රූප රැජිනියන්ගේ දේශපාලන පුරාණයෙන්-2

 

 

ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ සහ රූප රාජිනියන්ගේ බිහිවීම තවමත් තිබෙන්නේ ඉතා අල්ප මට්ටමේය. එහෙයින් දේශපාලනයේ නියුතු රූ රැජිනන් ගැන තොරතුරුද සීමිතවීම ස්වභාවිකය. එහෙත් විදේශයක ඉහළම තැනට ගිය එමෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටි චරිතයක කතා පුවතක් මෙහිලා සඳහන් කරන්නේ විවිධ හැලහැප්පීම් ගලාගිය එම චරිතය තුළින් දේශපාලනයට අදාළ වන සහ ඒ පිළිබඳ සුවිශේෂී තොරතුරු සම්භාරයක් ගැන විස්තර හෙළිදරව් වන නිසාය. ඇය නමින් ඉමෙල්ඩා මාකෝස් ය. පිලිපීන සමූහාණ්ඩු රාජ්‍යයේ ජනාධිපති ආර්යාව බවට පත්ව එම රාජ්‍යයේ ඉතා බලවත් තැනක් හිමිකරගෙන සිටි ඇයගේ කතා පුවතින් අපට වටිනා පාඩම් රැසක් දැනගත හැකිය. 


පිලිපීනයේ ලෙයිට් නම් දූපතේ ඉතා දිළිඳු පවුලක උපත ලත් ඉමෙල්ඩා සිඟිති වියේ සිටම මනා රූ සපුවකින් හෙබි දැරියක වූවාය. නිර්ධන පවුලක් වුවද පෙර කල ඉහළ පෙලේ සම්භාවනීයත්වයට පත් ඥාතීහු ඔවුන්ගේ පෙළපතේ සිටියහ. එම ආරයට මෙන් කුඩා කල සිටම ඉහළ සමාජයට පා තැබීමේ ආශාවක් ඉමෙල්ඩා තුළ පැවතුනි. ඉතා කුඩා නිවසක පදිංචිව සිටි එම පවුලේ දරුවන් පාසල් ගියේ දෙපයට සපත්තුවත් නොමැතිව බව පැරණි වාර්තාවන්හි දැක්වේ. මෙසේ ඉතා අපහසුතාවෙන් යුතුව ජීවන ගමන ඇරඹූ ඉමෙල්ඩාට තම ජීවිතය ජය ගත හැකි එකම මග තම රූපය බව මුල්කාලයේදීම දැනෙමින් තිබුණි. පාසල් සිසුන් අතර පවා රූපිකාවක් ලෙස නමක් දිනා සිටි ඇය ඒ කෙරෙහි මහත් උනන්දුවක් දැක්වූවාය. එරට සමාජ පසුබිම අනුව ඉතා ළාබාල වියේදීම පියා විසින් ඇයට විවාහ යෝජනාවක් ගෙන එන ලද අතර ඊට අකමැතිව රටේ අගනුවර වූ මැනිලාවට ඇය පැන ගියාය. එහිදී කුලී රැකියාවක් සොයා ගැනීමට උත්සුක වූ ඇයට බැංකුවක පිරිසිදු කරන්නියක ලෙස රැකියාවක් ලැබුණු බව කියැවේ. මේ වන විට ඉමෙල්ඩාගේ වයස අවුරුදු දහසයක් පමණි. ඇයට වාසනාව පෑදුණේ එහිදීය. එක්තරා සඟරාවක ඡායාරූප ශිල්පියෙකුගේ නෙත මෙම අභිරූපිකාවගේ ආකර්ෂණීය රූපකාය දෙසට යොමු විය. එහි ප්‍රතිඵලය වූවේ එවර පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් පළ කෙරුණු පෙර කී සඟරා කලාපයේ කවරය සරසන ඡායාරූපයට සුරූපී ඉමෙල්ඩාගේ සේයාරුව තෝරාගැනීමයි. මෙම ඡායාරූපය ඉතා ජනප්‍රිය වූ අතර එක් රැයකින් ඉමෙල්ඩා ප්‍රබල චරිතයක් බවට පත් වූවාය. සමාජයේ විවිධ තරාතිරම්වල අය ඇසුරු කිරීමටද ඇයට අවස්ථාව ලැබුණි. මෙවැනි සාදයකදී ඇය හඳුනාගත් බෙනිඤ්ඤෝ අකිනෝ නමැති තරුණ දේශපාලනඥයා සමග පෙම් සබඳතාවක් ඇති කර ගත්තාය. ඉක්මනින් මෙම පෙම් දම මෝරා ගියත්, ඇයගේ සමාජ තත්ත්වය අවබෝධකර ගත් අකිනෝ ඇය අතහැර දැමුවේය. මෙයින් බලවත් කෝපයට පත් ඉමෙල්ඩා අකිනෝගෙන් කවදා හෝ පළිගන්නා බවට තමාටම සපථ කර ගත්තාය.


මේ අතරවාරයේ මැනිලා අගනුවර රූපරාජිනිය තෝරා ගැනීම සඳහා පැවැත්වූ තරගයට ඇය ඉදිරිපත් වූවාය. රූපරාජිනී තරගවලින් ජයග්‍රහණය අත්කර ගැනීමට නම් තරග විනිසුරුවන්ට ලිංගික අල්ලස් දිය යුතුවීම පිලිපීනයේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබුණි. තමාගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමේ නොනවතින ආශාවෙන් පෙළෙමින් සිටි නිසා ඉමෙල්ඩා මැනිලා නුවර උපනගරාධිපතිවරයා සමඟ යහන්ගතවීමට එකඟ වූවාය. ඇයට රූපරාජිණී තරගයේ දෙවැනි ස්ථානය හිමිවිය. මෙසේ උපනගරාධිපති ආසිනියෝ ලාසොටා සමග කලක් ජිවිතය ගත කළ අතර ඉන්පසු පිලිපීනයේ විශාල ධනවතෙකු වූ ඇරිස්ටන් නැක්සිල්ගේ අනියම් බිරිය බවට පත් වූවාය. මෙමගින් ඉමෙල්ඩා යුවතිය අතින් අතට මාරුවන වෙළෙඳ භාණ්ඩයක තත්ත්වයට වැටුණු බව කියැවේ.


කෙසේ වුවත් පිලිපීනයේ ඉහළ සමාජයේ ගැවසීමට ඇයට අවස්ථාව ලැබුණි. මෙකල එරට දේශපාලන ලෝකයේ නැගී එන තරුවක් වූ ෆර්ඩිනන්ඞ් මාකෝස් හඳුනාගන්නට ලැබුණි. පළමු දැක්මෙන්ම ඉමෙල්ඩා කෙරෙහි වශී වූ මාකෝස් තමා සමග විවාහ වන ලෙසට ඇයට ඇවිටිලි කරන්නට විය. මතු අනාගතයේ දී මෙම පුද්ගලයා රටේ ප්‍රබලයෙකු වන බව දැන සිටි ඉමෙල්ඩා බොහෝ පින්සෙණ්ඩුවීමෙන් පසුව මාකෝස් සමග විවාහ වීමට එකගවූවාය. මේ වන විට ෆර්ඩිනන්ඞ් මාකෝස් සමග තවත් බිරිඳක් වාසය කළාය. පිලිපීන සංස්කෘතිය අනුව මෙවැනි දේ පුදුමයක් නොවීය. පෙර කී කාන්තාවට මාකෝස් නිසා ලැබුණු දරුවෝ සිව් දෙනෙක් සිටියහ. ඉමෙල්ඩාද දරුවන් තිදෙනෙකු ලැබුවාය. මේ අතරවාරයේ පිලිපීනයේ ජනාධිපතිවරණයට තරග කළ ෆර්ඩිනන්ඞ් මාකෝස් එයින් ජයගෙන මැනිලාහි මලකක්‍ද්ඤා මාලිගයේ පදිංචියට ගියේය. ජනාධිපති ආර්යාව වශයෙන් ඉහළම තැනට නැගුණු ඉමෙල්ඩා තම ජීවන අපේක්‍ෂාව ඉටුකර ගත්තාය. අති සුඛෝපභෝගී ජීවිතයකට හුරු වූ ඇය කිසිදු පැකිළීමකින් තොරව බදු ගෙවන පිලිපීන ජනතාවගේ මුදල් පෙසෝ කෝටි ගණන් අවභාවිත කළාය. පෞද්ගලික සුඛවිහරණය සඳහා ජාතික ධනය වැය කිරීමට ඇයට කිසිදු බියක් නොවුණි. තවත් නොයෙකුත් දූෂණ, වංචා අපචාර හා මුදල් අවභාවිත කිරීම් ආදී ක්‍රියා නිසා මාකෝස් යුවළ රටේ මහත් අප්‍රසාදයට පත් වූ බව සඳහන් වේ. පිලිපීන ව්‍යවස්ථාව අනුව මාකෝස්ට නිලය දැරීමට හැකියාව තිබූ කාලසීමාව ඉක්ම ගියේය. ඒනිසා ඉමෙල්ඩා එම තනතුරට පත් කර ගැනීමට මාකෝස්ට අවශ්‍ය විය. එහෙත් නිරන්තරයෙන්ම විදේශ රටවල සංචාරය කරමින් සිටි ඇයට නියමිත අවස්ථාවේදී නාම යෝජනා භාර දීමට නොහැකි විය. කළ යුතු වෙනත් දෙයක් නොවූ හෙයින් රටේ යුද්ධ නීතිය පනවා තම පාලනය දිගටම ගෙන යාමට මාකෝස් පියවර ගත්තේය.
මෙම දූෂිත පාලනයට විරුද්ධව දේශපාලන පක්‍ෂ සහ ජනතාව උද්ඝෝෂණ විරෝධතා පැවැත්වූ අතර මාකෝස් හමුදාව යොදවා අවි බලයෙන් ඒවා මර්දනය කිරීම ආරම්භ කළේය. ඔහුගේ හොඳම හිතවතා ලෙස සමීපව කටයුතු කළ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඔහු අතහැර දමා වහාම මැතිවරණයක් පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කිරීමට බලපෑම් කළේය. අනාරක්‍ෂිත බව නිසා රටින් පිට වී සිටි විපක්‍ෂ නායක බෙනිනෝ අකිනෝ, මාකෝස් පරාජය කිරීම සඳහා සිය රට පැමිණියේය. ඔහු ගුවන් යානයෙන් මවුබිමට පා තැබුවා පමණකි. කොහේ දෝ සිට පැමිණි වෙඩි උණ්ඩයකින් අකිනෝ ඝාතනයට ලක් විය. එය ඉමෙල්ඩා මාකෝස්ගේ සැලසුමක් අනුව සිදු වූ ඝාතනයක් බව ලෝක ජනමාධ්‍ය වාර්තා කළේය. එය දේශපාලන හේතුවලට වඩා තම ප්‍රථම ප්‍රේමය අකිනෝ විසින් ප්‍රතික්‍ෂේප කිරීම ගැන පළිගැනීමක් බව කාගේත් අදහස විය. ඉන්පසු දේශපාලන කරළියේ මාකෝස් විරෝධයට පණ දුන්නේ බෙනිනෝ අකිනෝගේ වැන්දඹු බිරිඳ වූ කොරසාන් අකිනෝය.

 

1986 මහා මැතිවරණය පැවැත්වුණි. බොහෝ ජනප්‍රියව සිටි ජනතා නායිකාව වූ කොරසාන් අකිනෝ ජය ලැබීම ඉර හඳ මෙන් සහතිකව පැවතියා වුවද ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පරාජයට පත්ව සිටියාය. මෙය මාකෝස්ගේ යටි උගුලක් බව කාටත් රහසක් නොවීය. ජනයා දස දහස් ගණනින් වීදි බටහ. හමුදා බලයෙන් එය මැඩ පැවැත්වීමට නොහැකි වූයේ හමුදා කණ්ඩායම් පවා ජනතාවට පක්‍ෂපාත බව ප්‍රකාශ කළ හෙයිනි. වේල්ල කඩාගෙන එන මහා ජල ප්‍රවාහයක් බදු ජනතා රැල්ල මැඩපැවැත්වීමට නොහැකි අයුරින් ප්‍රබලව නැගී ආවේය. මාකෝස් යුවළට කර කියා ගත හැකි කිසිවක් නොවීය. ඔවුන්ගේ මලකක්‍ද්ඤා මාලිගය ජනයා ලක්‍ෂ ගණනින් වටලා තිබුණි. ඔවුන්ට ඉතිරිව තිබුණු එකම විකල්පය වූවේ රට හැර පැන යාම පමණි. එනිසාම ඔව්හු හෙලිකොප්ටරයකට නැගී රටින් පලා ගියහ. එයින් පසු ඔවුනගේ නවාතැන වූයේ ඇමෙරිකාවේ හවායි දූපතයි. ඉන්පසු මාලිගයට කඩා වැදුණු ජනයා එය මංකොල්ල කෑහ. එහිදී දක්නට ලැබුණු දෙයින් මාධ්‍ය වාර්තාකරුවෝ මවිතයට පත්වූහ. ඉමෙල්ඩා මාකෝස් තම සුඛ විහරණය සඳහා මහජන මුදල්වලින් කොපමණ ධනස්කන්ධයක් වැය කර ඇත්දැයි ඔව්හු ඇස් පනාපිට දුටහ. ඇයගේ විලාසිතා කාමරය පිරී තිබුණේ ඇඳුම් පැලඳුම්වලිනි. 


එහි වටිනා සපත්තු කුට්ටම් 3000කට අධික ගණනක් තිබුණි. වටිනා ලොම් කබා තැන්පත් කළ රාක්ක 35ක් විය. එමෙන්ම අධික මිල ගණන්වලින් යුතු තිසර පට පන්සියයකට අධික විය. ඩොලර් දහස් ගණනට මිලට ගත් කාන්තා ඇඳුම් 1500ක් හා නොයෙක් මෝස්තරවල අත්බෑග් 1500ක් තිබූ බව කියනු ලැබේ. මෙය ලෝකයේ ජනමාධ්‍යයන්ට දින ගණනාවක් පුරා රසවත් පුවත් මවන්නක් වූවේය. මේ පිලිපීනයේය. අපේ රටේ කිසි විටෙකත් මෙවැනි චෝදනා නැගී නැත. අනාගතයේදීද නිසැකවම සිදු නොවනු ඇත.


සාර අසාර බව හා සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව ප්‍රකාශ කෙරෙන බුදු දහමේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම්වලින් පෝෂණය ලබා ඇති බහුතර ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාවේ රූප රැජිනියන්ගේ ක්‍රියාකලාපයන් ගැන එතරම් පිළිගැනීමක් ඇතැයි සිතිය නොහැකිය. එහෙත් බටහිර ඌරුවෙන් ලැබී ඇති ආභාසය මත මෙමගින්ද යම් සේවයක් බලාපොරොත්තු විය හැකි බව සත්‍යයකි. කැරොලින් ජූරි තම ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ ළමා සුබසිද්ධිය වෙනුවෙන් ඇය කැපවෙන බවය. සෑම උපායමාර්ගයක්ම ජනතා සේවය සඳහා යොදා ගැනීම ප්‍රඥාවන්තයන්ගේ සිරිතය. සේවයට එකම මග දේශපාලන ක්ෂේත්‍රය පමණකැයි සිතන්නෝ මුග්ධයෝ ය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : චතුර එස්. කොඩිකාර
සහ අන්තර්ජාලයෙනි