ජන නායකයන් රජ ගෙදරින් නික්මයාමේ පුරාණයෙන් 02

 

මේ ටික දිනකින් උදා වූ වෙසක් දිනයේ එම උත්සවයේ අසිරිය දැක බලා ගැනීමට කොළඹට ඇදී එක දහස් සංඛ්‍යාතඅ බොදුනුවන්ට තේ පැන් දන්සැලක්, අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ බලධාරීහු එසේ පැමිණෙන ජනයාට එම මන්දිරයේ ඇතුළත නැරඹීමටත් එහි පවතින සුඛෝපභෝගී බව ගැන අදහසක් ඇති කර ගැනීමටත් අවස්ථාව සලසා දුන්හ. තම නිල කාලය සම්පූර්ණයෙන්ම බලයේ සිටි ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ඩඞ්ලි සේනානායක මහතා නැවත මහා මැතිවරණයකට මුහුණ දුන්නේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැතිවය. එවැනි බලාපොරොත්තු ඇති කර ගැනීමට ඔහුට හොඳටම හේතු තිබිණි. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඇති කළ විශාලම සංවර්ධන ව්‍යාපෘතිය වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම නොයෙකුත් බාධක මැද ආරම්භ කිරීමට එම රජය සමත්ව සිටියේය. එමෙන්ම එකල පැවති සහල් සහනාධාරය අනුව රටේ සෑම පුරවැසියෙකුටම සතියකට සහල් සේරුවක් බැගින් නොමිලයේ ලබාදීමට සලස්වා තිබුණි. 
කෑගල්ල කච්චේරියේදී ඩඞ්ලි තරග කළ දැදිගම ආසනයේ ඡන්ද ගණන් කිරීම් කටයුත්තට සහභාගී වූ අගමැතිවරයා උදෑසන වුඞ්ලන්ඞ්ස් මන්දිරයට ආවේ රැයක් නිදි මරා බොහෝ වෙහෙස මහන්සියෙන් යුතුවය. නිවසේ සිටි හිතවත්තු ඔහු වෙතට ගියේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. 


‘මට ඉක්මනට උඩට යන්න ඕනෑ. බඩ හිස් කර ගන්න’ කියමින් අගමැතිවරයා උඩුමහලට දිව්වේය. අගමැතිවරයාගේ සමහර හිතවතුන්ට අවශ්‍යව තිබුණේ ලබමින් තිබෙන පරාජය නොතකා බලය රැකගැනීම සඳහා යම් කිසි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටය. ආපසු පහළට පැමිණි අගමැති ඩඞ්ලි හමුවට පැමිණි ප්‍රවෘත්ති ලේකම් නිමල් කරුණාතිලක මහතා පැවසුවේ “සර් අපි ඉක්මනට කැබිනට් මණ්ඩලය කැඳවමු. එයින් පස්සේ තීන්දුවක් ගනිමු” කියාය. මහ හඬින් සිනාසුණු අගමැතිවරයා විමසා ඇත්තේ “මොන කැබිනට් මණ්ඩලයක් ද? ඒ අය ඔක්කොම පරාදයි” යනුවෙනි. තීන්දුව එහි ගැබ්ව තිබුණි. කිසිවෙකු හෝ යමක් නොදෙඩුවේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දෙවැනි රජය දිව්රුම් දුන්නේය. ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් සමග රජය තුනෙන් දෙකකටත් අධික බහුතර බලයක් සහිතව පිහිටු වූ එම රජය ඉතා බලවත් බව පෙනී ගියේය. 
ඩඞ්ලි සේනානායක මහතා 1973 අප්‍රියෙල් 13 වැනිදා පරලෝ සැපත් වූයෙන් එ.ජා.ප. නායකත්වයට පැමිණියේ ජේ. ආර්. ජයවර්ධනය මහතාය. ඔහුගේ උපක්‍රමයන් සහ නොයෙකුත් හේතූන් මත රජය අප්‍රසාදයට පත්ව තිබීම හේතුවෙන් එම මැතිවරණය ජයගැනීම අතිශය දුෂ්කර බව ශ්‍රී.ල.නි.ප. නායකයන්ට මෙන්ම පසුපෙළ අනුගාමිකයන්ට ද බොහෝ දුරට වැටහී තිබුණි. ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු තමන්ගේ ජීවිත බේරාගන්නා අන්දම තීරණය කර ගැනීමට ක්‍රම සහ විධි සොයා ගැනීමට අනුගාමිකයෝ පෙළඹුණහ. 
මේ පිළිබඳව මගේ අත්දැකීම සිහියට නැගේ. 1977 මැතිවරණය වන විට ගම්පහ නමින් දිස්ත්‍රික්කයක් වෙන්ව තිබුණේ නැත. එය කොළඹ දිස්ත්‍රික්කයට අයත්ව පැවති අතර මිනුවන්ගොඩ සහ ගම්පහ වැනි ආසනවල ඡන්ද පෙට්ටි ගණන් කිරීම සඳහා රැගෙන ගියේ කොළඹ කච්චේරියටය. එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ගණන් කිරීමේ නියෝජිතයන් පස් දෙනෙකු සහභාගී කරවීමේ ක්‍රමයක් එකල ක්‍රියාත්මක විය. ඒකල ආසන ක්‍රමය යටතේ පැවති එම ඡන්දයේදී ඡන්ද පෙට්ටි රැගෙන යන විට උද්යෝගීමත් සමහර පාක්ෂිකයෝ පෞද්ගලිකව සපයා ගත් වාහන රැගෙන මෙම ඡන්ද පෙට්ටි ගෙන යන රජයේ වාහන පසුපස ගමන් කරති. 
මහ මඟ දෙපස රැඳී සිටින ආධාරකරුවෝද තම පක්ෂවල වර්ණ සහිත සංකේත ප්‍රදර්ශනය කරමින් ජයවේවා කියමින් ආචාර කරති. මැතිවරණ උණුසුම ඉහළටම නැගී තිබෙන මේ මොහොතේ මිනුවන්ගොඩ සිට කොළඹට යන තුරුම මං දුටුවේ නිල්පාටට සුබ පතන්නන් බොහෝ අඩු බවය. ජා-ඇළ - වත්තල වැනි පෙදෙස් පසු කරගෙන යද්දි එවැන්නන් නැති තරම් විය. 


නිල් පාටට අත්විය නැති ඉරණම කුමක් විය හැකි දැයි අප ගමන් ගත් වාහනයේ යාබද අසුනේ සිටි රෙජි රණතුංග මහතාගෙන් මම විමසුවෙමි. ලැබුණු පිළිතුර වූයේ “ඒක මැඩම් බලා ගනීවි” යන්නයි. මම සතුටට පත් වීමි. කච්චේරියේ ඡන්ද ගණන් කරන අවස්ථාවේදී නිවේදනය වූ ප්‍රතිඵල අනුව සමන්තුරේ ආසනයේ සිට විශාල ආසන ගණනක් එ.ජා.ප.ය. ජයග්‍රහණය කර තිබුණි. අත්තනගල්ල ආසනයේ ප්‍රතිඵල නිවේදනය කරන තුරු ශ්‍රී.ල.නි.ප. ජයග්‍රහණයක් අසන්නට නොලැබුණි. එම අසුනේ ද වැඩි ඡන්ද සංඛ්‍යාව බොහෝ සෙයින් පහළ වැටි තිබුණි. අලුයම වන විට එම පක්ෂය අන්ත පරාජයකට පත්ව සිටින බව අපි තේරුම් ගතිමු. 


අනාගතය පිළිබඳව ඇති වන බිය නිසාම නිතර නිතරම වෙන්නට යන්නේ කුමක් දැයි මම රණතුංග මහතාගෙන් විමසුවෙමි. ඒ ඔහුට බලවත් තැන්වලින් තොරතුරු ලැබෙන බැවින් හිසට සැහැල්ලුවක් ලබා ගැනීමේ අටියෙනි. ඔහු තුළත් එම සැකය තිබෙන බව මම දැන සිටියෙමි. උදෑසන රණතුංග මහතා දුන් පිළිතුරෙන් මම දිරිමත් වීමි. “අපි යමු හොරගොල්ලට මැඩම්වත් හමුවෙලා කරන්නේ මොකක්ද? කියා අහමු.” කියා වාහනය රැගෙන කච්චේරියෙන් පිටවුණේ එම 404 රථයෙන් අප ගමන් ගන්නා අවසාන අවස්ථාව බව නොදැනය. අපි හොරගොල්ලේ අගමැති නිවසට පැමිණයෙමු. තවත් අගමැති ධුරය දරමින් සිටි සිරිමාවෝ මැතිනිය හිතවතුන් ඥාතීන් සහ ආධාරකරුවන් විසින් පිට කරනු ලැබ සිටියාය. 
වෙනදාට උස් හඬින් සිනාසෙන කතා බහ කරන අයගෙන් පිරී පවතින අගමැති නිවස මළ ගෙදරක් නොව අමු සොහොනක් විය. ඒ වන විටත් ගම්පහ අසුන ජයගෙන සිටි ඇස්. ඩි. බණ්ඩාරනායක මහතා මෙන්ම මහරගම ආසනයෙන් පරාජයට පත්ව සිටි ස්ටැන්ලි තිලකරත්න හිටපු කතානායකවරයාත් එහි සිටියා මට මතකය. පිරිස අතරින් මැතිනියට කිට්ටු වූ රෙජී රණතුංග මහතා ‘වෙන්න යන්නේ කුමක් දැ’ යි අගමැතිනියගෙන් විමසුවේය. කිසිඳු ආරක්ෂක භටයෙකු නොසිටි ඒ මොහොතේ මම ද ඒ අසලට රිංගා ගත්තේ අලුත්ම තොරතුරක් දැන ගැනීමේ කුතුහලයෙන් යුතුවය. මැතිනිය පිළිතුරු දුන්නේ ‘මම ඉක්මනින්ම පියවරක් ගන්නවා’ යි පවසමිනි. අපි හිත හදා ගත්තෙමු. මේ කියන්නේ ආණ්ඩුව භාර නොදී දිගටම බලයේ සිටීමක් යැයි අපි බොහෝ දෙනා නිගමනය කළෙමු. සතුටු සිතින් අපි ආපසු උඩුගම්පොළට පැමිණියෙමු. ටික වේලාවකින් දැනගන්නට ලැබුණේ අගමැතිනිය ඉල්ලා අස්වූ බවයි. රට පුරා භීෂණය පැතිර ගියේය. රණතුංග මහතා පදිංචිව සිටි නිවස ඇතුළු ඔහු සතුව පැවති සබ්බ සකල මනාවම මැරයින් විසින් ගිනි දෙවියාට පුද දෙනු ලැබීය. 
අප කච්චේරියේ සිට පැමිණි 7 ශ්‍රී 7272 දරන 404 මෝටර් රථය ද අළු ගොඩක් බවට පත්ව තිබුණි. එදා පැවති ජනතා අභිමතය මෙතරම් පැහැදිලිව දක්නට ලැබෙද්දි ආණ්ඩුව භාර නොදී සිටීමට හැකියාවක් නොතිබුණු බවත් එසේ වූවා නම් ඒ ජනතා රැල්ල මත සිවිල් යුද්ධයක් ඇතිවිය හැකිව තිබුණු බවත් ඉදිරි අනාගතය ගැන බියට පත්ව සිටි අපට වටහා ගත නොහැකි වූයේ විවාහ දිවියට පිවිසිීම සඳහා මා ඒ වන විට දැන්වීම් ප්‍රකාශයට පත් කර තිබුණු නිසාය. 


මේ ආකාරයට නායකයෝ එති, යති. බෞද්ධ ඉගැන්වීමට අනුව ‘වෙනස් වන සියල්ලක් ඇති ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම’ යැයි කියමනක් තිබේ. ‘රාජ්‍ය පාලකයා යනු රාජ්‍යයේ හිමිකරුවා නොව භාරකරුවා’ යැයි මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළහ. රාජ්‍ය පාලනය යනු පිරුවටයක් යැයි අතීතයේ අපේ වැඩිහිටියෝ පැවැසූහ. එහි අරුත වන්නේ තාවකාලිකව භාරගෙන ආපසු දිය යුතු දෙයක් බවය. පිරුවටය සුදු පැහැයෙන් යුතු සුපිරිසිදු රෙදි කඩති. එහි මල මුත්‍ර තවරා ගතහොත් ආපසු භාර දීමට නොහැකි තත්ත්වයකට පත් වීම වැළැක්විය නොහැක. ඒ නිසා රාජ්‍ය පාලනය නමැති පිරුවටය ආපසු භාර දිය හැකි අයුරින් පිරිසිදුව රැකගැනීම පාලකයන්ගේ මහඟු වගකීම බව සඳහන් කරන්නේ උපේක්ෂාවෙන් යුතුවය.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි