ජනපති ආර්යාවන්ගේ පුරාණය - 03

 

දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී සටන් කළ සේවා මුක්ත භටයෙකුගේ පුතකු වශයෙන් ඉපිද පොළොන්නරුවේ ඉඩම්ලාභියෙකු වූ පියාද සමග සියනෑ කෝරළයේ සිට රජරටට ගිය පවුලක සාමාජිකයෙකු ලෙස මෛත්‍රීගේ පරපුරට ලේඛනගත ඉතිහාසයක් හෝ රාජකීය ඥතීත්වයක් හෝ තිබුණේ නැත. ගම්පහ නගරයට ආසන්න ඔරුතොට සහ පහළ යාගොඩ යන ගම් දෙකේ මව්-පිය දෙපාර්ශ්වයම දුප්පත් ගැමි ජනයා වූ බව මෙයට පනස් වසරකට එහාදීත් දැනසිටි බව සඳහන් කිරීම ජනාධිපති මෛත්‍රීට කරන අගෞරවයක් නොවේ. 


ගම්පහ දේශපාලන නායකයාව සිටි ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මඩුගස්වලව්ව නිවසේ ඔහුත් මමත් චීන පිලේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුණු ආකාරය මෙසේ සිහිපත් කරන්නේ ඔහු ඒ සම්භාවනීය ජනාධිපති තනතුරේ නැති නිසාය. මෙසේ දුප්පත් ලෙස උස්මහත් වූ මෛත්‍රීට ජීවිතය පවත්වාගැනීම සඳහා රැකියාවක් කළ යුතුවිය. ඔහුට ලැබුණේ පොළොන්නරුවේ පලුගස්දමන විවිධ සේවා සමුපකාර සමිතියේ සැපයුම් නිලධාරි තනතුරයි. හැත්තෑව දසකයේ ආාරම්භය වූ කාලයේ රටේ උග්‍ර බඩු හිඟයක් පැවතියාක් මෙන්ම සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම මිලදී ගැනීමට තිබුණේ සමුපකාර වෙළෙඳසැල්වල පමණි. ඒ නිසා සමුපකාර සැපයුම් නිලධාරීන්ට එය කාර්යබහුල සමයක් විය. රට පුරා දුව ඇවිද භාණ්ඩ සොයාගෙන අවුත් ශාඛා වෙළඳසැල්වල අලවිකර ලාභ උපයා ගැනීමට කටයුතු කිරීමට ඔවුහු යුහුසුළු වූහ. පලුගස්දමන සමුපකාරය සතුව ලී අලෙවිකරන ව්‍යාපාරයක්ද තිබුණි. ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය දැව පහසු මිලට ලබාදීම එහි අරමුණ විය. මෙම දැව වර්ග රැගෙන ආවේ කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ලී මඩුවකිනි. මෙම කාර්ය සඳහා දිනක් මෛත්‍රී වැහැර ලී මඩුවේ සිටියදී අසල්වැසි තරුණියන් කීප දෙනෙකු එහි පැමිණ තිබුණේ දර සඳහා තම නිවෙස්වල පාවිච්චියට ගැනීමට ඉවතලන දැව කොටස් එකතු කරගෙන යාම පිණිසය. මෙහි සිටි එක් යුවතියක කෙරෙහි මෛත්‍රීගේ දෙඇස යොමුවිය. එය දෛවයේ නියමයෙන් යෙදුණු හමුවීමක් විය. සංසාරගත පුරුද්දකට මෙන් ඔවුහු නොබෝ දිනකින් පෙම්වතුන් බවට පත්වූහ. පේරාදෙණියේ පදිංචිව සිට පසුව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වූ ඩැනියෙල් සිල්වා මහතාගේ සහ එම බිරිඳ වූ හැරියට් සිල්වා මහත්මියගේ ආදරණීය දියණිය වූ ජයන්ති පුෂ්පමාලා යුවතිය පොළොන්නරුවේ ලක්ෂ උයනේ මෛත්‍රීපාල සිරිසේනයන්ගේ ප්‍රියාදර බිරිඳ බවට පත්වූයේ ආදරයට කොහිදෝ බාධා නැත්තේ යනුවෙන් සඳහන් වන පරිදි නොයෙකුත් බාධා හා අවහිරයන්ට මෙන්ම දැඩි ආර්ථික අපහසුකම්වලටද මුහුණ දෙමිනි.එහෙත් සරල සුන්දර මිනිසෙකු වූ මෛත්‍රීගේ දේශපාලන නැගීමට ජයන්තිගේ වාසනා ගුණයද බලපාන්නට ඇත.


මෛත්‍රීගේ ධුර කාලය නිමාවට පත්වෙමින් තිබියදී තවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු යෙදිණි. නැවත වරක් තරගයට ඉදිරිපත්වීමට අපේක්ෂා නොකළ මෛත්‍රී කරළියෙන් ඉවත්වීමට සූදානමින් සිටියේය. 2019 නොවැම්බර් 16 වැනිදා පැවති තීරණාත්මක ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වී මෙරට හත්වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීම් ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාය.


පසුගිය සති දෙක තුනේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ගැනත් එම පරපුර ගැනත් කොතෙකුත් දේ පුවත්පත් සඟරා ආදීයේ පළවිය. මමද ලීවෙමි.


එහෙත් ඒ කිසිදු තැනක නව ජනාධිපති ආර්යාව නොහොත් ප්‍රථම කාන්තාව ගැන සඳහනක් තිබෙනු මම නම් නොදුටුවෙමි. අනුරාධපුරයේ පැවති ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාවේදී පවා ඇය ගැන විශේෂ හඳුන්වාදීමක් සිදුනොවීම විශේෂත්වයකි. ඇය කරළියට කැඳවාගෙන තවත් මොණර කිරිල්ලියක් බිහිකිරීම නව ජනාධිපතිවරයාගේ අපේක්ෂාව නොවූවා විය හැක. එහෙත් ඇය කව්දැයි දැනගැනීමට පාඨකයෝ කුතුහලයෙන් පසුවෙති. මෙම ලිපියේ මාතෘකාවට අදාළවන නිසාත් මෙම සුළු විස්තරය මෙහිලා සඳහන් කිරීම ගැන එම දෙදෙනාම මා කෙරෙහි උරණනොවුණු ඇතැයි උදක්ම විශ්වාස කරමි.

 

 


මැද මුලන වැසි ඩී. ඒ. රාජපක්ෂ මහතා වරක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ තවත් දිගු කලක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන්ද සේවය කරන ලද්දේ වුවද එය ධනය උපයන මාර්ගයක් කර නොගත්තේය. පාරම්පරික දේපළ විකුණමින් එම කටයුතු කළා පමණක් නොව ලැබුණු දෙයක් වීනම් (වැටුප) උදව් පතා එන ඕනෑම කෙනෙකුට නොමසුරුව පරිත්‍යාග කළේය. නාමයෝජනා දීමට යන මොහොතේත් කුඹුරේ සීසාමින් සිට වක්කඩෙන් අත සෝදාගෙන එම ලියවිලිවලට අත්සන් තැබූ බව කියවුණත් මන්ත්‍රීවරයෙකු වූ පසුව එම කටයුතුවල යෙදීමටවත් ඔහුට කාලයක් නොවීය. ගොඩ ඉඩම් නඩත්තුවක් නොමැතිකමින් වල්බිහිවී ගියේය. පසුකාලීනව එදිනෙදා දිවි පෙවෙත ගෙන යාම අසීරුවන තැනට කටයුතු සැලසුණි. ඒ නිසා දරුවෙකු රැකියාවක නිරතවීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබුණි. මේ වන විට එම පවුලේ වැඩිමහල් පුත් චමල් පාසල් අධ්‍යාපනය නිමවා සිටියේය. ඔහු උප පොලිස් තනතුරක් සඳහා තෝරාගනු ලැබ බණ්ඩාරවෙල පොලිසියේ රාජකාරි භාරගැනීමට නියමිතව සිටියේය. මෙම කාරණයේදී දන්දිනා රාජපක්ෂ මාතාවට පැනයක් මතුවී තිබුණි. “තම දරුවා පොලිස් බැරැක්කයේ නේවාසිකව නැවතුණු පසුවඛි එය ඒකාකාරී ජීවිතයක් වනු ඇත” එමෙන්ම ඔහුට ඉඳහිටවත් කටට රසට ආහාර වේලක් නොලැබෙනු ඇත. රුහුණේ අයට සුපුරුදු මී කිරි ටිකක් ගැනීමට ඉඩක් හෝ උනන්දුවක් මේ දරුවා නොදක්වනු ඇත.” ආදී වශයෙනි. ඕනෑම මවක් ගෙදරින් පිටවීමට සූදානම් වන ආදරණීය දරුවෙකු කෙරෙහි සෙනෙහසින් යුතුව සිතන චින්තාවලිය මෙම මාතාවගේ සන්තානයෙහිද පැනනැගීම ස්වභාවික විය. මෙයට පිළියමක් වශයෙන් බණ්ඩාරවෙල නගරයේ වෙසෙන තම මිතුරෙකු ගැන සිහිපත් කළ ඩී. ඒ. රාජපක්ෂ මහතා, චමල්ට ඒ නිවසෙන් ආහාරගැනීමේ පහසුව සලස්වා දුන්නේය. නමින් ලූකස් පීරිස් නම් වූ මෙම ඩී. ඒ. ගේ හිතවතා සහ ඔහුගේ බිරිඳ වූ පද්මා දේවි චමල්ට තම පවුලේම දරුවෙකුට මෙන් අවශ්‍ය පහසුකම් සලසා දුන්හ. කලක් ගතවෙද්දී ලූකස් පීරිස් පවුලේ අය බණ්ඩාරවෙල පදිංචිය හැර දමා කොළඹ නගරයට තදාසන්න ප්‍රදේශයකට සංක්‍රමණය වූහ. ඒ නුගේගොඩ ආසන්නයටය. මේ වන විට නීති විද්‍යාලයේ ඉගෙනීම ලැබීම සඳහා චමල්ගේ මලණුවන් වූ මහින්ද රාජපක්ෂයන් කොළඹට පැමිණියේය. ඈත රුහුණේ සිට පැමිණි මහින්දට සෙවණ සැලසුණේද නුගේගොඩ මිරිහානේ පිහිටි ලූකස් පීරිස් දම්පතින්ගේ නිවසේය. කාලය ගෙවීයද්දී තවත් බොහෝ දේ සිදුවිය. රාජපක්ෂ පවුලේ කුඩා දරුවෝද වැඩෙමින් සිටියහ. ඒ අනුව පවුලේ දියණියන් වූ ප්‍රීති සහ ගාන්ධිනීද කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරන ලදුව මේ දෙදෙනා ගැන සොයා බලා කටයුතු කිරීමටද පීරිස්වරු කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. එයට තවත් හේතුවක්ද තිබුණි. ලූකස් පීරිස්ගේ දියණිය වූ අයෝමාද මේ වන විට විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියාය. සම වයස්වල සිටි ප්‍රීති, ගාන්ධිනී සහ අයෝමාද මිතුරියෝ වූහ. රාජපක්ෂ පීරිස් පවුල්වල සාමාජිකයෝ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළහ. තම සොයුරියන් දැක බලා ගැනීම සඳහා ගෝඨාභයද නිතර ඔවුන් හමුවූවේය. මේ වන විට ඔහු යුද හමුදාවේ නිලධාරියෙක්ව සිටියේය. කටුක හමුදා නිල ඇඳුමෙන් වැසී තිබුණත්, ආදරය, ආලය, ප්‍රේමය යනුවෙන් හැඳින්වෙන මානුෂ්‍ය හැඟීම් තරුණ හදවතක ජනීතවීම පුදුමයක් නොවේ. මේ අයුරින් ගෝඨාභය සහ අයෝමා පෙම්වතුන් බවට පත්වූහ “චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ” යයි අපි තරුණ කාලයේ අසා ඇත්තෙමු. ඒ අයුරින්ම ඔවුහු 1980 අගෝස්තු 6 වැනි දින විවාහ වීමෙන් පෙම් කිරුළ පැලඳුහ. ගෝඨාභය රාජපක්ෂ මහතා අද වන විට ජනතා වරමින් බලයට පත්වූ ජනාධිපතිවරයාය. ඔහුගේ බිරිඳ හෝ පෙරකල හැඳින්වූ අයුරින් නම් ජනාධිපති ආර්යාවය. එහෙත් ඔවුන් ඒ පැරණි රාමුවෙන් මිදී එම ගරුසරු අභිමානයන් අතහැර සාමාන්‍ය ජනතාවගේ නායකයා සහ ඔහුගේ බිරිඳ වශයෙන් කටයුතු කිරීමට සූදානම් වන සෙයක් අපට පෙනේ.


සමාජය ගැන අපට අත්දැකීම් බහුලය. ඒ අනුසාරයෙන් කල්පනා කරන විට ඉතා කැපවීමෙන් ධෛර්යෙන් සිය සැමියා විසින් ගොඩනගා ගන්නා ලද දේශපාලන ප්‍රතිරූපය කෙටි කලකින්ම විනාශ කළ ප්‍රභූ බිරින්දෑවරුන් ගැන අපි අසා ඇත්තෙමු. තමා ස්වාමියා, “හාමුදුරුවන් කළ අය මෙන්ම පොදු ජනතාව වෙතින් දහඩිය ගඳ හමන්නේ”යයි කියූ අය ගැනද අපට මතකය. අපේ ආර්යාවන් අතරද එවැන්නන් සිටියා වන්නටත් පුළුවන. ඒවා ගැන අපි කථා නොකරමු. අදාළ වන්නේත් නැත. කෙසේ වුවත් අවවාදයට වඩා ආදර්ශය උතුම්යැයි කීවාක් මෙන් මෙවර ඉහළින්ම ලබා දී ඇති ආදර්ශයට අනුගතව කටයුතු කළහොත් අපේ රටටත් සුබ අනාගතයක් එළඹෙනු ඇත.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි