යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

05 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

 

LTTE ය වන්නි කැලය තුළ නැවත සන්නද්ධ වෙමින් සිටිය දී එක්දහස් නමසිය අනූහය වසරේ ජූලි 18 වැනි දින මුලතිව් කඳවුර විශාල අවි ආයුධ ප්‍රමාණයක් ද සහිතව ඔවුන් විසින් යටත් කර ගනු ලැබීය. එම ප්‍රහාරය LTTE ය විසින් නම් කර තිබුණේ නොනවතින රැල්ල 1 (Unceasing Waves I) වශයෙනි. රාත්‍රී 1.00ට පමණ ඇරැඹි එම LTTE ප්‍රහාරයෙන් විනාඩි 20කට පසුව කඳවුරේ ඉදිරි ආරක්ෂක වළල්ලෙන් සම්පූර්ණයෙන්ම හමුදාව පසුබැස්සේය. උදෑසන 8 පමණ වන විට කඳවුර සම්පූර්ණයෙන්ම LTTE ය සතු වී තිබුණ අතර කඳවුරේ සිටි සෙබලු 1400ක ගේ පමණ ජීවිත අහිමි විය. ජීවිත ආරක්ෂා කර ගැනීමට සමත් වූයේ සටන් පවතින අතරතුර වනයේ අතරමං වූ සෙබළු 30කට ආසන්න පිරිසක් පමණි.

 

කඳවුරට ප්‍රහාර එල්ලවීමට දින කිහිපයකට පෙර එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හට කොබ්බෑකඩුව කොමිසම හමුවේ සාක්ෂි දීමට කොළඹට පැමිණීමට සිදුවිය. මේ පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහුගේ සේනාංකයේ ප්‍රධානි මේජර් ජනරාල් වසන්ත පෙරේරාගේ නියමය වූයේ ඒ වන විට නිවාඩු ලබා සිටි කඳවුරේ දෙවැනි ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න නැවත කැඳවා කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දුට කොබ්බෑකඩුව කොමිසම වෙත යන ලෙසය. එහෙත් එම නියමය පිළිනොගෙනම කර්නල් ප්‍රනාන්දු මුලතිව් කඳවුරෙන් පිට ව ගියේය. මේ අනුව කඳවුරට ප්‍රහාරය එල්ල වී තම හමුදා බලසේනාංකයේ සෙබලු 1400ක් දෙනා අසරණ ලෙස මිය යද්දී මුලතිව් කඳවුරෙහි ප්‍රධාන නිලධාරීන් දෙදෙනාම තම නිවෙස්වල සිටියෝය. එහෙත් කඳවුර LTTE  ය සතුවීමෙන් පසුව නැවත ශ්‍රී ලංකා හමුදාව එම ප්‍රදේශයට ළඟාවූ අතර (Reinforcement)  ඒ සමග එම නිලධාරීන් දෙදෙනා ද ගුවන් මගින් කඳවුරට පැමිණියහ. එහෙත් පසුදින රෝගී තත්ත්වයක් වාර්තා කරමින් ඔවුහු නැවතත් හෙලිකොප්ටරයක ආධාරයෙන් කඳවුරෙන් පිටව ගියහ. 


ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ LTTE ය ඉදිරියෙහි ලද ප්‍රථම දරුණුතම පරාජය වූ මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්ෂි දුන් කර්නල් ප්‍රනාන්දු හා මේජර් ගුණරත්න, කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූයේ දෙමළ හමුදා නිලධාරියකු බවත් ඔහුගේ ක්‍රියාකාරිත්වය සමස්ත කඳවුරටම තර්ජනයක් වූ බවත් ප්‍රකාශ කළේය. එසේ නම් තමන් යටතේ වූ සෙබළු 1400කගේ ජීවිත අනතුරේ බව දැන සිටිය දීත් මෙම නිලධාරීන් සුදුසු පියවරක් ගෙන නොතිබිණි. තවද කර්නල් ප්‍රනාන්දු කොබ්බෑකඩුව කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට එහි ගිය විට කොමිසම කල් දමා ඇති බව ඔහුට දැන ගන්නට ලැබුණත් කර්නල්වරයා නැවත මුලතිව් කඳවුරට වාර්තා නොකළේය. මේ අතර දෛවයේ සරදමකට මෙන් එදා තම ජීවිතය රැක ගැනීමට වාසනාවන්ත වූ උඵී ගුණරත්න, 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි රළපහරින් තම දොළොස් හැවිරිදි පුතා ද සමග අවාසනාවන්ත ලෙස මරණයට පත් විය. ඒ වන විට ඔහු කල්කුඩා ප්‍රදේශයේ බළසේනා ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය.


ඛඔඔෑ ය මුලතිව් කඳවුරට එල්ල කළ ප්‍රහාරයෙන්, අවුරුදු 10ක පමණ කලක සිට ක්‍රමිකව ගොඩ නැගුණු එම කඳවුරෙහි වූ රුපියල් කෝටි 30 (විමර්ශන අධිකරණ වාර්තාවට අනුව) කට වඩා වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ ප්‍රමාණයක් ඛඔඔෑ ය සතු විය. එම භාණ්ඩ අතර සෙබළු 1400 කට අයත් ඔවුන්ගේ පෞද්ගලික ගිනි අවි, පෞද්ගලික බඩු බාහිරාදිය සමග සුළු, මධ්‍යම හා බර පංතියේ ස්වයංක්‍රීය අවි ආයුධ රාශියක් සමග 122පප ආටිලරි අවි 2 ක්, 120පප ආටිලරි අවි 2ක් හා ඊට අවශ්‍ය 122පප වෙඩි උණ්ඩ 610 ක්, 120පප වෙඩි උණ්ඩ 377 ක් ද ඛඔඔෑ ය සතු විය. මීට අමතරව මෝටාර් අවි 60 ක්, ප්‍රබල සන්නිවේදන උපකරණ කට්ටල 200 ක්, විවිධ වර්ගවලට අයත් වාහන 35ක් හා එවැනි ම විශාල වටිනාකමකින් යුත් බඩු බාහිරාදිය ප්‍රමාණයක් ද ඒ අතර විය. මුලතිව් කඳවුරෙහි අවසන් ඉරණම ඒ ආකාර වුවත් කඳවුර මෙම ඉරණමට මුහුණ පෑමට මාස කිහිපයක සිටම ඒ වටා ගොඩනැගී තිබූ භුමි යථාර්ථය ද සිදු වූ ඛේදවාචකය සාධාරණීකරණය කරවයි. එනම් රිවිරැස ක්‍රියාන්විතයට මුහුණ දිය නොහැකිව උපක්‍රමිකව වන්නියට පසු බැස ආ සියලු LTTE සාමාජිකයන් දහස් ගණනක් වන්නි කැලයේ එක් රැස්වී සිටියදී ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් 1400 ක් එම ඛඔඔෑ ය අභිමුඛ වනයේ හුදකලාව සිටීම යුද උපක්‍රමික දෘෂ්ටිකෝණයෙන් කොතරම් අවදානම් සහගතද? සත්‍ය වශයෙන්ම මුලතිව් කඳවුර මුහුණ දී තිබූ මෙම අවදානම් සහගත යථාර්ථය හමුදාවේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුණු අතර එම කඳවුර ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවද පෙන්වාදී තිබිණි. ඒ සඳහා අවශ්‍ය තරම් කාලයක්ද තිබිණ. එහෙත් අවාසනාවකට මෙන් මෙම අවශ්‍යම යුදමය තීරණය ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවීය.


කෙසේ වෙතත් මුලතිව් ප්‍රහාරය අනාගතයේදී ඛඔඔෑ යෙන් එල්ල විය හැකි ප්‍රහාරයක ප්‍රබලතාව පෙන්නුම් කළ පෙර නිමිත්තක් බඳු විය. තව ද එය ශ්‍රී ලංකා හමුදාව අර්ධද්වීපයෙන් පහළ ක්‍රියාත්මක කරන්නට යෙදුන ජන සිකුරු ක්‍රියාන්විතයේ අනාරක්ෂිත බව පෙන්නුම් කළ සංසිද්ධියක් ද විය. ඒ සමගම පරාජිත මානසිකත්වයකින් වන්නි කැලයට කොටු වී සිටි LTTE සාමාජිකයන් ලද මනෝ විද්‍යාත්මක උත්තේජනයක් හා ජයග්‍රහණයක්ද විය.


යාපන අර්ධද්වීපය LTTE යෙන් මුදා ගැනීමට සමගාමීව ශ්‍රී ලංකාවේ බහුතර සිංහල බෞද්ධ ජනතාව තුළ රණකාමී හා ජාතිවාත්සල්‍යය අදහස් වර්ධනය වීමට ඉතා සුදුසු පරිසරයක් ගොඩනැගුණු අතර යුද්ධය යුද්ධයෙන්ම ජයග්‍රහණය කළ යුතු යයි ප්‍රබල ජනමතයක් රට තුළ ගොඩ නැගුණි. මෙම වාතාවරණය තුළ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්ත අසහාය රණකාමී නායකයකු ලෙස පෙරට පැමිණි අතර බහුතර සිංහල ජනතාව ද ඔහු කෙරෙහි විශාල ප්‍රසාදයක් පළ කළහ. හමුදා නිල ඇඳුමින් සැරසී උතුරේ ක්‍රියාන්විත ප්‍රදේශවල හමුදා කඳවුරු, බංකර් තුළ සැරිසරමින් යන රූප රාමු රූපවාහිනී නාළිකා තුළින් දුටු බහුතර සිංහල බෞද්ධ ජනතාව ඔහුගේ කැපවීම තව තවත් අගය කරන්නට විය.


උතුරේ යුද්ධය ශ්‍රී ලංකා හමුදාවට ජයග්‍රහණයන් අත්කර දෙමින් ඉදිරියට ගමන් කරත්ම ඒ මතින් රට තුළ තමන් වෙත හිමි වෙමින් පැවති කීර්තිය හා ප්‍රශංසාව අනාගත ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වීමේ දේශපාලන අරමුණ කරා පරිවර්තනය කිරීමට රත්වත්ත ඇමතිවරයා උත්සාහ කිරීම හෙවත් යුද්ධය දේශපාලනීකරණය කිරීම පසු කාලීනව සිදු වූ හමුදාමය පරාජයන්ට හේතු වූ බව ඔහුට විරුද්ධව රට තුළ ගොඩනැගී ඇති ප්‍රධානතම චෝදනාවකි. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසා බැලීමේ දී එවකට සමාජය පුරා ප්‍රචලිත මතයක් වූයේ 1998 වසරේ පෙබරවාරි 4 වැනිදා සමරන ලද පනස්වන නිදහස් සමරුවට පෙර යාපනය මහනුවර A9 මාර්ගය LTTE ග්‍රහණයෙන් මුදවා විවෘත කර නිදහස් උත්සවය සැමරීමට නියමිතව තිබූ මහනුවර නගරයට යාපනයේ සිට බස් රථයක් ධාවනය කරවීමට රත්වත්ත ඇමතිවරයා නොතිත් අරගලයක යෙදී සිටි බවයි. 


තවද ඊට සමගාමීව නිදහස් උත්සවයට දින කිහිපයකට පෙර එනම් ජනවාරි 25 වැනි දින LTTE ය විසින් දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරය එම උත්සාහයට LTTE යේ  ප්‍රතිචාරය වැනිය. කෙසේ වෙතත් අර්ධද්වීපය සියතට ගැනීමෙන් පසුව අර්ධද්වීපයේ සිට ප්‍රධාන ගොඩබිම වෙත ගොඩබිම් සැපයුම් මාර්ගයක අවශ්‍යතාව දැඩිව මතු වූ නිසා හා මේ වන විට LTTE ය වන්නි කැලයට පසු බැස සිටි නිසා එම ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර A9 මාර්ගය හා වන්නි ප්‍රදේශයLTTE යෙන් නිදහස් කර ගැනීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා රජය හා හමුදාව පාර්ශ්වයෙන් මතු ව තිබිණ.


තත්ත්වය එසේ වුවත් මුලතිව් සිද්ධියෙන් කම්පනයට පත් ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය මෙන්ම හමුදා නායකත්වය ද තමන් රිවිරැසින් ලද යුද ජයග්‍රහණ මුලතිව් සිද්ධිය මගින් අවතක්සේරු වී ඇතැයි උපකල්පනය කළහ. එහි ප්‍රතිඵලය වූයේ කොළඹ පාතාල ලෝකය මෙන් ශ්‍රී ලංකා රජය ද එකට එක කිරීම හෙවත් පළිගැනීමේ ක්‍රියාවක් ලෙස මුලතිව් සිද්ධියෙන් ටික දිනකට පසුව හදිසියේම කිලිනොච්චිය අල්ලා ගැනීම සඳහා සිදු කළ සත්ජය මෙහෙයුමට මුල පිරීමය. ඒ අනුව ශ්‍රී ලංකා යුද ඉතිහාසයේ අදාළ දේශපාලන සහ යුද නායකයන් ගනු ලැබූ අදූරදර්ශීම ක්‍රියාවන්ගෙන් එකක් ලෙස මුලතිව් සිද්ධියට පළිගැනීමක් ලෙස සත්ජය මෙහෙයුම ආරම්භ කිරීම සැලකිය හැක. රිවිරැස ලත් යුද ජයග්‍රහණය හමුවේ හමුදාවේ චිත්ත ධෛර්ය ඉහළ තලයක පැවතියත් ඊට සහභාගි වූ සෙබළුන්ට විවේකයක් අවශ්‍ය විය. අනෙක් අතට යාපනය අර්ධද්වීපය ආරක්ෂා කර ගැනීම ද මේ වන විට ශ්‍රී ලංකා හමුදාවට අලුතින් පැවරුණු රාජකාරියක් බඳු විය. තවද කොළඹ දේශපාලන අධිකාරිය තරුණ අණදෙන නිලධාරීන් සමග පැවැත් වූ සෘජු සබඳතා ද ක්‍රමයෙන් අතහැර දැමූ අතර ත්‍රිවිධ හමුදාවේ සීමිත ඉහළ නිලධාරීන් පිරිසක් සමග පමණක් මිතුරු සමාගම පැවැත්වූහ. එලෙසම රිවිරැස ජයග්‍රහණයෙන් ඔද වැඩුණු ඔවුන් යුද්ධයේ කෲර හා කටුක බව සරලකරණයට ලක් කළ බවක් ද ඉන්පසුව දිස් විය.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.