1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතට අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නියම වන අවස්ථාවක ඊට අදාළ ගැසට් පත්‍රය පළ කරන ලද දිනයෙහි සිට දින 16 කට නොඅඩු සහ දින 21කට නොවැඩි දිනයක් අපේක්ෂකයන්ගේ නාමයෝජනා කිරීමේ දිනය ලෙසද නාමයෝජනා කිරීමේ ස්ථානය ද නියම කරනු ලබයි. තවද, නාමයෝජනා කිරීමේ දින සිට සති 4 කට නොඅඩු සහ සති 6 කට නොවැඩි දිනයක් ඡන්ද විමසීම පවත්වන දිනය ලෙස නියම කරනු ලැබිය යුතුය. තව දුරටත් ජනාධිපතිවරණය පවත්වනු ලබන දිනය පසළොස්වක පොහොය දිනයක් නොවන යම් දිනයක් හෝ 1971 අංක 29 දරන නිවාඩු පනතේ පළමුවන උප ලේඛනයෙහි සඳහන් යම් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන යම් දිනයක් විය යුතුය.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සුභ මොහොතින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට් නිවේදනයට අත්සන් කරනු ලබන අවස්ථාවට අදාළ ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය මගින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ අතර ඊට අනුව ජනාධිපතිතුමා ඊට අත්සන් තබන අවස්ථාවේ එතුමා අසල පසෙකින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා යෝෂිත රාජපක්ෂ මහතා පමණක් එහි විය. විශේෂයෙන්ම යෝෂිත රාජපක්ෂ මහතා ජනාධිපතිතුමා අසලින් සිටීමේ රහස ලෙස දැක්වෙන්නේ එම අවස්ථාවේ දී පවුලේ සාමාජිකයන් අතරින් ප්‍රබලම ග්‍රහ පිහිටීම ඇති හඳහන තිබුණේ ඔහුට බැවින් යැයි කියැවේ. එලෙස ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම මොහොතකින් රටම ඒකාත්මිකව බලා සිටි ඊළඟ වැදගත්ම අංගය බවට පත්වූයේ මෙතෙක් අප්‍රකාශිත පොදු අපේක්ෂකයා කවුරුන්ද? යන්න සැකහැර දැන ගැනීමය. සැබැවින්ම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ මොහොතේ පටන් මහින්ද ජනාධිපතිතුමාට වඩා වැඩි අවධානයක් පොදු අපේක්ෂකයාට යොමුවූ පැය ගණනක් දැන් උදාවී ඇත. නොවැම්බර් 20 යනු බ්‍රහස්පතින්දාවකි. ආණ්ඩුවෙන් ඉවත්වී සිටි ජාතික හෙළ උරුම නායකයෝ මහනුවරට ගොස් තමන් ඊට පෙර ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ දේශපාලන යෝජනාවලිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වූහ. ඒ සමඟම ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ආණ්ඩුවෙන් ඉවත්ව එජාපය හා එක්විය. ඒ අනුව ජනාධිපතිවරණය අභිමුව ආණ්ඩුව අතහැරි පළමු ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වසන්ත සේනානායකය.

 

 

නොවැම්බර් 20 වැනි දින එම තීරණාත්මක සාකච්ඡාවෙන් පසුදින චන්ද්‍රිකා මැතිනියගේ නිවසේ තවත් ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්විණි. ඒ නොවැම්බර් 21 වැනිදා පොදු අපේක්ෂකයා පළමු වරට රටට ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ කටයුතු සම්පාදනය කිරීම වෙනුවෙන්ය. මේ සඳහා මූලික වශයෙන් චන්ද්‍රිකා මැතිනිය, මංගල සමරවීර හා රවී කරුණානායක ඇතුළු පිරිස සහභාගිවී සිටියහ. එහිදී මංගල සමරවීර මන්ත්‍රීතුමා ඇතුළු බොහෝ දෙනෙක් යෝජනා කරනු ලැබුවේ 21 වැනිදා පොදු අපේක්ෂකයා හඳුන්වා දෙන ප්‍රධාන මාධ්‍ය සාකච්ඡාව ගලධාරි හෝටලයේ දී හෝ එවැනි තැනක පැවැත්වීම සුදුසු බවත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවත්ය. මේ අතර මෙම සාකච්ඡාවට ඍජුවම සම්බන්ධ නොවුණ ද ඈතින් සිට මේ සියලු දේ අසා සිටි කබීර්, චන්ද්‍රිකා මැතිනිය වෙතට ගොස් මේ සඳහා කොළඹ නව නගර ශාලාව ද ඉතාමත් සුදුසු ස්ථානයක් බවත් අවශ්‍ය නම් නගරාධිපතිවරයාට නොදන්වා මෙය තමාට වෙන්කර ගත හැකි බවත් පැවැසීය. ඒ අනුව චන්ද්‍රිකා මැතිනිය ඊටද අනුමැතිය ලබා දුන්නාය. ඊට අනුව ක්‍රියාත්මක වූ කබීර් නගර සභාවේ සේවය කරන හොරගොල්ල වලව්වට සම්බන්ධ “ඩී” මහත්තයාගේ දියණියගේ සහ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ උපකාරයෙන් එදිනම 21 වැනිදා සඳහා නව නගර ශාලාව වෙන්කර ගන්නා ලදී. එහිදී අවශ්‍යතාව ලෙස සඳහන් කළේ “නාට්‍යයක් පුහුණුවීම සඳහා” වශයෙනි. නමුත් මේ වනවිට ඒ කිසිවකු එහි සැබෑ අවශ්‍යතාව දැන සිටියේ නැත.


මේ අතර 20 වැනිදා දැන ගන්නට ලැබුණේ ඉහත හෝටල් හා වෙනත් ස්ථානවල කරන ලද වෙන්කර ගැනීම් සියල්ල එම හෝටල් විසින් අවලංගුකර ඇති බවකි. විශේෂයෙන්ම ඒ වනවිට ආණ්ඩුවට ලැබී තිබූ තොරතුරුවල සඳහන්ව තිබුණේ පොදු අපේක්ෂකයාට අදාළ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වීමට නියමිත බවයි.


මේ අනුව කබීර් කලින් වෙන් කරවා ගත් නව නගර ශාලාව මේ සඳහා ඇති එකම ස්ථානය බවට පත්විය. ඒ සමඟම කබිර් 20 වැනිදා තමාගේ තවත් හොඳම මිතුරකු වන කෙලී මහාරාජා මහතා මුණ ගැසී 21 වැනිදා පෙරවරුවේ තීරණාත්මක මාධ්‍ය සාකච්ඡාවක් නව නගර ශාලාවේ පැවැත්වෙන බවත් එහි සජීවී රූපවාහිනී ආවරණය ලබාදීමට කටයුතු කරන ලෙසටත් ඉල්ලා සිටියේය. කබීර්ගේ ඉල්ලීම පිළිගත් කෙලී මහාරාජා මහතා එම අවස්ථාවේදීම ෂෙවාන් ඩැනියල් මහතාට කථාකොට පසුදින සජීවී විකාශනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම් දුන්නේය. මේ අතර නොවැම්බර් 20 වැනිදා රාත්‍රියේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අරලියගහ මැදුරේ දී රැස්විය. එහිදී ජනාධිපතිවරණයට අදාළව ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් පත් කරනු ලැබීය. එම මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා අගමැති දි. මු. ජයරත්නය. එහි කැඳවුම්කරු මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාය. රත්නසිරි වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, ජෝන් සෙනෙවිරත්න හා අනුර යාපා සෙසු සාමාජිකයන්ය. සැබැවින්ම මෙම කමිටුව පත් කරන විටම එහි සාමාජිකයන් බවට පත්ව සිටි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම තමන්ව ගොනාට ඇන්ඳවීමට ජනාධිපතිතුමා ඇතුළු පවුලේ සාමාජිකයන් අවසන් වශයෙන් ද සැරැසෙන බව තේරුම් ගෙන හමාරය.


මන්දයත්, ජනාධිපතිවරණයට අදාළ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඊට මාස 3 කට පමණ පෙර බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපනය කරන ලදී. එම මෙහෙයුම් කාර්යාලයේ සියලු කාර්ය භාරයන් හා වගකීම් බැසිල් ඇමැතිතුමා තමාට නීතිගරුක පිරිසක් වෙත පවරා තිබූ අතර එම කාර්යාලය සුබ මොහාතින් විවෘත කරන දිනයේ පක්ෂයේ මෙම ජ්‍යෙෂ්ඨයන් කිසිවකුට ඊට සහභාගිවන ලෙස ආරාධනා කර තිබුණේ ද නැත. එම ක්‍රියාවලිය බැසිල් ඇමැතිතුමාගේ පෞද්ගලික ව්‍යාපෘතියක් පමණි. මේ හේතුව නිසාම ඉහත කමිටුවේ සාමාජිකයන්ගේ නම් යෝජනා වනවිටම ඔවුන්ගේ සිතට තමන් පිළිබඳ අභිමාණයක් ගෞරවයක් නොව දැනුණේ ලැජ්ජාවකි. විශේෂයෙන්ම මෙවන් දේශපාලන පරිසරයක් තුළ තවදුරටත් මෛත්‍රී ඇමැතිතුමා මඳකුදු වික්ෂිප්ත නොවී, පොදු අපේක්ෂක ව්‍යාපාරය පාවා නොදී, නොසැලී කිසිවකුගේ සැකයට ද භාජනය නොවී තම පරම අභිලාෂය වෙත පියමං කරන අවසන් හෝරා කිහිපය තුළදී පවා රාජපක්ෂවරු ඉදිරියේ හැසිරුණ ආකාරය නව මනෝ විද්‍යා ප්‍රවේශයකට වුවද දොර විවර කරයි.


පොදු අපේක්ෂක කථිකාව තුළ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ මනෝභාවයන් විග්‍රහ කරන කළ ඔහු පත්ව සිටි උභතෛා්කෝටිකයට අනුව එය අප කුඩා කාලයේ විසඳු එක් තේරවිල්ලකට” සමානය. එනම්, තොටියා විසින් කොටියා, එළුවා හා තම්පල මිටිය නිරුපද්‍රිතව ගඟෙන් එගොඩ කරන්නේ කෙසේද යන පුංචි තේරවිල්ලට සමානය. එනම්, තමාට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව බහුතරයක පිළිගැනීම හේතුවෙන් තමා තරග නොකරයි. ඒ සමඟම කෙසේ හෝ ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් කළ යුතුමය. තමා තරග නොකරන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා එජාප සාමාජිකයකු නොවිය යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කළ හැකි එජාපයේ නොවන වෙනත් පොදු අපේක්ෂකයක ජනාධිපතිවරණය ජයගත් කල වික්‍රමසිංහ මහතා අගමැති විය යුතුය. එම පොදු අපේක්ෂක ජනාධිපතිවරයා තමාට රාජ්‍ය පාලනයේ බලතල පවරා ඔහු නාමික ජනාධිපතිවරයකු විය යුතුය.


මෙම සාර්ව දෘෂ්ටි කෝණයෙන් බලන කල නොවැම්බර් මස මුල වනවිට රනිල් වික්‍රමසිංහ මහතා සිටි සංකීර්ණ දේශපාලන උභතෝකෝටිකය මෙයයි. මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුණ ගැසෙන්නේද මෙවැනි පරිසරයකය. එය එසේ වුවත් මෙම සංකීර්ණතාව හමුවේ පක්ෂ අභ්‍යන්තර බල අරගලයේ දී වික්‍රමසිංහ මහතාට තිබූ එකම ධනාත්මක සාධකය වූයේ එතුමාට එරෙහිව කරු පාර්ශ්වය හා සජිත් පාර්ශ්වය එක් මතකයකට නොපැමිණීමය. එහිදී කරු ජයසූරිය මහතා පොදු අපේක්ෂකයාවීම දැකීමට සජිත් පාර්ශ්වයේ කිසිවකුට අවශ්‍ය වූයේ නැත. මන්දයත්, සජිත් පාර්ශ්වයට අනුව එම ජනාධිපතිවරණයෙන් වික්‍රමසිංහ මහතා පරාජයවීම මිස කරු ජයසූරිය මහතා ජනාධිපති කරවීමට ඔවුන්ට අවශ්‍ය නැත. තවද, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කරවීම එම අවස්ථාවේ දී සජිත් පාර්ශ්වයේ සිටි පිරිසගේ න්‍යාය පත්‍රය තුළ නොවීය. 


ජනාධිපතිවරණයෙන් පසු පක්ෂයේ බලය ලබා ගැනීම පමණක් ඔවුන්ගේ අරමුණ විය. අවසානයේ රටේ බහුතර ජනතාවගේ පොදු අපේක්ෂක සිහිනය සැබෑ කරමින් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා ඉදිරියට පැමිණෙන්නේ මෙවන් පසුබිමකය. මෙම සමස්ත තර්කය සැබෑවක් නම් මෙහි සාර්ථකම ප්‍රතිලාභියා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාපයයි. අනෙක් අතට මොහොතකට මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවූයේ නම් ඉහත රනිල් වික්‍රමසිංහ මහතා හා ප්‍රමුඛ එජාපය මුහුණ දී සිටි සංකීර්ණතාවන්ගෙන් එකක් හෝ කිහිපයක් එකවිට සිදුවී ජනවාරි 9 වැනිදා අලුයම කියැවෙන ඡන්ද ප්‍රතිඵලය තුළින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්වීමට ඉඩ නොතිබුණේද? යන ප්‍රශ්නයද විවෘතව පවතී.

 

 

 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්