IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න මොරිස් විජේසිංහ

සත්සර

 

බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලයේ පාසල් ගීතය ගැයූ පසළොස් හැවිරිදි ළමයෙකු උච්ච ස්වරයෙන් අනික් සිසුන් අබිබවා ගී ගයනු පාසලේ සංගීතය හා සිංහල භාෂාව ඉගැන්වූ මර්සලීන් ජයකොඩි පියතුමා වීමසිල්ලෙන් බලා සිටියේය. මේ ළමයාගේ විශේෂ ගායනා කුසලතා පියතුමා හඳුනාගත්තේ දෙහිවල සාන්ත මේරිස් දේවස්ථානයේ ගීතිකා කියන අවස්ථාවේදීය. 


ඉංග්‍රීසි ගීත ගැයූ මේ ළමයාට සිංහල ගීත ගැන උනන්දුවක් ඇති කිරීමට මුල් වූයේද ජයකොඩි පියතුමාය. සුනිල් සාන්ත හා සී.ටී. ප්‍රනාන්දුගේ ගීත කෙරෙහි බානි නම් මේ ළමයා දැඩි ලෙස උනන්දු වූයේය. ඔහුට හිමිව තිබුණේ ඔහුම කියන පරිදි දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කළ කටහඬක්ය. 


“කවුද මෙ බානි” 


මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ නම් චිත්‍රපට පසුබිම් ගායකයකු විවිධ යුරෝපීය භාෂා කිහිපයකින් තරු පහේ හෝටල්වල ගී ගැයූ ගායකයකු ගිටාර් වාදකයකු ලෙස විදේශිකයන් පුන පුනා අගය කළ සම්මානනීය ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනුණේ අසූව දශකයේදීය. 


ඔහු කලා ක්ෂේත්‍රයට එක්වෙන්නේ තම පෙළපත් නාමයව තිබූ තමාගේත් කැමැතිම නම ව බානි නාමයත් සහිත මොරිස් බානි විජේසිංහ නමිනි. 1941 ඔක්තෝබර් 16 වැනිදා ගල්කිස්සේ උපත ලැබූ ඔහු හත් දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ ශාන්ත පීටර්ස් විද්‍යාලයෙනි. 


“මම පුංචි කාලේ ඉඳලම සංගීතයට ආසා කළා. බටහිර සංගීතය ඇතුළත් ගී තැටි ඇහැව්වා. ඒ විතරක් නෙවෙයි. ස්පාඤ්ඤ ඉතාලි ප්‍රංශ ගීත අහලා ඒවා අනුකරණය කළා. පාසලේ දී මගේ හොඳම පන්ති මිත්‍රයා වූ නිහාල් ෆොන්සේකා සමග විද්‍යාලයේ ඔපෙරා සංගමයට බැඳී කටහඬ ගැන අභ්‍යාස කළා. අද මගේ මිත්‍රයා ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝවලයි. ජයකොඩි පියතුමා අපට අපේකම අපේ සංස්කෘතිය දේශීය සංගීතය ගැන උනන්දුව ඇති කළා. බටහිරටම හුරුව තිබූ ගායන ශෛලියට සිංහලකම ඇති කළේ ජයකොඩි පියතුමා. සිංහල ජනකවිය, වන්නම, ජන ගීය ගැන දැනගත්තේ මේ පියතුමාගෙන් මොරිස් කීවේය. 


මොරිස්ගේ ගායන ශෛලිය ඇලුම් කළ අපූරු සහෘදයෙක් සිටියේය. ඔහු රන්ජිත් ලාල් සිල්වා ය. රන්ජිත් ලාල් නමින් චිත්‍රපට ලෝකය හඳුනාගත්තේ 1969 ආනන්ද විද්‍යාලයේ ඉගෙනීම ලබන කාලයේදී තම මිතුරන් සමග එක්ව නිම්වළල්ල වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කළ තරුණයාවය. නිම්වළල්ල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයාය. රන්ජිත් ලාල් මොරිස්ගේ හඬ ගැන අතිශයින්ම පැහැදී සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ට මොරිස් හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලය වූයේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ඉන්දුට මල් මිටක් චිත්‍රපටයේ තේමා ගීතය ගැයීමට අවස්ථාව ලබා දුන්නේ කේමදාස මාස්ටර්ය. මේ ගීතය රචනය කළේ ධර්මසිරි ගමගේය. 


මා දෙනෙතේ රසඳුන් කඳුලක් පවතිවා ඒ සිහිනේ අවසන් නොවෙමින් පවතීවා. 


පෙරදා අඳුරින් සුළඟින් පාවීලා 
සැමදා සුවදුක් දැහැනින් මුදවාලා 
මධු මී සිතකින් පැතුමන් පුරවාලා 
ඔබ මා සිටියේ සිහිනෙන් තනී වීලා 
ඔබ පෑ සඳුවන් කුලුණින් නැහැවීලා 
දුටුවේ පෙරුමන් පුරමින් සැනහීලා 
රැඳුනේ නිවමින් සැණෙකින් ගිලිහීලා 
ඔබ මා දුටුවේ සිහිනෙන් තනිවීලා 


ඉන්පසු කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ පාර දිගේ, හංස විලක්, සප්ත කන්‍යා, සිව්රඟසේනා චිත්‍රපටවල ගීත ගැයූ මොරිස් වෙස් මුහුණු, දෑකැති මුවහත, නෑදෑයෝ ටෙලි නාට්‍යවල ගී ගැයීය. නෑදෑයෝ ටෙලි නාට්‍යයේ ඔහු ගිටාරය වයමින් රඟපෑවේය. 


මොරිස් විජේසිංහ ගී ගැයූ කැසට් පට ගීතයක් තුළින් යළි ඉපදුනේය. මේ ගීතය රචනා කළේ උපුල් ශාන්ත සන්නස්ගල විසිනි. සංගීත නිර්මාණය නවරත්න ගමගේ ගෙනි. 
“ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න සෞම්‍ය සඳ සේමා. 


ඔබ නැතුව බැරුවා 
ඔබ නොදැක බැරුවා 
මග සොය සොයා 
රුව සනසලා 
සත්තකයි මං ඔබ ඇතැයි සිතුවා
මම පෙරුම් පිරුවා 
ඔබ එතැයි සිතුවා 
මග බල බලා 
නෙතු දව දවා 
රත්තරං මං මග බලා සිටියා. 


මේ ගීතය විද්‍යුත් මාධ්‍යවලින් අතිශයින්ම ජනප්‍රිය විය. ඒ ගැන සංගීතවේදී නවරත්න ගමගේ පවසන්නේ මේ කතාවය. 


“1983 වසරේ මම ප්‍රසිද්ධ හෝටල්වල කැලිප්සෝ ගායකයෙක්. මඩකළපුවේ පාසිකුඩාවල මමත් රංජිත් පෙරේරා ටයිටස් කියන තුන් දෙනා සින්දු කියනවා. අපේ කණ්ඩායමේ ගැඹුරු අසමාන කටහඬක් තිබුණේ රංජිත්ට. මම දවසක් ඇහැව්වා. රංජිත් ඔයා ඔය විදිහට සින්දු කියන්න ට්‍රේනිං වුණේ කොහොමද කියලා. 


රංජිත් කිව්වා ගලිකිස්සේ ඉන්නවා මොරිස් විජේසිංහ කියලා සිඟර් කෙනෙක්. එයාගෙන් මම කටහඬ ට්‍රේනිං කර ගත්තා. ගෝලයා මෙහෙම නං ගුරා කොහොම හිටියිද කියලා මම හිතුවා. ඔය කාලේ උපුල් ශාන්ත සන්නස්ගල සින්දු කැසට් එකක් කරන්න සැලසුම් කළා.”


“මේක කියන්න ගන්නේ කවුද” කියලා උපුල් ශාන්ත මගෙන් ඇහුව්වා. 


“මචං මේකට ගැළපෙන අලුත් කට හඬක් තියෙනවා. මම මිනිහව දැකලවත් නැහැ. අපි සින්දුව හදා ගෙන එයාව හමුවෙමු” 


“උඹ කැමැති නම් මට කමක් නැහැ ඉල්ලන ගාණක් දෙමු.” 


අපි ගල්කිස්සේ මොරිස් සොයා ගෙන ගියා. අපි ඔහුට ගීත අහන්න සැලැස්සුවා. එයා සින්දුවටත් තාලයටත් කැමැති වුණා. 


“මොරිස් කොහොමද ඔයාගේ අය කිරීම්. 


“මම සල්ලි පිටිපස්සේ යන කෙනෙක් නෙවෙයි. අපි මේ ගීතය හොඳට කියමු” මොරිස් කිව්වා. 


මේ ආකාරයෙන් මොරිස් ගැයූ ‘ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න” ගීතය ජනප්‍රිය වූයේ ඔය ආකාරයෙනි. මොරිස් වඩාත් අගය කළ ගායකයා වූයේ නෙවිල් ප්‍රනාන්දුය. නෙවිල් ගැයූ ගීත අතරින් වඩාත් ආදරය කළ ගීතය වූයේත් ආදරය කළේත් රන් සළු චිත්‍රපටයට ගැයූ බඳුන් පිරි ඉතිරෙන මී ළඳුන් ලවන් නුරා ගීතයයි. 


‘නවා මම කැමැතියි බඳුන් පිරී වගේ සින්දුවක් කියන්න’ දිනක් මොරිස් නවරත්න ගමගේට කීවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නවරත්න ගීත රචක කුමාර ලියනගේට කියා ගීතයක් රචනා කර මලවි මධුර අවිදුනු සඟවා නුරා බඳුන් පුරවා මේ ගීතයත් වසන්ත කුමාර කොබවක ලවා සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ මල් පිපී දැයි බලන්න ටෙලි නාට්‍යය සඳහා මට කඩා වැටෙන්න දෙන්න වැහි රැල්ලකත් වාගේ ගීතයත් රචනා කර ගත්තේය. මොරිස් මේ ගීතය ගැයුවේ ඉන්දිකා උපමාලි සමගය. ආචාර්ය අජන්තා රණසිංහ රචනා කළ ඈත සිතිජයේ ගීතය රංජිත් කුරුප්පු අධ්‍යක්ෂණය කිරීමට සිටි පුතුනි හඹා ගිය චිත්‍රපටයට මොරිස් ගැයුවේය. 


රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණය කළ එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ සප්ත කන්‍යා චිත්‍රපටයෙන් මොරිස්ගේ හඬ ස්ථාවර විය. එහි ගීත රචකයා වසන්ත කුමාර කොබවකය. 


දූවිල්ලෙන් වත්සුනු තවරා 
කුමර කුමරියන් වී ළෙන්ගතු ඇසුරේ 
රහස් බැලුම් දෙන හැන්දෑවේ 
නන්නාදුනනා 
කය මිස සිත නැති පුරවරයේ 
කවුරුන් හෝ තුරුලේ නිමේෂයක් කොඳුරමි රහසින් 
ආ ගිය උන් හිටිතැන් සඟවා 
උකුසු ඇසක් ගෙන කුරුලු වෙසක් ගෙන 
පියඹා යාවී මොණර කිරිල්ලී 
ගිනි කඳු සිරසේ මළපුඩු අතරේ 
කැදලි සදාවී මොණර කිරිල්ලී 
රැයකින් රැයකට කුස පිරෙනා 
සඳ සෙවණැල්ලේ 
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ 
රහස් බැලුම් සඟවා 
සැඩ සුළඟේ මුල් ඉදිරි යන ගස මුදුනේ 
නූපන් දවසේ රන් කිරි කඳුළේ
හීන දකිවි මොණර කිරිල්ලී 


මොරිස් හා දමයන්ති ජයසූරිය ගැයූ යුග ගීතයක් සරත් ගුණරත්න අධ්‍යක්ෂණය කළ වත්සලා අක්කා චිත්‍රපටයට ඇතුළත් වුණා. සරත් විසින්ම මේ ගීතය රචනා කළේය. 


“සිහිනෙන් ගෑ සුවඳ ආදරේ 
සදා කාලයෙන් සදා කාලයට 
පෙමින් වෙළුණු 
පෙමින් වෙළුණු” 


තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ මහගෙදර චිත්‍රපටයේ පැරණි ගීතයක් එයි. එහි මුල් ගීතය මුලින්ම ගයා ඇත්තේ යූ.ජී.පී. ද සිල්වා. සරත් ප්‍රනාන්දුගේ නව සංගීතය යටතේ මේ ගීතය ගැයුවේ මොරිස් විජේසිංහ, චිත්‍රා සෝමපාල, නීලා වික්‍රමසිංහ, උපාලි රංජිත් විසිනි. 


‘නිල් අහස් තලේ අගෙයි 
නෑ වලාකුළු 
ලස්සනයි පුරා හඳේ 
රැස් විහීදිලා 


චිත්‍රපටයේ මොරිස් ගයන මේ කොටස ගායනා කරමින් රඟපෑවේ විජය කුමාරතුංගය. 


මොරිස් ගැයූ අනික් ගීත අතර ‘ඔබ යන්න ගියා මට එන්න නොහැකි ඈතක (ගීත රචනය/වසන්ත බණ්ඩාර දුක්ගන්නා රාළ/සංගීතය සමන්ත පෙරේරා) අතීතයේ අමිහිරි මතකය ගීත රචනය අරුණ කිත්සිරි/සංගීතය එච්.එම්. ජයවර්ධන, ප්‍රේමය තැවරූ හිමිදිරියක් ඒවි (සංගීතය එච්.එම්. ජයවර්ධන ජුලියට්ගේ භූමිකාව චිත්‍රපටයේ, මතුරා සවනට රෝමියෝ කුමරුට (සංගීතය/ප්‍රේමසිරි කේමදාස) 


සොයුරු තෙරේ ඇය වියන්නේ ආද​ෙර් (සංගීතය/ප්‍රේමසිරි කේමදාස) රතු මල පිනිබිඳු සලයි (ගීත රචනය ලූෂන් බුලත්සිංහල සංගීතය ප්‍රේමසිරි කේමදාස 


මොරිස් විජේසිංහ තම ගායන හැකියාව උච්චාරණය ආදිය ඉගෙන ගෙන තිබෙන්නේ ලයිලි ගොඩ්රිජ් නම් ගායන ශිල්පියාගෙන් බවත් ඔහු සමග Colombo Singers කණ්ඩායමට බැඳී ගීත ගැයූ බවත් ඔහුගේ බිරිඳ මරිනා විනෝදනී පෙරේරා පවසන්නීය. 


“මට මොරිස් මුලින්ම හමුවුණේ අපි වාද්දුවේ, මොල්ලිගොඩ ඉඳලා තාත්තාට කොළඹ රැකියාවක් ලැබිලා දෙහිවල පදිංචියට ආව දවස්වල. අපේ ගෙදර ගාව ගෙයක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයකු ව සිටි කාල්ටන් සෙනෙවිරත්න හිටියා. මේ ගෙදරට මොරිස් ආව ගියා. මම ඉගෙන ගත්තේ බම්බලපිටියේ හෝලි ෆැමිලි කොන්වන්ට් එකෙයි, කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ. මමයි මොරිස් අතරේ ආදර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ කාල්ටන් ගේ දුව නිසා. 1969 වසරේ අපි විවාහ වුණා. 


මොරිස් තම හැකියාවන් ගැන කිසිදා අධිතක්සේරු කළේ නැහැ. ජීවිතයේ කිසිම දේකින් කම්පා වුණේ නැහැ. දෑකැති මුවහත් ටෙලි නාට්‍ය සඳහා මොරිස්ට වසරේ හොඳම ගායකයාට හිමි සුමති සම්මානයත් සමනලී ටෙලි නාට්‍යය සඳහා ජනාධිපති සම්මානයත් ලැබුණ. කිසිසේත් උදම් ඇනුවෙත් නෑ. අධිතක්සේරුවක හිටියෙත් නෑ. එයා ගෙදර ඉන්න කොට ලෝකයේ හොඳම ඔපෙරා ගීත රසවින්දා. එයා ඉතාලි, ස්පාඤ්ඤ, ප්‍රංශ ගීත උච්චාරණ අභ්‍යාස කරනවා. ජර්මනියේ Lubeck සංගීත කණ්ඩායමේ මාස 6 ක ගිවිසුමකට ගීත ගැයුවා. ඔහු අමෙරිකාවේ හැර නවසීලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඉතාලිය ස්විට්සර්ලන්තය රටවල ගීත ගයන්න ගියා. 


මොරිස්ගේ බිරිඳ කියන ආකාරයට පාසල් ජීවිතයෙන් පසු කාලයේ වැල්ඩින් කර්මාන්ත ශාලාවක ඔහු සේවය කොට පසුව බාටා සමාගමේත් කාර් මාර්ට් ආයතනයේත් සේවය කොට ඇත. ඉන්පසු 1970 වසරේ සිට ලංකාවේ තරු පහේ හෝටල්වල ගීත ගයා ඇත. හිල්ටන් හෝටලයේ ගිවිසුමකට බැඳී එළිෆන්ටේ ශාලාවේ වසර ගණනක් One Man Show පවත්වා පසුව Ramada, Grand Pegasus Reef, Cinaman Grand, Browns Beach, Mount Laviniya, Galle Face, Bantota Beach ආදී සුපිරි හෝටල්වල ගී ගැයීය. 


මොරිස් හා මරිනා යුවළට දරුවන් දෙදෙනෙකි. දියණිය මනෝරි ජර්මනියේ වෙසෙන්නීය. පුතා මෙවන් ව්‍යාපාර කටයුතුවල නියැළෙමින් ගීත ගයන්නේය. 


ලද දෙයින් සතුටු වන සරල ජීවිතයකට උරුමකම් කියන මොරිස් සැම විටම තම ගායන වෘත්තියට ගරු කරන ගායකයෙකි. ප්‍රේමසිරි කේමදාස වැනි මහා සංගීතඥයකු යටතේ චිත්‍රපට ගීතයක් ගයා ක්ෂේත්‍රයට එනවා යනු දුර්ලභ වාසනා ගුණයකි. කේමදාස මාස්ටර් වරක් මා සරසවිය පුවත්පතට කළ පිළිසඳරක දී කීවේ මොරිස්ගේ කට හඬට සම කළ හැකි බටහිර සංගීත සම්ප්‍රදායෙන් පෝෂණය වූ ගායකයෙක් තමා නුදුටු බවය. නවරත්න පවසන්නේ මොරිස් ගීත ගැයීමෙන් ලෙහෙසියෙන් සෑහීමකට පත් නොවන ගායකයෙකු බවය. Take one වලින් තම ගීතය ගයා තමාත් ශබ්ද පරිපාලකයාත් සෑහීමකට පත් වුවත් මොරිස් හිතුවක්කාර ලෙස ඒ ගීත කිහිප වතාවක්ම ගයා තම වෘත්තිය ගරුත්වය තහවුරු කරන බවය. එය ගායකයකු සතු ශික්ෂණය වෘත්තිය ගරුත්වය රැකීමට නිහතමානීත්වයක් පිළිබිඹු කරන බවයි. එවැනි දුර්ලභ ගායකයෙක් අපට හමුවන්නේ කලාතුරකින්. මගේ ජීවිතයේ මට හමුවූ මිතුරෙකු ලෙස මම ඔහුට ආදරය කරනවා. 


මොරිස් තමා ගැන කතා කිරීමට අකමැති ගායකයෙකි. ඔහුගේ බිරිඳ මරිනා කියන්නේ තමා අතින් පිසන කෑමට ඇලුම් කරන බවය. කොයිතරම් තරු පහේ හෝටල්වල ගීත කියලා ඔහුට පිරිනැමෙන විදේශීය කෑම වලට වඩා තම අතින් හදන ඉඳියප්පන් අල කරිය පොල්සම්බෝලයකට පලා මැල්ලුමට කොස්දෙල්වලට ආසා බවය. මොරිස්ට හොඳට කටට රහට කන්න ඕනෑ. ඒවා අතින් පිළිවෙළ වෙන්න ඕනෑ. උදේ ආහාරයට පලතුරු පමණක් කෑමට කැමැතිය. හොඳ ලොකු පේර ගෙඩියකින් උදේ වේල පිරිමහ ගන්න එයා කැමතියි. අනුන්ට කරදරයක් නැති සීමිත මිත්‍රයන් ඇසුරු කළ මොරිස්ගේ ඒ යහළුවන් අතර මියගිය රංජිත් ලාල්, ලක්ෂ්මන් වැලිකල හා නවරත්න ගමගේ වඩා කැපී පෙනුණා. ඒ අය එකතු වුණාම වෙනම ලෝකයක්. ලෝකයේ හොඳම බටහිර සිම්ෆනි වගේම ඉන්දියානු රාගධාරී සංගීතයත් රසවිඳීමින් වරෙක ගිටාරය ගෙන ඒවායේ අනුවාදන වාදනය කරමින් පැය ගණනක් ගත කරනවා. 


මරිනා වසර 32 ක් අඛණ්ඩව ඉන්ටර්කොන්ටිනල් හෝටලයේ දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සේවය කොට විශ්‍රාම ලබන විට මුළු දිවයිනේම හොඳම දුරකථන ක්‍රියාකාරිණිය ලෙසද සම්මාන ලබා සිටියා. 


වරක් ඩේලිමිරර් පත්‍රයේ මාධ්‍යවේදිනියක වූ වසන්තා විමලසිංහ ඇසූ මේ ප්‍රශ්නයට මොරිස් දුන් පිළිතුරෙන් මේ ලිපිය අවසන් කරමි. ප්‍රශ්නය වූයේ ඔබ ඉතාලියානු හා ස්පාඤ්ඤ ගීත විශිෂ්ට ලෙස ගැයීමේ විශේෂත්වය කුමක් ද කියාය. 


That's Gods gift I believe in fact I sang those sons writing The Words in sinhala it look me two to three weeks to practice one such song. From 1983 I sang at the Mt. laviniya Hotel and that become my profession 


මොරිස් බානි විජේසිංහ ගල්කිස්ස ධර්මපාල මාවතේ අංක 25 නිවසේ පදිංචිව සිටී. 


ඒ.ඩී. රන්ජිත් කුමාර 



අදහස් (0)

ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න මොරිස් විජේසිංහ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5266 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 363 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1765 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1594 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site