හමුදා කඳවුරුවලට එල්ල වූ “දේශප්‍රේමී” ප්‍රහාර-02

 

මැගසින් බන්ධනාගාරය බිද දැමීමට සමාන්තරව ජවිපෙ මගින් 1988/89 වසරයන්හිදී අනුරාධපුර, මහර, මීගමුව, පැලවත්ත, බදුල්ල 1988 දෙසැම්බර් 10 මහනුවර බෝගම්බර යන බන්ධනාගාරවලට කඩාවැදී ඒවායේ සිටි ජවිපෙ සැකකරුවන් මුදවා ගැනීමේදී එම බන්ධනාගාරවල ආයුධද පැහැරගත්තේය. බෝගම්බර බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 10 පස්වරු 6.45 කඩාවැදී සැකකරුවන් මුදවා ගැනීමේදි කැරලිකරුවන් විසින් බන්ධනාගාරයට අයත් විවිධ තුවක්කු පිස්තෝල 35ක් සහ පතරොම් 900ක්ද රැගෙන යන ලදී.

 

එමෙන්ම පොලිස් ස්ථාන ගණනාවකටද කඩාවැදුණු ජවිපෙ කැරලිකරුවෝ එම පොලිස් ස්ථානවල සිටි නිලධාරින් යටත් කරගෙන සැකපිට රඳවා ගෙන සිටි ජවිපෙ සාමාජිකයින්ද මුදවාගෙන එම පොලිස් ස්ථානයන්හි සියලුම අවි පැහැර ගැනීමට සමත් වූහ. ඒ අනුව 1987 දෙසැම්බර් 30 කහවත්ත පොලිසියද, 1988 ජුලි 16 මඩොල්සිම පොලිසියද, 1988 සැප්තැම්බර් 22 ගොතටුව පොලිසිය සහ මොරටුමුල්ල පොලිසියද, 1988, ඔක්තෝබර් 28 පාදුක්ක පොලිසියද, 1989 ජනවාරි 28 බම්බලපිටිය, රාගම සහ මට්ටක්කුලිය පොලිසිද, 1989 මාර්තු 15 කිරුළපන පොලිසියද, 1989 අප්‍රේල් 17 කටුපොත පොලිසියද, 1989 අප්‍රේල් 21 ගාල්ලේ පිටිගල පොලිසියටද, 1989 මැයි 4 හොරණ පොලිසියටද, 1989 ජුලි 16 සපුගස්කන්ද පොලිසියද, 1989 අගෝස්තු 10 බෙන්තොට පොලිසියද, 1989 සැප්තැම්බර් 2 බම්බලපිටිය පොලිස් කේෂේත්‍ර බළකා මූලස්ථානයද, කැකිරාව පොලිසියද, කොහුවල බුද්ධි නිලධාරින්ගේ නිල නිවාසය පිහිටි මුරපොළද, දෙනියාය පොලිසියද, පිළියන්දල පොලිසිය ඇතුළු පොලිසි ගණනාවකට කඩා වැදී ප්‍රහාරයන් එල්ල කළ කැරලිකරුවෝ ඒවායේ අවි පැහැර ගත්හ. හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලින් මෙසේ පැහැරගත් අවි ආයුධ අතර ටී-56 ස්වංක්‍රීය රයිෆල්, උප යාන්ත්‍රික තුවක්කු, අර්ධ ස්වයංක්‍රීය රයිෆල්, මැෂින් තුවක්කු, එල්.එම්.ජී. බැරල්, 303 රයිෆල්, රිපීටර් තුවක්කු, මිලි මීටර් 60 මෝටාර් තුවක්කු, ක්ලේමෝ බෝම්බයක්, එස්.එම්.ජි. ගිනි අවි, පිස්තෝල, සාමාන්‍ය තුවක්කු, පතරොම්, පතරොම් පටි, දුම් බෝම්බ ඇතුළු අවි ආයුධ ගණනාවක්ම විය.


බම්බලපිටිය පොලිසියට 1989 ජනවාරි 28 කඩාවැදී අවි පැහැරගත් කණ්ඩායම 10කින් සමන්විතය. ටී-56 තුවක්කුවලින් සන්නද්ධ වූ ඔවුන් එම පොලිසියට අයත් ජීප් රථයක් පොලිස් රියැදුරා සමග පැහැරගෙන ගොස් දෙමටගොඩ මවුන්ට් මේරි ප්‍රදේශයේදී එය අතහැර වෙනත් වෑන් රථයක් කොල්ලකා පලාගොස් තිබිණි. එදිනම රාගම පොලිසියට කඩා වැදුණු කැරලිකරුවන් කණ්ඩායමක් තුවක්කු 18ක් පැහැරගෙන ගොස් තිබිණි. ඔවුන් පලාගිය වෑන් රථය තුළ ගෙන යෑමට නොහැකි වූ රයිෆලයක් තිබී හමුවිය. බම්බලපිටිය, රාගම සහ මට්ටක්කුලිය පොලිසිවලින් එකම දින රාත්‍රි 7ත් 8ත් අතර කාලයේදී සිදුවූ මෙම අවි පැහැරගැනීම් සිදුවිම් වලදී පොලිස් නිලධාරින් 4 දෙනෙකු සහ එක් සිවිල් වැසියෙකු මියගොස් තිබිණි. බම්බලපිටිය පොලිසියේ ධර්මරත්න, මට්ටක්කුලිය පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්‍ෂක ආරියරත්න සහ වික්‍රමසිංහ, රාගම පොලිසියේ කලීල් තුල්ලාද, බම්බලපිටිය පොලිසියේ සේවය කරන කම්කරුවෙක්ද මියගොස් තිබිණි.


පිටිගල පොලිසියට 1989 අප්‍රේල් 21 එල්ල කළ ප්‍රහාරයේදී කැරලිකරුවන් අතින් පොලිසියේ සහායට පැමිණි හතරවැනි ගැමුණු හේවා බළකායේ බළඇණියක සාමාජිකයෙකු වූ හමුදා සෙබළ එස්. කේ. ජේ. සිල්වා සහ පොලිස් කොස්තාපල් අනුර කාන් සොයිසා (39) යන දෙදෙනා මරුමුවට පත්වූහ.


පාදුක්ක පොලිසියට 1988 ඔක්තෝබර් 28 කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේදී පොලිස් කොස්තාපල්වරුන් වූ එම්. මහින්දරත්න, බී. ජී. විල්සන් සහ ජී. ඒ. ජයලාල් මරණයට පත්වුහ. පසුව ඒ පිළිබඳව කෝසල නන්දික අබේසිංහ, තිරාණගමගේ චන්ද්‍රසිරි, අබේවික්‍රම ගුණවර්ධන ලලිත්, අප්පුතන්ත්‍රි කංකානම්ගේ චන්ද්‍රසිරි, කස්තුරිසිංහ හේරත්, බන්දුල සිල්වා, නිමල් චන්ද්‍රසිරි අල්විස්, පද්මසිරි බණ්ඩාර සහ මුදියන්සේලාගේ පියතිලක යන 9 එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. නීතිපති විසින් අදාළ චෝදනා ඉල්ලා අස්කර ගැනීම නිසා විත්තිකරුවන් 9 කොළඹ මහාධිකරණ විනිසුරු ලෙස්ලි අබේසේකර විසින් 1992 ජුලි 15 නිදහස් කරන ලදී. නීතිපති විසින් චෝදනා ඉල්ලා අස්කර ගත්තේ විත්තිකරුවන් ගේ පාපෝච්චාරණ සටහන් කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දෙදෙනා මියගොස් ඇති බැවින් සාක්කි ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවීම නිසාය.


කටුපොත පොලිස් ස්ථානයට 1989 අප්‍රේල් 17 එල්ල කළ ප්‍රහාරයේදී එක් කැරලිකරුවෙකු මියගිය අතර ඔහුගේ මව වන ගිරිඋල්ල පතිරාජ මුදියන්සේලාගේ මුතුමැණිකා විසින් හඳුනා ගන්නාලදී. ඝාතනයට ලක් වූ එම කැරලිකරු වසර 2කට පෙර හමුදාවෙන් ඉවත් වී ජවිපෙට පූර්ණකාලීනව එක් වී සිටි ගිරිඋල්ල පොලිස් වසමේ මාහරගම අතපත්තු මුදියන්සේලාගේ උපාලි කුමාරවංශ හෙවත් පොඩි උපාලිය. බන්ධනාගාර ගතව සිටියදී කොළඹ මහ රෝහල තුළදී 1989 සැප්තැම්බර් 23 ලසන්ත විජේවර්ධන අතුරු හමුදා කණ්ඩායමක් මගින් ඝාතනය කළ අතර ඔහුගේ මරණ පරීක්‍ෂණයේදී සාක්කි දුන් ඔහුගේ මව කියා සිටියේ නාවික හමුදාවේ භටයෙකුව සිටියදී එය හැර දමා පැමිණි සිය පුත්‍රයා වූ ලසන්ත 1988 මාර්තු 01 හෝමාගමදී ග්‍රාමසේවා නිලධාරියෙකුට වෙඩි තැබීමට ගොස් පොලිසියට හසු වූ බවය.
මෙම හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලට කඩාවැදී අවි පැහැර ගැනීමේදී කැරලිකරුවන් ඝාතනය වීමට අමතරව බරපතළ තුවාලද ලැබීය. එසේ තුවාල ලැබූ අය කැරලිකරුවන් විසින්ම යළි රැගෙන ගොස් හිතවතුන්ගේ නිවෙස්වල රඳවාගෙන දේශීය සහ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලදී. එවැනි අවස්ථාවල කැරලිකරුවන්ට ප්‍රතිකාර කිරීමේ චෝදනාව යටතේ පොලිසිය මගින් වෛද්‍යවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්කරන ලදී. පිළියන්දල පොලිසියට ප්‍රහාර එල්ලකර තුවාල ලැබූ කැරලිකරුවෙකුට එසේ ප්‍රතිකාර කළ ශල්‍ය වෛද්‍ය එල්. යූ. උබේසිරි සහ නුගේගොඩ පෞද්ගලික සාත්තු නිවාසයක හිමිකරු වන වෛද්‍ය බර්නාඞ් පියසිරි සොයිසා අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත 1989 අප්‍රේල් 26 ඉදිරිපත් කර ඇප මත මුදාහරින ලදී.


කැරැල්ල නිමාවෙන් පසු එනම් 1990 මාර්තු වන විට ආරක්ෂක අංශවලින් කැරලිකරුවන් පැහැර ගන්නා ලද ටී. 56 ගිනි අවි 172ක්, එස්.එම්.ජී. අවි 2, රිපිටර් තුවක්කු 162, පතොරම් තුවක්කු 250, ගල්කටස් 1257, පිස්තෝල 63ක් රිවෝල්වර 54ක් සොයා ගත්බව ආරක්‍ෂක අමාත්‍යංශය හෙළි කළේය. ආරක්‍ෂක අමාත්‍යාංශ තොරතුරු අනුව කැරලිකරුවන් විසින් පැහැරගත් සොයා ගැනීමට නොහැකි වූ විශාල අවි ප්‍රමාණයක්ද 1990 අවසානය වන විට විය. එසේ සොයා නොගත් අවි අතර ටී 56 අවි 78, එස්.එල්.ආර්. 60, එස් 84 අවි 36, එස්.එම්.ජී 13, ටී 81 අවි 8, එල්.එම්.ජී අවි 11, එෆ්.එන්.සී. 6, එම්.පී. 5 අවි 3, එස්.ඒ.ආර්. 4, පිස්තෝල 2, රිවෝල්වර 31, 22 රයිෆල් 11, 303 රයිෆල් 360, රිපීටර් 305, ෂොට්ගන් 223ක් ඇතුළු අවි 2,136ක්විය. බොහෝ විට සිදු වූයේ අත්අඩංගුවට පත් කැරලිකරුවන් ගේ තොරතුරු මත අවි ආයුධ සැඟවූ තැන්වලින් සොයාගැනීමය.


දෙවැනි කැරැල්ලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ සන්නද්ධ කැරලිකරුවන් ගෙන් අවසානයේදී ජීවත්වීමට හැකි වූයේ සීයට 25ක පමණ පිරිසකට පමණි. සෙසු සියලු දෙනා කැරැල්ලේදී සහ අත්අඩංගුවේදී ඝාතනයට පත්වූහ. ඉතිරි සියයට 25න් සියයට 15ක් පමණ විදේශීය වශයෙන් ද සියයට 7ක් පමණ දේශීයව අප්‍රකටවද වාසය කරති. වර්තමාන දේශපාලනයේ ක්‍රියාකාරීව නිරත වන්නේ 2 වැනි කැරැල්ලේ සන්නද්ධ කැරලිකරුවන්ගෙන් සියයට 3ක පමණ පිරිසක් වෙති. විදේශ රැකවරණය ලබමින් පලාගිය සන්නද්ධ කැරලිකරුවන්ගෙන් බහුතරයක්ම වාගේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග සම්බන්ධතා පවත්වාගෙන යමින් සිටිති.