මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම ආරම්භ වන්නේ අද දිනයේය. ඒ කියන්නේ 2019 ජනාධිපතිවරණයේ පළමු කොටස අද දවසේ ආරම්භ වෙනවා කියන එකය. 2015 ජනාධිපතිවරණයේ අතීතය දෙස බැලීමෙන් පෙනී යන්නේ මේ දවස ඉතාමත් වැදගත් දිනයක් බවය. ඒ ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය සේවයේ සමහරුන් එවකට පැවැති ආණ්ඩුව පිළිබඳව විවේචනයක් තිබෙන බව මුලින්ම පෙන්නුම් කළේ ඒ 2015 තැපැල් ඡන්දය දවසේ බව සමහරුන්ට තවමත් මතකය.

ඒ අතින් රටේ ජනමතයේ දිසානතිය තීරණය කරන්නේ තැපැල් ඡන්දයෙන් යැයි සිතීමේ වැරැද්දක් නැත. ඒ ආකාරයෙන්ම මෙවරත් තැපල් ඡන්දයේ දිසානතිය රටේ බලය යන පැත්ත ගැන අදහසක් පෙන්නුම් කරන බව පැවසීමේ වැරැද්දක් නැත.

සාමාන්‍යයෙන් මේ රටේ තැපැල් ඡන්දදායකයා කියන්නේ රාජ්‍ය සේවයට සම්බන්ධ අයකු වන නිසා සමහරුන් සිතන්නේ තැපැල් ඡන්දය තීරණය වන්නේ තනිකරම රාජ්‍ය සේවකයාට ‘ලැබෙන දේ’ අනුව බවයි. එහෙත් මගේ තේරුම් ගැනීම වන්නේ මේ අදහස අර්ධ වශයෙන් සත්‍යයක් මිස සම්පූර්ණ සත්‍යයක් නොවන බවයි. රාජ්‍ය සේවකයාගේ ඡන්දය සඳහා ඒ ඒ ක්ෂේත්‍රවලට සම්බන්ධ වැටුප් වැඩිවීම් හා තමන්ට ලැබෙන වාසි සහගත දේවල් කවරේ ද යන කාරණා වැදගත් බව සැබෑවක් වුවත් රාජ්‍ය සේවයේ සිටින බහුතරයේ මතය තීරණය වන්නේ තවත් වැදගත් කොන්දේසියක් මත බව මගේ අදහසයි. ඒ කොන්දේසිය වන්නේ ඒ ඒ කාලයට සාපේක්ෂකව රටේ ‘මහ දේශපාලනයේ’ තිබෙන තත්ත්වයන්ට ප්‍රතිචාර ලෙසින් ඡන්දය පාවිච්චි කරන බවයි. මහා දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවන් සහ ඒ ඒ ගැටලු සඳහා ප්‍රධාන ධාරාවේ දේශපාලකයන් විසින් ඉදිරිපත් කරනු ලබන විසඳුම් යන දේවල් මේ ඡන්දදායකයන්ගේ කැමැත්ත හෝ අකැමැත්ත ගොඩනැඟීම කෙරෙහි විශාල බලපෑමක් තිබෙන බව ඒ මගින් පැහැදිලි වෙන කාරණයය.

රාජ්‍ය සේවකයාගේ රැකියාව සම්බන්ධව ගත් විට වැදගත් වන සමහර කරුණු මේ දිනවල පුවත්පත් දැන්වීම්වල බහුල වශයෙන් දකින්නට ලැබෙන්නේ මේ කාරණය නිසාය. රාජ්‍ය සේවකයාට ‘ලැබෙන දේ’ පිළිබඳව හුදකලා අර්ථයෙන් සිදුකරන කතාබහ මේ දිනවල විශාල වශයෙන් මතුවෙමින් තිබෙන නිසා ඒ පිළිබඳව මූලික වශයෙන්ම යමක් සඳහන් කිරීම ඉතාමත් වැදගත්ය. රාජ්‍ය සේවකයාගේ වැටුප වැඩි කිරීම වැනි දේවල් සමාජයේ සාකච්ඡාවට භාජන වන්නේ හුදු අතට ලැබෙන මුදල් ප්‍රමාණය ගැන මත පමණක් අවධානය යොමු කිරීමෙන් නොව ඒ මුදල මගින් ඉටුකර ගත හැකි සේවාව ප්‍රමාණය අඩුවී තිබේ ද වැඩිවී තිබේ ද යන කාරණය සමග සම්බන්ධ කරගනිමින් බව මගේ අදහසය.

ඩොලරයට සාපේක්ෂව රටේ මුදලේ අවප්‍රමාණය වීම හා උපයන විට ගෙවන්නට තිබෙන සමහර බදු නිසා රජයේ සේවකයකුගේ වැටුපේ සිදුවන වැඩිවීමක් වුවත් සැබෑ මූල්‍ය වටිනාකමක් ලෙසින් සැලකිය නොහැකි බව මෙහිදී අපගේ අවධානයට ගත යුතු ප්‍රධානම කාරණයක්ය. විශේෂයෙන්ම 2015 පසු කාලයේ රජයේ සේවකයන් සම්බන්ධව ගත්විට මේ තත්ත්වය ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කරන බව මගේ අදහසය. සාපේක්ෂ වශයෙන් වැටුප් වැඩිවීමක් පෙන්නුම් කළත් ඒ වැටුපෙන් ‘කළ හැකි දේවල්වල’ ප්‍රමාණය බරපතළ ආකාරයෙන් අඩුවී හෝ හැකිලී තිබෙන්නේ ඉහතින් සඳහන් කළ මුදලේ ක්ෂය වටිනාකම බරපතළ ආකාරයෙන් අඩුවී ඇති නිසාය.
මේ මුදල් ලැබුණාට එහි ඇති වටිනාකම කඩාවැටීම ඍජුවම සම්බන්ධ වන්නේ මා මෙහි මුලින් කියූ ආකාරයේ රටේ ‘මහ දේශපාලනයේ’ තිබෙන ප්‍රශ්න සමඟය. වෙනත් ලෙසකින් පැවසුවොත් මෙය තේරුම් ගත යුත්තේ හුදු වැටුප වැඩිකිරීම අර්ථවත් දෙයක් බවට පත්වන්නේ ඒ රටේ මුදලේ වටිනාකම් යම් තරමකින් හෝ ස්ථාවර හා ශක්තිමත් පදනමක හෝ පැවතුණොත් පමණක් බවය. අතට ලැබෙන කොළ ගණන වැඩි වූවාට එය මගින් කළ හැකි දේවල් අඩුවීම මගින් පෙන්නා දෙන්නේ මේ සරල සත්‍යයය.

2015 සිට මේ රටේ ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සමහර දේවල් රාජ්‍ය සේවකයාගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ද පඩිපතට කෙළින්ම සම්බන්ධ වන බව මෙහිදී තේරුම් ගත යුතු ප්‍රධාන කාරණයක්ය. මහ බැංකු මූල්‍ය වංචාව හෙවත් බැඳුම්කර මගඩිය මගින් අපේ රටේ ආර්ථිකයට සිදුකරන ලද දැවැන්ත බලපෑම රටේ සම්පූර්ණ ආර්ථිකයම හිරිවට්ටා ඇති බව මෙහිදී පිළිගත යුතුම කාරණයක් බව මගේ අදහසය. එහි ඇති බලපෑම වර්තමානයේ පමණක් නොව අනාගතයේ ආර්ථිකමය තීන්දු තීරණ කෙරෙහිත් තදින් බලපාන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයය. සමහර වාර්තා මගින් කියැවෙන්නේ බැඳුම්කර මගඩියේ ඍජු හා වක්‍ර බලපෑම ආසන්න වශයෙන් අතිවිශාල එකක් බවයි. ඒ කියන්නේ බැඳුම්කර මගඩිය නිසා රටේ පොලී අනුපාතය සියයට 3 ක් පමණ ඉහළ යන බවයි. උදාහරණයක් වශයෙන් මේ තත්ත්වය 2015 මේ රටේ තිබූ විදේශ ණය මුදල වූ රුපියල් බිලියන 4200 සමඟ සංසන්දනය කළහොත් මේ සිද්ධිය නිසාම ගෙවිය යුතු අමතර මුදල පමණක් රුපියල් බිලියන 126 (4200x3%) පමණ වන බවයි. මේ තත්ත්වය අනෙක් ක්ෂේත්‍රවලටත් ගණනය කළ පසුව සමහරුන් කියන්නේ මහ බැංකු මගඩිය විසින් මෙරට ආර්ථිකයට සිදුකරන ලද බලපෑම මෙතෙක් සිදුවූ බරපතළම බලපෑම බවයි. මේ බලපෑමේ ස්වභාවය විසින් රාජ්‍ය සේවයට සිදුකරනු ලැබූ ආතතිය සෑම පැත්තකින්ම පෙන්නුම් කරන බව පැවසීම ඉතාමත් නිවැරැදිය.

තවත් පැත්තකින් ඩොලරයකට සාපේක්ෂකව රුපියලේ අගය වසර 2015 තිබුණේ (රුපියල්) 132 වන අතර එය 2019 වනවිට (රුපියල්) 182 දක්වා වර්ධනය වීම මගින් පෙන්නුම් කරන්නේ ද වැටුප් වර්ධකයන් හුදු ඉලක්කම් විජ්ජාවන් බවට පත්වී රටේ ජනතාවගේ ආර්ථික ශක්‍යතාව ඍණ අඩු වී ඇති බවයි. එසේම විවිධ ආකාරයේ බදුවලින් පිරීගිය ආර්ථික කළමනාකරණය මේ තත්ත්වය තවදුරටත් උත්සන්න කර ඇති බව මේ වනවිට නොපිළිගන්නා කෙනෙක් නැති ගානය. මේ වනවිට බදු ගහන්නේ නැත්තේ මොනවාටදැයි දන්නා කෙනකු නැති ගානට වැඩේ සංකීර්ණ වී ඇති බව ඉතාමත් පැහැදිලිය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප පිළිබඳව මතුවී ඇති තත්ත්වය මෙයටම සම්බන්ධ තවත් කාරණයක් බව මගේ අදහසය. විශ්‍රාම වැටුපට අත තැබූ ආණ්ඩුවක් පඩි පත කියන දේවල් එතරම් වැදගත්කමක් ඇතැයි සමහරුන් සිතන්නේ නැතත් මේ කාරණය අවධානයට ගැනීම ඉතාමත් අවශ්‍ය බව මගේ මතයය.  

රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධයෙන් තිබූ සමහර ගැටලුකාරී තත්ත්වයන් සමහන් කර තිබූ එක් ක්‍රමවේදයක් වූයේ අතිකාල දීමනා හරහා ඒ තත්ත්වය කළමනාකරණය කිරීමය. ඒ තත්ත්වය සම්පූර්ණ වශයෙන්ම මේ වනවිට අර්බුදයට යවා ඇති බව බොහෝ රාජ්‍ය ආයතන තුළින් මතුවෙන විවේචනයක්ය. අතිකාල දීමනා මගින් සමහන් කිරීම මේ රටේ ආර්ථිකයේ විශේෂ වර්ධනයක් කෙරෙහි බලපෑමක් නොදැක්වුවත් ඒ මගින් විසඳී තිබූ සමහර සේවක ගැටලු යළිත් වරක් බරපතළ ආකාරයෙන් වර්ධනය වී ඇති බව පිළිගැනීම මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක්ය.

තවත් පැත්තකින් රාජ්‍ය සේවය සම්බන්ධව අලුත් කියවා ගැනීමක් මතුවූ කාලයක් ලෙසින් 2015 පසු කාලය හැඳින්විය හැකි බව මගේ මතයය. මා එසේ කියන්නේ මේ කාලයේ පෙන්නුම් කළ සමහර දේශපාලනමය වූ පහරදීම් තුළට රාජ්‍ය නිලධාරීන් ඈඳා ගත් අවස්ථා රාශියක් තිබුණු නිසාය. කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් සිදු කරන ලද සමහර සංවර්ධන ක්‍රියාමාර්ග පවා මේ ආණ්ඩුවේ මූල්‍ය විමර්ශන අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්වූ බව නොදන්නා නිලධාරියකු නැති ගාණය. මේවා ප්‍රශ්න කිරීම් පමණක් නොව සමහර වැදගත් නිලධාරීන්ගේ සම්පූර්ණ ජීවිතයම අර්බුදයට යැවීමට හේතු වූ බව ප්‍රසිද්ධ කාරණයක්ය. පසුගිය වසර පහ තුළ සංවර්ධන වැඩ කටයුතු මන්දගාමීව ගියා යැයි මතුවන චෝදනාවට හේතුව වන්නේ මේ කියන විමර්ශන කටයුතුය. මේ කාලයේ ප්‍රසිද්ධ වචනයකින් කිවහොත් මේ ආණ්ඩුව තිබූ ‘විමර්ශන ගාය’ නිමාවට පත්වූයේ ඒ විමර්ශන පටන්ගත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පති යන දෙදෙනාවත් රිමාන්ඩ් භාරයට ගැනීමෙන්ය. මේ තත්ත්වය තුළ රාජ්‍යයේ තීරණවල වගකීම ගැනීමට කවුරුත් මැලිවන ගාණට තත්ත්වය වර්ධනය වූ බව පෙනී ගිය කාරණයක්ය.

මේ සටහනේ සාරාංශය ලෙසින් මතු කළ යුතු කාරණය වන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම යැයි කියන්නේ වර්ධක කීපයක් වැටුපට එක් කර ඒ ගණනට වඩා වැඩි බදු මුදලක් රාජ්‍ය සේවකයාගෙන් අයකර ගන්නා ආකෘතියකට නොව බව පැවසීමය. තවත් පැත්තකින් රාජ්‍ය සේවය ශක්තිමත් කළ හැක්කේ දේශපාලනමය වූ දඬු අඩුවේ පළිගැනීමට ලක්වෙන පුද්ගලයකු බවට රාජ්‍ය සේවකයා පත් කිරීම වැළැක්වීමෙන් බව පැහැදිලි කිරීමය. එසේම මේ සටහනේ අරමුණ වූයේ ශක්තිමත් රාජ්‍ය සේවයක පැවැත්ම තීරණය වන්නේ පළල් දේශපාලන භූමිකාවක ඒ ඒ රජයන් දක්වන සමත්කම් මත මිස හුදු වැටුප් වර්ධක මත නොවන බව පැහැදිලි කිරීමටය.

එවන් රාජ්‍ය සේවයක් සඳහා කැපවීම අප හැමගේම යුතුකම බව මේ මොහොතේ දේශපාලනයේ සටන්පාඨයක් විය යුතු බව මගේ අදහසය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්