එතුමා මට මෙසේ යෝජනා කළේය. අපගේ විග්‍රහයට අනුව මැතිවරණ කොට්ඨාසය 160 නැවත වර්ගීකරණයකට ලක්කරමින් පොදු අපේක්ෂකයා නිසැක වශයෙන්ම, වැඩි ඡන්දයෙන් දිනන මැතිවරණ කොට්ඨාස, පොදු අපේක්ෂකයා මධ්‍යස්ථ මට්ටමකින් හෝ ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් දිනන මැතිවරණ කොට්ඨාස හා පොදු අපේක්ෂකයා පරාජයට පත්වීමට නියමිත ආසන නැවත වර්ගීකරණය කරන ලෙසට මගෙන් ඉල්ලා සිටියේය. තවද, ඒ ඒ මැතිවරණ කොට්ඨාසවල දී පොදු අපේක්ෂක වේදිකාවේ කථිකයන් කථා කිරීමේ දී අවධාරණය කළ යුතු වැදගත් කරුණු මොනවාද යන්නත්, එලෙසම පරාජයට පත්වන හා ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවකින් පොදු අපේක්ෂකයා ජයගන්නා මැතිවරණ කොට්ඨාස සඳහා යෙදවිය හැකි උපායමාර්ග මොනවාද? යන්න විග්‍රහ කරන ලෙසටත් වික්‍රමසිංහ මහතා අප වෙත යෝජනා කළේය. ඒ අනුව එතැන් සිට විපක්ෂ නායක කාර්යාලය තුළ රැඳීසිටිමින් අපි එය සැකසීමු.

ඒ අනුව දින කිහිපයකට පසුව මා දිනක් සැන්දෑවක එම නව විග්‍රහය ද වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ඉදිරිපත් කළ අතර අපගේ පළමු ප්‍රධාන විග්‍රහය එහි ද පදනම විය. මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව මලික් සමරවික්‍රම, හර්ෂ ද සිල්වා ද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ද සහභාගී වූහ. ගුණරුවන් ද මම හොඳින් හඳුනන්නෙමි. ඔහු හා මා එකම පාසලේය. පානදුර ශ්‍රී සුමංගල පිරිමි විදුහල අප දෙදෙනාගේම පාසලයි. විශේෂයෙන්ම ආචාර්ය ගුණරුවන් ද මේ වන විට ලැබිය හැකි මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සමීක්ෂණයක් සිදුකරමින් සිටියේය. ජනාධිපතිවරණ සමයේ එළිදැක්වුණු සුප්‍රසිද්ධ කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්ෂණය නම් වූයේ එයයි.


කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අවශ්‍ය පරිදි වික්‍රමසිංහ මහතාගේ අදහස් ද සලකා බලා සැකසූ එම විග්‍රහය අවසානයේ විපක්ෂනායකතුමාගේ ඉල්ලීම වූයේ ප්‍රධාන පළමු විග්‍රහය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජිත සමුළුව ඉදිරියෙහි පෙන්වන ලෙසයි. එමඟින් පක්ෂ ක්‍රියාකාරීන් තුළටත්, එතැන් සිට එම පණිවුඩය රට පුරා ගලායාම තුළත්, පක්ෂය නැවත සක්‍රීය කරගත හැකි වනු ඇතැයි එතුමාගේ අදහස විය. මීට පෙර පළමු දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා විග්‍රහය නැරඹූ දින ද මෙම යෝජනාව මා වෙත ඉදිරිපත් කළේය. ක්‍රියාකාරීන් තුළටත්, එතැන සිට එම පණිවුඩය රට පුරා ගලායාම තුළත්, පක්ෂය නැවත සක්‍රීය කරගත හැකිවනු අතැයි එතුමාගේ අදහස විය. මීට පෙර පළමු දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා විග්‍රහය නැරඹු දින ද මෙම යෝජනාව මා වෙත ඉදිරිපත් කළේය. එහෙත් නැවත වරක් එම යෝජනාවම එතුමා කරද්දී මම මගේ යෝජනාවක් ලෙස කියා සිටියේ ආචාර්ය හර්ෂ ද මෙවැනි සමීක්ෂණ පිළිබඳ දැනුමක් හා උනන්දුවක් ඇත්තකු බැවින් සිරිකොත මූලස්ථානයේ දී පක්ෂ නියෝජිත සමුළුව ඉදිරියේ එය සිදුකිරීම සඳහා විග්‍රහයේ සීඩී පටයක් හර්ෂට ලබාදිය හැකි බවයි. විශේෂයෙන්ම ඒ වන විට ආචාර්ය හර්ෂ තුන් වරක්ම මෙම විග්‍රහය අධ්‍යයනය කර තිබූ බැවින් ඔහුට එය සාර්ථකව කළ හැකි බව මගේ අදහස විය. ඒ අවසරයෙන් ආචාර්ය හර්ෂට මා සීඩී පටයක් ලබාදෙමින් විපක්ෂ නායකතුමාගේ ඉල්ලීම සැපිරුව ද මා සිරිකොතේදී එය පෙන්වීමට ඉදිරිපත් නොවිමි.


වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙලෙස දිනයේ වැඩි කාලයක් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ ගත කිරීමට මට සිදුවිය. වික්‍රමසිංහ මැතිතුමා වරක් මට මෙසේ කීය. ‘මලිත් ඔයාගේ බොස්ව දිනවන්න නම් එ.ජා.ප. පූර්ණ වශයෙන් අවදිකර සක්‍රීය කළ යුතුයි. ඒ සඳහා මට ඔයාගෙනුත් උදව් ඕන’ මම එතුමාගේ ප්‍රකාශය මහා ගැඹුරක් ඇති ප්‍රකාශයක් ලෙස සිත්හි ධාරණය කර ගතිමි. 2014 පළාත් සභා මැතිවරණ මාලාව වනවිට එ.ජා.ප.යේ ඡන්ද ප්‍රතිශත පැවතියේ 35% කය. එය ඌව ඡන්දයේ දී 42%ක් දක්වා වර්ධනය වූවද සමස්ත රටටම ගැළපූ කල එය තවමත් 35%කි. ඒ අනුව මගේ තක්සේරුව වූයේ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය 52%ක මට්ටමකින්වත් තහවුරු කිරීමට නම් එ.ජා.පයේ පමණක් ඡන්ද ප්‍රතිශතය 40% යන තැනක තිබිය යුතු බවයි. පළාත් සභා මැතිවරණ මාලාවේදී 35%ක පැවැති එ.ජා.ප ඡන්ද ප්‍රතිශතය ජනාධිපතිවරණයේදී නිසැක වශයෙන්ම ඉහළ යන බව සැබෑවකි. සැබවින්ම එය එසේ සිදුවිය යුතුමය. එහෙත් ජනාධිපතිවරණයේදී තරගයට පිවිසෙන්නේ යුද ජයග්‍රහණයේ තනි අයිතිකරුවාද, සංවර්ධනයේ මහා නියමුවාද වැනි ලෙස වූ විරුදාවලීන් කිහිපයකටම හිමිකම් කියන මහින්ද ජනාධිපතිතුමාය. එවිට රටේ දේශපාලනය කෙසේ හැසිරේදැයි ඡන්ද ගණන්කරම බැලිය යුතුය. අනෙක් අතින් මහින්ද ජනාධිපතිතුමා පරාජය කළ නොහැකි, පරාජය නොවන, බිඳහෙළිය නොහැකි මහා දේශපාලන ශෛලමය ප්‍රතිරූපයක් ලෙසට සිංහල බෞද්ධ සමාජයේ කිඳාබැස ගිය මතයකි. විපක්ෂයෙන්ම මා මෙම විග්‍රහය එවකට බැසිල් ඇමැතිතුමා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේ දී පළාත් සභා මැතිවරණයක සිට ජනාධිපතිවරණයක් දක්වා ගමන් කිරීමේ දී ආණ්ඩු පක්ෂයක ඡන්ද ප්‍රතිශතය 4% - 5% කින්ද විපක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 9%-12% කින්ද ඉහළ යන පෙර අත්දැකීම් විස්තර කරන රූපරාමුව විගහ කරද්දී ක්ෂණිකව ඊට ප්‍රතිචාර දැක්වූ බැසිල් ඇමතිතුමා ‘ඔහේ දැනගන්න පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල ඊළඟ ජනාධි පතිවරණයට ගළපන්න හදන්න එපා. මහින්ද ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට යන්නේ රනිල් එක්ක. එතකොට පළාත් සභාවේදී ගත්ත ඡන්ද ටිකවත් රනිල්ට එන්නේ නෑ’ යනුවෙන් මහ හඬින් කියා සිටි ආකාරය මගේ දෙසවන් තුළ තවම රැව්දෙයි. 


මෙම මතකය ද සමඟ විපක්ෂ නායකතුමාගේ ඉල්ලීමට සවන්දුන් මට මා කුමන ගණන් හිලව් ඉදිරිපත් කළ ද බැසිල් ඇමතිතුමාගේ ප්‍රකාශය අවඥාවෙන් බැහැර නොකළ යුතු යැයි ද යටි සිත මට කියන්නට විය. මෙවැනි සංදර්භයක් තුළ වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම හා අදහස නිවැරදිය. මෛත්‍රී ඇමතිතුමාගේ ජයග්‍රහණයේ තීරණාත්මක සන්ධිස්ථානය එ.ජා.පයේ පමණක් ඡන්ද ප්‍රතිශතය 40% ධන තැනක පැවතීමයි. තර්කයක් නොමැත.
කෙසේ වෙතත් මේ තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් නිරායාසයෙන්ම පැනනැඟී තිබෙන බව දින දෙකක් තුනක් යත්ම මට වැටහී ගියේය. සාමාන්‍යයෙන් මම පෙරවරු 7.00 පමණ වන විට විජේරාම නිවසට යා යුතුය. මෛත්‍රී ඇමතිතුමා එය නියමකොට නොතිබුණ ද එතුමා එලෙස බලාපොරොත්තු වූවා වැනිය.


එක් අතකින් විපක්ෂ නායකතුමා ද තවත් අතකින් චම්පික ඇමතිතුමා ද යම් යම් අදහස් හා යෝජනා ලබා දී ‘හෙට උදේ/හෙට හවස’ අපි හමුවෙමු යැයි පවසද්දී එය ප්‍රතික්ෂේප කිරීමට ද මම කිසිවිටෙකත් ක්‍රියා නොකළෙමි. මෙවැනි සන්දර්භයක් තුළ දින දෙක තුනක් පෙරවරු 7 පමණ වන විට විජේරාම නිවසට මට යා නොහැකි වූයේ රාත්‍රියේ නිදිවර්ජිතව ඉහත පැවරුණු වැඩකටයුතු කිරීම නිසාවෙනි. ඒ සියල්ල ජනාධිපතිවරණයේ ජයග්‍රහණය උදෙසාය. මෙලෙස පෙරවරුවේ විජේරාම නිවසට නොයන මම විපක්ෂනායක කාර්යාලයේ සිටිනු, මෛත්‍රී ඇමතිතුමාටම නිසැකයෙන්ම නිරීක්ෂණය වන්නට ඇත. ඒ මන්දයත් බොහෝ විට පෙ.ව. 10.00 පමණ වනවිට එතුමා මාධ්‍ය සාකච්ඡාවකට හෝ නොඑසේ නම් යොදාගත් පක්ෂ නායක රැස්වීමක් සඳහා විපක්ෂනායක කාර්යාලයට එන බැවිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පෙරවරුවේ විජේරාම නිවසට නොඑන මලිත් විපක්ෂනායක කාර්යාලයේ සිටීම සම්බන්ධයෙන් කනවැකුණු වහාම මම මගේ දින චර්යාව නැවත ඊට අනුව සකස් කොට ගතිමි. ඒ අතරම රනිල් වික්‍රසිංහ මහතා ද ජනාධිපතිවරණ වේදිකා මත දී තමා ආමන්ත්‍රණය කළ රැස්වීම් හමුවේ ජාතික මට්ටමේ දේශපාලනයට වඩා වැඩි අවධානයක් ඒ ඒ මැතිවරණ කොට්ඨාසවල සමාජ, ආර්ථික හා සංස්කෘතික යථාර්ථයන්ට අනුව සාර්ථක ලෙස කථාකරනු දක්නට ලැබුණි. ඊට අදාළ බොහෝ තොරතුරු අපගේ විග්‍රහය ඇසුරින් සකසා දුනිමු. මේ සියලු කටයුතු සිදුකිරීමේ දී සමහරවිට දිනකට දෙතුන් වරක් විපක්ෂ නායක කාර්යාලයට යාමට මට සිදුවිය. ප්‍රශ්නය එය නොවේ. එහි ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ සිට දිනයේ පැය 24 පුරාම විපක්ෂ නායක කාර්යාලයට යන එන සියලු දෙනා රූප ගතවේ. කිසි ලෙසකින්වත් එය මහහැර යා නොහැක. අවදානම අත ළඟය.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්