වර්ජනය නිමවීමට පෙර 1989 ජූලි 5 පෙරවරු 9ට පමණ රත්මලාන ඩිපෝව ඉදිරිපිට රොලෙක්ස් හෝටලය අසල මහ මග දී ඝාතනයට ලක්විය. එය සිදුකර තිබුණේ ද සුදු පැහැති අංක රහිත හයියස් වෑන් රථයකින් පැමිණි ආණ්ඩුවේ අතුරු හමුදා කණ්ඩායමක් මගිනි. එම ස්ථානයේදීම කේ. කේ. සිල්වා මියගිය අතර ඇක්මන් රණතුංග මිය ගියේ කළුබෝවිල රෝහලේදීය. එම දේහයන් 1989 ජූලි 9 වැනිදා ඥාතීන් වෙත භාරදෙනු ලැබුවේ ජූලි 10 වැනිදා පෙරවරු 10 ට පෙර අවසන් කටයුතු සිදුකරන ලෙසට පොලිසිය මගින් කළ දැනුම්දීමක් සමගය.


ඇක්මන් රණතුංගගේ අවසන් කටයුතු ජාඇල පිහිටි ඔහුගේ බිරිඳගේ මහගෙදර දී සිදුකළ අතර කේ. කේ. සිල්වාගේ අවසන් කටයුතු පිළියන්දල සුවාරපොල දෙමාපියන්ගේ නිවසේ දී 1989 ජූලි 10 වැනිදා සිදුකරන ලදී.


පිළියන්දල සිල්වාගේ අවසන් කටයුතු 1989 ජූලි 10 වැනිදා පෙරවරුවේ සිදුකළ අතර එයට සහභාගි වූ පිරිස අතරින් මොරටු සහ ජයවර්ධනපුර සරසවියේ සිසුන් 11ක් පාසල් සිසුන් 3 ක් ඇතුළු 17 දෙනෙකු ආරක්ෂක හමුදා මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔවුහු කැස්බෑව මහේස්ත්‍රාත්තුමියගේ රඳවාගැනීමේ නියෝගයක් අනුව දෙහිවල පොලිසියේ රඳවා තබාගන්නා ලදී. අනතුරුව කොළඹ, වැලිකන්ද, මැද්දේගොඩ සහ බූස්ස හමුදා කඳවුරුවල මාස 6 ක් පමණ රඳවාගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පානදුර මහාධිකරණයේ නඩු පවරනු ලැබීය. ඒ වන විට 12 වැනි විත්තිකරු වූ කළුබෝවිල විදුහලේ උසස් පෙළ සිසු අජිත් කුමාර අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවිය.


කොහුවල හමුදා මුරපොළට පහරදීම සම්බන්ධයෙන් අජිත් කුමාර හඳුනාගත් බවත් පැහැරගත් තුවක්කු සෙවීමට යාමේ දී ඔහු පැනයාමට තැත්කිරීමෙන් ඝාතනයට ලක්වූ බවත් ආරක්ෂක අංශවලින් ලබාගත් ලිපියක් පොලිසියට ඉදිරිපත් කළේය. ලාල් ප්‍රින්ස් පෙරේරා නැමති 14 වැනි විත්තිකරු ඕස්ටේ්‍රලියාවේ රැකියාවකට යෑමට නීතිපති වෙත කළ ඉල්ලීමක් අනුව ඔහු නිදොස් කොට නිදහස් කළ අතර පසුව අනෙකුත් විත්තිකරුවන් වෙනුවෙන්ද සානුකම්පිතව සලකා බලන්නැයි විනිසුරු කළ ප්‍රකාශයෙන් මසකට පසු නීතිපතිවරයා සෙසු සියලුදෙනාටම එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර පැතීය. එයට ඉඩ දුන් විනිසුරු එස්. කඩවතආරච්චි සියලුදෙනා නිදොස් කොට නිදහස් කළේය.