ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගින් 1988 නොවැම්බර් 7 සමස්ත මහා වැඩ වර්ජනයක් බලහත්කාරයෙන් අරඹනු ලැබීය. රජයේ තර්ජන ගර්ජන සහ මර්දන නීති රීති බිඳ හෙළමින් මෙම වර්ජනය හම්බන්තොට, අම්පාර, ත්‍රිකුණාමලය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, මොණරාගල වැනි දිස්ත්‍රික්ක දක්වා පැතිර ගොස් තිබිණි. සෞඛ්‍ය ජල සම්පාදන සහ විදුලිය වර්ජනයෙන් මුදාහැර තිබිණි.


මෙය වෘත්තීය කරුණු පදනම් කරගත් වර්ජනයක් නොව ඉන්දු - ලංකා ගිවිසුම අහෝසි කිරීම, ඉන්දීය ආක්‍රමණික හමුදා රටින් පිටකිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පැවැත්වූවකි. සියලු අධ්‍යාපනික ආයතන, රජයේ සහ පෞද්ගලික බැංකු, පෞද්ගලික අංශයේ ව්‍යාපාර බහුතරයම වාගේ වර්ජනයට එක්වී සිටි අතර රජය එය නතර කිරීමට යුද නීතිය පැන වූ තත්ත්වයකට සමාන අයුරින් ආරක්ෂක අංශ යොදා කටයුතු කළේය.


මේ අතරතුර දකුණු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය සහ ඩිපෝ කිහිපයක සේවක පිරිස් ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ අදිසි නායකත්වයෙන් වසර ගණනාවක සිට ලැබිය යුතු ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් වර්ජනයක් දියත් කළේය. එයට නාමික නායකත්වය දෙනු ලැබුවේ ලංකා ගමනාගමන සේවක සමිතිය වන අතර ප්‍රථම වරට 1988 නොවැම්බර් 1 වර්ජනයට එක්වූයේ කැස්බෑව සහ හොරණ ඩිපෝවල සියලු සේවකයින්ය. රත්මලාන, මොරටුව, කටුබැද්ද ඩිපෝවල සියලුම සේවකයෝ ද 1988 නොවැම්බර් 2 එම වර්ජනයට එක්වූහ. අනෙකුත් ඩිපෝවලට ද වර්ජනය පැතිර යමින් තිබිණි. මින් ඉල්ලීම් කිහිපයක් ලබාදී වර්ජනය සමථයකට පත්කිරීමට රජය සමත් විය.


එම වර්ජනය ඇතුළු රත්මලාන ප්‍රදේශයේ කම්කරු වැඩ වර්ජන ගණනාවක් ද කොළඹ දිස්ත්‍රික්කයේ ජවිපෙ කම්කරු සටන් මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ සියලු මෙහෙයුම් කටයුතු සිදු කෙරුණේ රත්මලානේ ලහිරු ටේ්‍රඞ් සෙන්ටර්හිදීය. එය මෙහෙය වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ ප්‍රේමචන්ද්‍ර මුණසිංහය. අකුරැස්ස ඇල්ගිරියේ උපන් මුණසිංහ දෙනියාය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පවුලේ සොයුරු සොහොයුරියන් 6 කි. ඇල්ගිරියේ මුණසිංහ, ජයතිලක, අජන්ත සහ වික්‍රම ලෙස ද හැඳින්වූ ඔහු 1969 ජවිපෙට පූර්ණකාලීනව එක් වූ අතර 1971 අප්‍රේල් කැරැල්ලට දෙනියාය ප්‍රදේශයෙන් ක්‍රියාකාරීව එක්විය. කැරැල්ලේ පරාජයෙන් පසුව සිංහරාජ අඩවියට දෙනියාය ප්‍රාදේශීය කමිටුවේ ලේකම් ජයතිස්සගේ නායකත්වයෙන් පසුබැස ගිය මුණසිංහ පසුව ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. ජයතිස්ස ද 1971 මැයි 31 හමුදා වෙඩි ප්‍රහාරයකින් සිංහරාජ අඩවියේ දී මියගොස් තිබිණි. පොලිස් අත්අඩංගුවට පත්වීමේ දී දරුණු පහරදීම් හේතුවෙන් මුණසිංහ පසුකලෙක ශරීරාබාධයකටද ලක්ව තිබිණි. අත්අඩංගුවට ගෙන වීරවිල එළිමහන් කඳවුරේ සිටියදී 1972 මැයි 8 ඥානේ මල්ලි, කෑගල්ලේ ධනපාල, කැප්ටන් සෙනෙවි ඇතුළු පිරිසක් සමග මුණසිංහ පැනගිය අතර පසුව 1972 නොවැම්බර් 14 යළි ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

 

පසුව 1976 නොවැම්බර් 2 නිදහස ලැබීමෙන් පසු ජවිපෙට යළිත් පූර්ණකාලීනව එක්වී මාතර දිස්ත්‍රික් නායකයා විය. පසුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ද වූ මුණසිංහ ජවිපෙ 2 වැනි කැරැල්ලේ දී ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රධානතම නායකයෙක් ද විය. ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වශයෙන් ජනනාථ වීරසිංහ යන ආරූඩ නමින් 1988 නොවැම්බර් 11 නිකුත් කළ නිවේදනය සකස් කළේ ද මුණසිංහය.
එජාප ආණ්ඩුව 1982 ජනමත විචාරණයෙන් පැරදුණු මැතිවරණ ආසන 18ක් සඳහා අතුරු ඡන්ද පැවැත්වූ අතර ඉන් රත්ගම, දෙවිනුවර, කුඹුරුපිටිය, තංගල්ල, බෙලිඅත්ත යන ආසන 5ට තරග කිරීමට ජවිපෙ ගත් තීරණය අනුව කඹුරුපිටිය ආසනයට තරග කළේ ප්‍රේමචන්ද්‍ර මුණසිංහය. සෙසු ආසන වූ බෙලිඅත්තට ආරියසේන ඊශ්වරගේද, තංගල්ලට විජිත රණවීර ද, රත්ගමට වෛද්‍ය කේ. එස්. එන්. ප්‍රනාන්දු ද දෙවිනුවරට ජයන්ත ගුණතිලක ද ඒ අනුව තරග කරන ලදී. ජවිපෙ අධ්‍යාපන කඳවුරුවල දී පැරණි වමේ ඉතිහාසය පිළිබඳව ඔහු විසින් පැවැත්වූ පන්ති බෙහෙවින් ජනප්‍රිය විය. 


මුණසිංහ අවාහ වූයේ දෙනියායේ උපන් කුසුමා බුද්ධිකෝරාල සමගය. එම යුවළට එක් දරුවෙකි. ජවිපෙ මාතර දිස්ත්‍රික් කලක් නායිකාව වූ කුසුමා ජවිපෙ රැස්වීම්වල දී කථාකළ  ජනප්‍රියතම කථිකයකු වූ අතර සමාජවාදී  කාන්තා සංගමයේ  ජාතික කමිටුවේ මුල්පෙළේ නායිකාවක්ද විය. ජවිපෙ අධ්‍යාපන කඳවුරු මෙහෙය වූ ඇය ජවිපෙ මෙතෙක් සිටි සාමාජිකාවන් අතර දැනුමෙන් සහ ක්‍රියාකාරිත්වයෙන් මුල්තැන ගත් කිහිප දෙනා අතර වූවාය. කුසුමා 1971 අප්‍රේල් කැරැල්ලට ද  ක්‍රියාකාරීව එක්වූ අතර කැරැල්ලේ පරාජයෙන් පසු දෙනියාය ජවිපෙ ප්‍රාදේශීය කමිටුවේ ලේකම් ජයතිස්සගේ නායකත්වයෙන් සිංහරාජයට පසුබැස ගිය අතර පසුව 1971 ජූනි 26 සිංහරාජ මෙදේරිපිටියේ දී තවත් කාන්තා කැරලිකාරිනියන් 11 දෙදෙනකු සමග  ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්විය. ජයතිස්ස 1971 මැයි 31 ඝාතනය වීමෙන් පසු එම කණ්ඩායමට නායකත්වය දුන්නේ ඌරුබොක්කේ පැන්ටිස්ය. විජේවීරගේ ලොකු දියණිය දසුන් ඊසා 1981 ජනවාරි 12 සොයිසා කාන්තා රෝහලේ දී සහ දෙවැනි දියණිය සුපුන් ඡායා 1982 අප්‍රේල් 5 සොයිසා රෝහලේ දී උපත ලබන විට ද විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී ප්‍රනාන්දුට සහායවීමට සිටියේ ඇය වේ. බදුල්ලේ දී 1989 මැද භාගයේදී කුසුමා අත්අඩංගුවට ගත් අතර පසුව නිදහස් වූ අතර රත්නපුරයේ ජීවත්වන ඇයගේ එකම දරුවා වන පුත්‍රයා වර්තමානයේ දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටී. 


රත්මලාන  සහ ඒ අවට කලාපය තුළ ප්‍රධාන මෙහෙයුම් ගණනාවක් ජවිපෙ සංවිධානය කළ අතර ඉන් බොහෝමයක් සැලසුම් කිරීමේ සහ මෙහයුම් සාකච්ඡා පවත්වන ලද්දේ මෙම ළහිරු ටේ්‍රඞ් සෙන්ටර් ආයතනයේය. 
රත්මලාන ගුවන් හමුදා කඳවුර සහ ආරක්ෂක පීඨයට 1987 ජූනි 6 එල්ල කළ ප්‍රහාරයට මූලික සාකච්ඡාද මෙහි පැවැත්විණි. යාපනය සහ ත්‍රිකුණාමලයේ සිට රත්මලාන ගුවන් තොටුපොළට පැමිණෙන ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආරක්ෂාව සැපයීම සඳහා ඉන්දීය හමුදා එහි රඳවාගෙන  සිටින අවස්ථාවක  ප්‍රහාරයක් එල්ල කිරීමට ජවිපෙ සැලසුම් කළද එය සාර්ථක නොවූයේ ඉන්දීය සෙබළුන් එහි නැති බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් අංශය 1988 නොවැම්බර්  මස 10  මාධ්‍යවේදීන් පිරිසක් එහි කැඳවාගෙන ගොස් පෙන්වාදීමෙන් පසුවය. 


රත්මලාන ළහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි හිමිකරු වූයේ රංජිත් දිසානායක හෙවත් කළු රංජිය. නුගේගොඩ කන්දවත්තේදී 1949 දෙසැම්බර් 10 උපන් රංජිත් රාජගිරිය මාදින්නාගොඩ පදිංචිකරුවෙකි. රංජිත්ට රත්මලානේ ළහිරු ටේ්‍රඞ් සෙන්ටර් 1985 ආරම්භ කිරීමට අදාළ ගොඩනැගිල්ල එහි අයිතිකරු වන දෙහිවල අමරදාස ගෙන් බදු ලබා ගැනීම සම්බන්ධීකරණය කළේ 1971 කැරැල්ලේ 26 වැනි විත්තිකරු වූ කෙලී සේනානායකය. ජවිපෙ යළි 1977න් පසු නගා සිටුවීමට පුරෝගාමී මෙහෙයක් කළ කෙලීට විනය හේතුන් මත ජවිපෙන් 1979දී  ඉවත්වීමට සිදුවිය. මැද පෙරදිග සහ වෙනත් රටවල සේවය කර ලංකාවට පැමිණෙන ලාංකිකයන්ට හිමි තීරුබදු සහනයෙන් කොල්ලුපිටියේ එවකට පිහිටි වෙළඳ සංකීර්ණයෙන් මිල දී ගන්නා විදුලි උපකරණ, ශීතකරණ ඇතුළු විදුලි භාණ්ඩ සහන මිලට අලෙවි කරන ස්ථානයකි. 


තර්ස්ටන් විදුහලේ ද කලක් අධ්‍යාපනය ලත් රංජිත්  දිසානායක පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියදී 1970 අවසාන භාගයේදී ජවිපෙට එක්විය. සොයුරු සොහොයුරියන් 6 දෙනකුගෙන් යුත් පවුලක දෙවැන්නා වූයේ රංජිත්ය. රංජිත්ගේ පියා රජයේ සේවකයයෙකි. ජවිපෙට කීර්ති විජේසිංහ හරහා එක්වූ රංජිත්ට 71 කැරැල්ලේදී භාරව තිබුණේ විජේවීර නිදහස් කර ගැනීමට යාපනයට යාම සඳහා විනෝද චාරිකාවක් මුවාවෙන් බස් රථයක් ශිෂ්‍ය අංශයේ නායක එස්. වී. ඒ. පියතිලකගේ උපදෙස් පරිදි ඊබට් සිල්වා ආයතනයෙන් වෙන්කර ගැනීම සහ 1971 අප්‍රේල් 5 අලුයම සුනිල් රත්නසිරි සහ ඩැනියල් විසින් සපයන ලද 50ක පමණ කණ්ඩායම සමගින් කොළඹ ටවුන්හෝල් අසලදී බස් රථය යාපනයට යෑම සඳහා කණ්ඩායමේ නායක සැම්සන් සිරිපාලට භාරදෙනු ලැබීය. සැම්සන්ට පිරිස සමගින් බස් රථය බාරදුන් රංජිත් 1971 අප්‍රේල් 5 පනාගොඩ හමුදා කඳවුර යටත් කර ගැනීම සඳහා ප්‍රහාරයට යන කණ්ඩායමට එක්වුවද ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු හෙවත් කළු ලකී එදින උදෑසන ප්‍රකාශ කර ඇත්තේ කිහිප දෙනකු හසු වූ බැවින් ප්‍රහාරය නතර කළ අතර ආරක්ෂිතව පසු බසින ලෙසය. 


හැත්තෑ එකේ කැරැල්ලෙන් කලකට පසුව මොරටුවේ දී පොලිස් අත්අඩංගුවට පත් රංජිත් ගල්කිස්ස පොලිසියට ගෙන ඒමෙන් පසු රිමාන්ඞ් භාරයට පත්විය. වසර 6ක සිර දඬුවමකින් පසු පොදු සමාව යටතේ 1977 නිදහස් වූ රංජිත් දුෂ්කර තත්ත්වයන් යටතේ සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අතර රත්මලානේ ළහිරු ටේ්‍රඞ් සෙන්ටර් ඇරඹුණේ 1985දීය. එය දියුණුවෙන් දියුණුවට පත්වුයේ නව කළමනාකරුවකු වශයෙන් සරත් පෙරේරා 1986 දෙසැම්බර් පත්වීමත් සමගය. 


ළහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි කළමනාකරු ලෙස සරත් පත් කරන්නේ එහි හිමිකරු වූ රංජිත්ට අහඹු හමුවීමක ප්‍රතිඵලයක් වශයෙන් හඳුනා ගැනීමට හැකි වූ සරත්ගේ අවංකත්වය සහ කැපවීම පිළිබඳව පැහැදීමකින් පසුවය. අංගොඩ - වල්පොල කොටිගල මාවතේ පදිංචි රාජපක්ෂ පතිරගේ සරත් පෙරේරා උපන්නේ  1956 අගෝස්තු 23 වැනිදාය. ඔහු පියාගේ කොළඹ කොමර්ෂල් සමාගමේ වැඩ පරීක්ෂකවරයකු වූ පියදාස වූ අතර මව කල්‍යාණිය. පවුලේ දරුවන් දෙදෙනකු වූ අතර වැඩිමලා සරත් වූ අතර බාලයා ප්‍රේමලාල් ධර්මසේන විය. තලංගම සිරි සුමේධ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් සරත් මොරටුව සර්වෝදය මූලස්ථානයේ තාක්ෂණ සහායකයෙක් ලෙස සේවය කර 1982 සෞදියේ හෝටලයක සේවයේ නිරත විය. ඔහු දක්ෂ පාපැදි සුරයෙකි.


සරත් පෙරේරා 1982 මැද පෙරදිග ගිය විට එහි ජවිපෙ කටයුතුවලට සම්බන්ධ වූයේ සෞදියේ ඇරම්කෝ සමාගමේ හෙද නිලධාරියකු වූ රංජිත් ඇතුළු පිරිස හරහාය. අවිවාහකයකු වූ සරත් පෙරේරා 1986 අවසාන භාගයේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු රංජිත්ගේ ඉල්ලීම පරිදි ලහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි කළමනාකරු  විය. මාසික වැටුප රුපියල් 10,000කි. කළමනාකරු වූ සරත් නැවතී සිටියේ ද රත්මලානේ එම ව්‍යාපාරික ස්ථානයේමය. 
එහි අලෙවි විධායක වූයේ බදුල්ලේ රංජිත් රත්නායකය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූයේ බදුල්ලේ පුරවැසි සමාජ ක්‍රියාකාරි මානෙල් රත්නායකය. එමෙන්ම මස්සිනා වූයේ ප්‍රවීණ ඉංග්‍රීසි කථිකාචාර්ය පාලිත ශාම්දාස් සොලමන්ස්ය. මානෙල් සහ පාලිත 1971 කැරලිකරුවන් 67ක් එක්වී 1977 දෙසැම්බර් 12 වැල්ලවත්තේ දී ආරම්භ කළ ජනතා සංගමයේ සමාරම්භකයෝද වූහ. 

ජවිපෙ කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් සහ සාමාජිකයන් කිහිප දෙනෙක්ම ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්විය. ඔවුහු බොහෝදෙනා රත්මලාන ළහිරු ටේ්‍රඞ් සෙන්ටර් වෙත නිතර ආගිය අය වෙති. ඔරුවල වානේ කම්හලේ විරෝධතා ව්‍යාපාරවලට නායකත්වය දුන් කේ. පී. ඒ. සිසිර සරත්චන්ද්‍ර 1988 නොවැම්බර් 2 නවගමුව පොලිස් වසමේ වදුරාමුල්ලේ දී ලාන්සර් මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් හිසට වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහුගේ මස්සිනා වූ බෙන්තර බඩල්ගේ සුරේන්ද්‍ර ජයලත් විසින් හෝමාගම දිසා විනිසුරු ආර්. සී. හෑගොඩ ඉදිරියේ සිරුර හඳුනාගන්නා ලදී. වානේ සංස්ථාවේ සුභසාධක සමිතියේද ක්‍රියාකාරිකයෙකු වූ සිසිරගේ සිරුර අවසන් ගෞරවය සඳහා සංස්ථා භූමියට ද ගෙනවිත් තිබිණි. මෙයට පෙර කොළඹ වෛද්‍ය සිසු පද්මසිරි ත්‍රීමාවිතාරණ සමග 1988 ඔක්තෝබර් 20 රත්නපුරේ දී ඝාතනයට ලක්වූ තිදෙනා අතර සිටි රංජිත් පෙරේරා ද ඔරුවල වානේ සංස්ථාවේ සේවකයෙකි.


බස් වැඩ වර්ජනය ඇතුළු රත්මලාන ප්‍රදේශයේ සියලු කම්කරු සටන් සැලසුම් කළ ළහිරු ටේ්‍රඞ් සෙන්ටර්හි එවැනි වැඩසටහන් ක්‍රියාත්මක වන බවට හිමිකරු රංජිත් දිසානායක දැන නොසිටියේය. ආයතනය ශීඝ්‍රයෙන් දියුණු තත්ත්වයට පත්වීම පිළිබඳව සතුටු වූ ඔහු කළමනාකරුගේ අවංකභාවය ද ඉහළින්ම අගය කළේය. එහි කළමනාකරු සරත් සමග ජවිපෙ සම්බන්ධතා යළි ගොඩනගා ගන්නේ 1987 ජනවාරි මාසයේදීය. ඒ රත්මලානේ චකින්ද්‍රාරාම පාරේ නවාතැන් ගෙන සිටි තල්පාවිල විදාන කංකානම්ගේ දයාරත්න මගිනි. දයා ඉස්කෝලේ මහත්තයා ලෙස ජනප්‍රිය වූ ඔහු කැලණි සරසවියේ 1974/75 කණ්ඩායමේ උපාධිධාරියෙකි. දයාරත්නගේ සරසවි සමකාලීනයන් අතර වර්තමාන ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන්, හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් ඇතුළු කිහිප දෙනෙක්ම විය. රාජගිරිය ජනාධිපති විදුහලේ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු වූ දයාරත්න දික්වැල්ල විජිත විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගුරු වෘත්තියට අමතරව මෝටර් රථ මිලදී ගෙන අලෙවි කිරීමේ අර්ධකාලීන කටයුත්තකද යෙදුණු දයාරත්න සිය වාහනය වූ එල්ෆ් ඉසුසු රථයද ජවිපෙ වැඩකටයුතු සඳහා ලබාදුන් අයෙකි. රථයේ රියැදුරා වූයේ නන්දනය.


ළහිරු ටේ්‍රඞ් සෙන්ටර් යාබදව සිංහ හාඞ්වෙයාර් එක ද තිබූ අතර චකින්දාරාම පාරේ පදිංචි දෙදරු පියෙකු වූ ආරියරත්න හෙවත් රතු අයියාගේ නිවසේ දයාරත්න නවාතැන්ගෙන සිටියේය. ආරියරත්න කොළඹ මැනින් මාකට්හි ප්‍රකට එළවළු ව්‍යාපාරිකයෙකි. ප්‍රේමචන්ද්‍ර මුණසිංහගේ උපදෙස් පරිදි රත්මලාන කේන්ද්‍ර කරගෙන ජවිපෙ සටන් මධ්‍යස්ථානයේ කටයුතු කළ අය නැවතී සිටියේ සිරිමල් උයනේ ඇනෙක්සියකය. මාසික කුලිය 4000 කි. එහි සිටි ජවිපෙ පූර්ණකාලීනයන් බහුතරය මාතර තල්පාවිල පදිංචිකරුවන්ය.


මාතර තල්පාවිල මුළුමනින්ම වාගේ දුරාව කුලය නියෝජනය කරන ජන කොටසකින් සමන්විත වන අතර තල්පාවිලට ජවිපෙ 1969 දී ගෙන ආවේ පී.කේ. විමලදාසය. 71 කැරැල්ලේදී විමලදාසගේ නිවස ගිනි තැබූ අතර සොහොයුරිය වන කරුණාවතී ද අත්අඩංගුවට ගනු ලැබීය. උඩවලවේ අක්කර තුනක පමණ දූපතක් මැද වගා කටයුතුවල නිරත වෙමින් 71 කැරැල්ලේ 40 වන විත්තිකරු ඩී. පී. විමලගුණේ සහ සොමිපාල ද අත්අඩංගුවට ගන්නේ ගාමිණී බාස්ගේ ඔත්තුවක් මත 1971 දෙසැම්බර් මසදීය. පසු කලෙක ජවිපෙන් ඉවත් වූ විමලදාස විදේශ රැකියාවක නිරතවී වර්තමානයේ කිරිබත්ගොඩ මාකොල පදිංචිව සිටී.


වසර 1977න් පසු තල්පාවිල ජවිපෙ ප්‍රචලිත කළේ තල්පාවිල විදානේ කංකානම්ගේ ධර්මසේන හෙවත් තල්පාවිල ධර්මේය. ඔහුගේ පියා චාර්ලිස් වූ අතර පිය පාර්ශ්වයේ සොහොයුරන් බොහෝ දෙනෙකු ජවිපෙ සමීප හිතවතුන් විය. මව මාතර වල්පොල සරලීන් ද සිල්වා ජයසිංහය. සුළු ව්‍යාපාරිකයෙකු වූ තල්පාවිල ධර්මේගේ පියාට දරුවන් සිව් දෙනෙකි. පිරිමි අය ධර්මසේන, ජයනන්ද සහ කරුණාපාල වූ අතර දියණිය සීතාය. රුහුණු සරසවියේ උපාධිධාරියෙකු වූ කරුණාපාල වර්තමානයේ විශ්‍රාමික ගුරුවරයෙකි. තල්පාවිල ධර්මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වශයෙන් කටයුතු කළ අතර මේසන් සහ වඩු වැඩද දන්නා ඉංග්‍රීසි දැනුමක් ඇති කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කළ සංගීතයට ලැදි චිත්‍ර ශිල්පියෙකි. මාතර මැදිවත්ත තාක්ෂණ ආයතනයේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ ධර්මසේන වැඩ පරීක්ෂකයෙකු ලෙස ද පස්ගොඩ කලක් සේවය කළේය. තල්පාවිලට චෙස් ක්‍රීඩාව ගෙනාවේ සහ ජනප්‍රිය කළේ ඔහුය. ජවිපෙ පූර්ණකාලීනයෙකු වශයෙන් 1976 සිට එක් වූ ධර්මසේන ජවිපෙ තහනමෙන් පසුව ද මියයන තෙක්ම පූර්ණකාලීනයෙකු විය. ගන්දර, දෙවිනුවර, වලස්මුල්ල, මිද්දෙණිය යන ප්‍රදේශයන්හි ජවිපෙ අධ්‍යාපනික පන්ති පැවැත්වූ ධර්මසේන 80 දශකය මුල්භාගය වනවිට සලාගම සහ නවන්දන කුලවලට අයත් ජනයා බහුතරයක් වෙසෙන කැකැනදුර ප්‍රදේශවල ද ජවිපෙ ප්‍රචලිත කළේය.

 

 

 

 


මතු සම්බන්ධයි.