නිදහස් ශ්‍රී ලංකාවේ පළමු රාජාසන කතා උළෙලින්... 

02 කොටස

 

එක්සත් රාජධානියේ මගේ ආණ්ඩුවේ සහාය ඇතිව නීත්‍යනුකූල සාමකාමී ක්‍රම මගින් ලංකාවට ස්වකීය නිදහස ලබා ගැනීමට හැකි වීම අපගේ මහත් වූ සතුටට හේතුවකි. මේ කාරණය ලංකාවේ සිටින මගේ ජනතාවගේ අනාගතය පිළිබඳ සුබ ලකුණක් ද වන්නේය. ස්වකීය සාඵල්‍යය ගැන ලංකාවේ සිටින මගේ ජනතාවට මා ස්තූති කරන අතරම අනාගතය පිළිබඳව මගේ හෘදයාංගම සුභාෂිංසනය ද ඔවුන් වෙත පිරිනමමි. 


නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ මේ සභාවාරයේදී ලබන ආදායම් වර්ෂයේ අය වැය ලේඛනය තමුන්නාන්සේලා ඉදිරියේ තැබූ විට දිවයිනේ ආණ්ඩුවේ කටයුතු සඳහා මුදල් වෙන්කරන ලෙස තමුන්නාන්සේලාගෙන් ඉල්ලනවා ඇත. සෙනෙට් මන්ත්‍රීවරුනි, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුනි. 
ලංකාව කෙරෙහි මගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ගැනත් මේ වාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ව්‍යවස්ථා පැනවීම පිළිබඳව කටයුතු ගැන දීර්ග විස්තරයක් කිරීමට මම වෙහෙස නොවෙමි. රට වැසියන්ගේ තත්ත්වය නොයෙක් අතින් දියුණු කිරීමේත් වර්තමාන ආණ්ඩුවේ දෙපාර්තමේන්තු හා අනෙකුත් අංශ දියුණු කිරීමේත් යෝජනා ක්‍රම මගේ ආණ්ඩුව විසින් ඉදිරියටම මෙහෙයෙවනවා ඇත. ලංකාවට ඩොමිනියන් තත්ත්වයක් ලැබීමත් සමග ලැබෙන ප්‍රයෝජන මෙන්ම වගකීම් භාරය  භාර ගැනීමට එය සූදානම්ය. රටේ සමෘද්ධිමත් බව වැඩිදියුණු කිරීමෙන්ද, රටවැසියන්ට දැනට වඩා මනෝඥ ජීවන රටාවක් හැකි සෑම අතින්ම ලබා දීමෙන් ද යන විශාලතම ප්‍රයෝජනය ලබා ගැනීමට මගේ ආණ්ඩුව අදහස් කරයි.


මනෝඥවුත්, සාමකාමීවුත් පාලනයක් පැවැත්වීමෙන් ද සාමය සහ සියලු ජාතීන්ගේම ප්‍රගතිය සඳහා ප්‍රයත්න දැරීමෙන් ද මගේ ආණ්ඩුව කෙරෙහි පැවරෙන අභිනව වගකීම භාර ගැනීමට එය සූදානම්ය. මගේ ආණ්ඩුවේ විවිධ කටයුතු ඉටු කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා සහ නීතිරීති ඊට අවස්ථාව පැමිණෙන අයුරින් තමුන්නාන්සේලා ඉදිරියේ තබනවා ඇත.
මේ සියලුම කරුණු තමුන්නාන්සේලාගේ සුපරීක්ෂාකාරී අවධානයට භාජනය කරන ලෙස ඉල්ලා සිටින අතර ඒ පිළිබඳව නිගමනය කිරීමේදී තමුන්නාන්සේලාට දෙවියන් වහන්සේගේ මාර්ග දේශකත්වය ලැබේවායි ද මම ප්‍රාර්ථනය කරමි. අනතුරුව නැගී සිටියේ නියෝජිත මන්ත්‍රී මණ්ලඩලයේ සභානායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාය. එතුමා සභාව අමතමින් මෙසේ පැවසීය. 


ආදිපාදතුමනි, ඔබ තුමා විසින් පාර්ලිමේන්තුව විවෘත කරමින් කළ කථාවට පිළිතුරු වශයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් කථාවක් පැවැත්වීමට මට අවකාශය ලැබීම ගෞරවයක් කොට සලකමි. මෙම අවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරයක් විවෘත වෙනවා. පමණක් නොව අප රටේ දීර්ඝ ඉතිහාසයෙහි අතිශයින් වැදගත් සිද්ධියක් ගෙන හැර දැක්වෙන්නේය. අපි යළිත් නිදහස්ව සිටින්නෙමු. කිසිම මනුෂ්‍ය වර්ගයකට අතීතය අනුස්මරණයෙන්ම කාලය ගත කළ නොහැකි බව සත්‍යයකි. ඔවුන්ගේ ඉතිහාසයෙන් බොහෝ විට ශක්තිය හා ධෛර්යය ද උපද වන බවත් එවැනිම වු සත්‍යයකි. වර්තමානය සහ අනාගතය නිවැරදි අයුරින් බැලිය හැක්කේ අතීතය පදනම් කොට ගැනීමෙන් පමණකි. 
ලෝකයේ බොහෝ බල සම්පන්න ජාතීන් සමග සසඳා බැලීමේදී අප හුදෙක් කුඩා රටක වාසය කරන කුඩා ජාතියක් වන නමුදු මනුෂ්‍ය වර්ගයාගේ ක්‍රියාකාරීත්වය පොලඹවන උසස්ම ගති ගුණයක් වන වීර භාවය, පෞරුෂය, ශ්‍රද්ධාව, ආත්ම පරිත්‍යාගය සහ සේවය පිළිබඳ උදාහරණයන්ගෙන් අපේ ඉතිහාසය නොඅඩුව පවතින්නේය. අප ඉදිරියේ ඇති අන්ධකාර වුත්, දුෂ්කරවුත් කාල පරිච්ඡේදය ජයගෙන පෙරටම යාමට නම් මේ සියල්ල අපට අවශ්‍යයි. වහල් බවේ ගැලී සිටි දීර්ඝ නිද්‍රාවකින් පසුව අප යළිත් නිදහස් ජීවිතයට පිවිසෙන්නවෝ වෙමු. අප්‍රසන්නකමකින්වත් සටනක්වත් දැඩි වෙහෙසක්වක් නැතිව අපි නිදහස ලබා ගත්තෙමු. එම සාඵල්‍යය අත්කර ගැනීමෙහිලා වෙහෙස මහන්සියෙන් ඉවසිල්ලෙන් ද දේශපාලන කාර්ය ශූරත්වයෙන් ද ක්‍රියාකළ අභීත සහ වර්තමාන ජාතික හිතෛෂි නායකයන් මේ අවස්ථාවේදී කෘතඥතා පූර්වකව අනුස්මරණය කිරීම අතිශයින්ම උචිතය. එමෙන්ම අවස්ථාවෝචිත එක තවත් කරුණක් නම් තම කැමැත්තෙන්ම බලය පවරා දීමෙන් තම තත්ත්වය ගැන සතුටු නොවී සිටි වැසියන් සාමාන්‍ය මිත්‍රයන් බවට පත් කිරීමෙහිලා බි්‍රතාන්‍ය මිනිසුන් පෙලබවු සාධාරණත්වය හා යුක්තිගරුක බව ද දුරදක්නා නුවණ ද කරුණු දෙස ඇති සැටියෙන් බැලීමේ දක්ෂ භාවය ද යන මේ ගුණාංග අපේ ගෞරව පූර්වකව සැලකිල්ලකට භාජනය කිරීමයි. 


අන්‍ය කරුණක් සම්බන්ධයෙන් නොයෙල් මේකර් මහතා කථාවක් පවත්වමින් පාවිච්චි කළ අලංකාර වචන වලින් කියතොත් මෙය මනුෂ්‍ය සංහතියට දුන් සහනයකැයි පැකිළීමකින් තොරව කීමට පුළුවන. අධිරාජ්‍ය බලය පාවාදීමේ දුර්වලකමක් ගැන බි්‍රතාන්‍යයට දෝෂාරෝපණය කරන ඇතැම් අයද වෙති. එහෙත් මෙය දුර්වලකමක් නම් ඒ දුර්වලකම සාමය පැවැත්වීමට තරම් ‘ශක්තිමත් දුර්වලකමක්’ බව මම නිර්භයව කියමි. 


ශිෂ්ටාචාරයේ ආලෝක ධාරාවන් එකක් එකක් පාසා ශීග්‍රව නිවී යන මේ අන්ධකාරයේ කලබල සමයේ අපට බලාපොරොත්තු ඇති කරගත හැකි එකම ක්‍රමය නම් සාධාරණ බව සහ සමානාත්මකතාව යන ගුණාංග පාදක කොට ගත් සහයෝගිතාවක් සහ මනුෂ්‍යත්වයක් පිහිටුවීමයි. 


ඒ නිසා අපේ යුතුකම ඇත්තේ අපේ නිදහස ආඩම්බරයෙන් යුතුව භාරගැනීම නොව නිහතමානී බවෙන් හා ස්ථිර අධිෂ්ඨානයෙන් ද යුක්තව බාර ගැනීමයි. 
අපේ නිදහස හුදු සූත්‍රයක්ව පවතින්නට අප ඉඩ නොදිය යුතුය. ඒ නිදහස මගින් මහජනයාට දැනට වඩා මනෝඥවුත් ප්‍රිීති දායක වුත් ජීවිතයත් ඇතිවන බවට වගබලා ගැනීම අපේ යුතුකම වන්නේය. දේශපාලන නිදහස ජීවමාන දෙයක් වන්නේ දිළිඳුකම රෝග පීඩාදිය නූගත්කම සහ භය යන මේවායින්ද නිදහස ලැබුණහොත් පමණකි. එපමණක් ද නොවේ. මෙකී නිදහස හැම පුද්ගලයෙකුටම ලැබෙන බව නියත වීම පිණිස දැනට නිවීගෙන යන ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකයට අප පවන් ගැසිය යුතුය. ලොව සෙසු ජාතීන් සමග වඩා මිත්‍රත්වය හා සම්බන්ධතාවක් ඇති කරගෙන ජාත්‍යන්තර මණ්ඩලයන්හි අපෙන් සිදුවිය යුතු වැඩ කොටස අප විසින් නොවළහා ඉටුකළ යුත්තෝ වෙමු. එසේ කිරීමෙන් සමස්ත මනුෂ්‍ය සංහතියෙන් සාමිකාමී සමෘද්ධියක් උදෙසා අපේ සම්පූර්ණ යුතුකම ඉටුකිරීම අපට භාර වී ඇත. 


නිදහස් ලංකාවට අනාගතයේදී මුහුණ පාන්නට වන මහා කාර්යයන් වන්නේ මේවාය. අප සියලු දෙනාම අපේ මුළු ශක්තිය මෙහෙයවා නුවණින් ද භක්තියෙන් ද කාර්ය ශූරත්වයෙන් ද යුක්තව උත්සාහ දරන්නේත් එම කාර්යභාරය සඵලවත් කර ගැනීම පිණිසය.” 


අනතුරුව උත්තර මන්ත්‍රී මණ්ඩලයේ (සෙනෙට් සභාවේ) සභානායක සර් ඔලිවර් ගුණතිලක මහතා තම සභාවේ ස්තූති කථාව පවත්වමින් මෙසේ පැවසු බව ලංකාදීප පත්‍රය වාර්තා කළේය. පැරණි සිංහල රාජ වංශයේ වැටීමෙන් අවුරුදු එකසිය තිස් පහකට පසුව අප බටහිර අර්ධගෝලයේ මිනිසුන් සමග සම්බන්ධව අවුරුදු පන්සියයකට කිට්ටු කාල සීමාවකට පසු දැන් අපට නිදහස ලැබී තිබේ යැයි ද ලංකාව දැන් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ නිදහස් ජාතීන්ගේ සමාගමෙහි සාමාජිකයෙකු බවට පත්ව ඇතැයිද පැවසීය. 
ලාංකිකයන් විවිධ ජාතීන්ට අයත් වූ විවිධ ආගම් අදහන පිරිසක් වුවද ඔවුන් අතර සුළු ජාතීන් සහ මහා ජාතිය සිටින නමුදු අනාගතයේදී ඔවුන් එකම ජාතියක් මෙන් වාසය කරනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 


ග්ලෝස්ටර්හි ආදිපාදතුමා ජාතියේ මතකයෙන් ඈත් නොවන මිත්‍රයෙකැයි පැවසු ඔහු මීට දහ හතර වසරකට පෙර සිය මහරජතුමාණන් වහන්සේ වෙනුවෙන් එතුමා විසින් ගෙන අවුත් භාරදෙන ලද සිංහල රජුන්ගේ සිංහාසයනයක්, එහි රජ කිරුළත් මෙම රැස්වීම් ශාලාව තුළ පෙ÷්‍රෟඪ ලෙස ප්‍රදර්ශනය කර ඇතැයි ද ලංකාවේ මෑත ඉතිහාසය එමගින් නිරූපණය වන බවද සර් ඔලිවර් ගුණතිලක මහතා පැවසීය. 


නිදහසෙන් පසුව පැවැත්වුණු ප්‍රථම රාජාසන කථාව පැවැත්වීමේ උළෙල එතෙනින් නිමාවට පත් වු අතර පසුව ගාලු මුවදොර පිටියේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී රැස් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත්, කොළඹ කොටුවේ සෙනෙට් මන්දිරයේ රැස් වූ උත්තර මන්ත්‍රී මණ්ඩලයත් දීර්ඝ විවාද පවත්වා මෙම ස්තූති යෝජනා සම්මත කරන ලදි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි