අල්කයිඩා නායකයාව සිටි බින් ලාඩන්ට රැකවරණය ලබාදීම නිසා එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවල ආක‍්‍රමණයට ලක්වූ ඇෆ්ගනිස්ථානයට මෙම වසර තීරණාත්මකය. ඒ ලබන වසරේදී එනම් 2014 දී ඇෆ්ගනිස්ථානයේ නවතා ඇති විදේශීය භට හමුදා ඉවත්කර ගැනීමට නියමිත හෙයිනි. අල්කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කළද ඔහුට රැුකවරණය ලබාදුන් තලෙබාන් සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජය කළ නොහැකි වීමත්, ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර පාලන ක‍්‍රමයක් මෙතෙක් ස්ථාපිත කිරීමට නොහැකි වීමත් නිසා හමුදා ඉවත්කර ගැනීම එක්සත් ජනපදයට පහසු කටයුත්තක් ද නොවේ. එක්සත් ජනපදයට ඇෆ්ගනිස්ථානය උපාය මාර්ගික වශයෙන් වැදගත් වන නිසා තමන්ට හිතවත් හෝ පාලනය කළ හැකි රජයක් නැතිව ඉන්පිටව යෑම තම මූලික අරමුණ නොසලකා හැරීමක් වන හෙයිනි. ඇෆ්ගනිස්ථානයේ සිටි සෝවියට් හමුදා පළවා හැරීමට එක්සත් ජනපදය පාකිස්ථානය පදනම් වූ ජිහාඞ් කණ්ඩායම්වලට අවි ආයුධ හා මුදල් ආධාර ලබා දුන්නේ ද උපාය මාර්ගික අවශ්‍යතාව සැලකිල්ලට ගැනීමෙනි. එම නිසා 2014න් පසුව වුවද ප‍්‍රමාණවත් භට සංඛ්‍යාවක් ඇෆ්ගනිස්ථානයේ රඳවා තැබීම එක්සත් ජනපදයේ අවශ්‍යතාවකි.
නියමිත ආකාරයට 2014 අවසන් වන විට ඇෆ්ගනිස්ථානයේ රඳවා ඇති විදෙස් හමුදා ඉවත්කර ගැනීමට මූලික වශයෙන් කරුණු දෙකක් සම්පූර්ණ කර ගැනීම අනිවාර්යය. ඒ සටන් බිමේදී සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි වූ තලෙබාන් කණ්ඩායම සමග එකඟතාවක් ඇතිකර ගැනීම හා 2014න් පසුව ඇෆ්ගනිස්ථානයේ රඳවා තබන ඇමරිකන් භට සංඛ්‍යාව තීරණය කර ගැනීමය. මේ කරුණු දෙකම පිළිබඳව දැනට අදාළ පාර්ශ්ව සමග විවිධ මට්ටම්වලින් සාකච්ඡා පැවැත්වෙන නමුත් ඉන් තවමත් පිළිගත හැකි එකඟතා ඇතිකර ගත් බවක් දක්නට නැත. විදෙස් හමුදා පිටව යෑමෙන් පසුව ජනාධිපති හමීඞ් කර්සායිට සිය පාලන බලය පවත්වා ගත හැකිද යන්න ගැන එක්සත් ජනපදයට සහතිකයක් නොමැති නිසා තලෙබාන් සංවිධානය සමග එකඟතාවක් නොමැතිව දීර්ඝකාලීන උපාය මාර්ගික අවශ්‍යතාව වන හමුදා භට සංඛ්‍යාවක් රඳවා ගත හැකිද යන්න ගැටලූවකි. මෑතකදී තලෙබාන් ප‍්‍රකාශකයකු පැවසූ ආකාරයට ඇෆ්ගනිස්ථානය තුළ විදේශීය හමුදා භටයින් එක් කෙනෙකු හෝ සිටින තෙක් ඔවුන් පහරදීම නතර කරන්නේ නැත.
![]() |
අල්කයිඩා නායකයාව සිටි බින් ලාඩන් |
![]() |
ඇෆ්ගනිස්ථානයේ කැරලි මර්දන පොලිසිය |
![]() |
ඇෆ්ගන් ජනපති කර්සායි |
![]() |
තලේබාන් සටන්කරුවෙක් |
මෙවැනි වාතාවරණයක් තුළ එක්සත් ජනපදයට සිදුවන්නේ 2014 අවසන් වීමට පෙර තලෙබාන් සටන්කරුවන් සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට නොහැකි නම් ඔවුන් සමග එකඟතාවකට පැමිණීමයි. ඇත්තෙන්ම එක්සත් ජනපදය මෙම ක‍්‍රියාමාර්ග දෙකම ගන්නා බව පැහැදිලිය. තලෙබාන් හා අල්කයිඩා නායකයින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර උත්සන්න කරන අතර සාකච්ඡා මාර්ගය ද යොදා ගැනීමට සූදානම්ය. එහි පියවරක් වශයෙන් ප‍්‍රථම වරට තලෙබාන්, ඇෆ්ගන් රජයේ නියෝජිතයින් හා නේටෝ නායකයින් අතර සාකච්ඡා වටයක් ප‍්‍රංශයේදී ඇරඹිණ. මෙම සාකච්ඡා වටය වැදගත් වන්නේ මීට පෙර දොහා හා බොන් නගරයේ පැවති සාකච්ඡාවලදී ජනාධිපති කර්සායිගේ නියෝජිතයින් පිළිගැනීමට තලෙබාන් සංවිධානය ප‍්‍රතික්ෂේප කළත් මෙවර එවැනි කොන්දේසියක් නොමැතිවීමය. මෙම සාකච්ඡාවට පසුබිමක් වශයෙන් තලෙබාන් සිරකරුවන් නිදහස් කිරීමට ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය එකඟවීමද වැදගත්ය. එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගෙන සිටි සිරකරුවන් පසුගිය වසරේ මාර්තු මාසයේ ඇති කරගත් එකඟතා අනුව ඇෆ්ගන් රජයට භාර දී සිටි අතර ඉන් 250ක් දැනටමත් නිදහස් කෙරිණ. තවත් 150ක් ඉදිරි දින කීපයේදී නිදහස් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සමගම පාකිස්ථානයේ රඳවා සිටි තලෙබාන් නායකයින් 26ක්ද මුදාහැරිණි. මෙම තත්ත්වය නොසලකා පසුගිය සතියේ දකුණු වසිරිස්ථානයේ ස්ථානයකට එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයකින් තලෙබාන් නායකයෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු මරා දැමීමට ඇමරිකාව පසුබට වූයේ නැත.
ප‍්‍රංශයේ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව ඇෆ්ගන් රජයේ සියලූ පාර්ශ්ව අතර එකඟතාවක් නොමැති බවද කැපී පෙනෙන ලක්ෂණයකි. කර්සායිගේ රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමති මෙන්ම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වූ අබ්දුල්ලා අබ්දුල්ලා තලෙබාන් සටන්කරුවන් සමග ඇතිකර ගන්නා කුමන හෝ එකඟතාවක් අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අත හැරීම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගය ගැන සම්මුති ඇතිකර ගැනීම නොවිය යුතුයැයි අවධාරණය කෙළේය. ගැටුමට විසඳුමක් වශයෙන් ඇතිකර ගන්නා ක‍්‍රියාමාර්ගවල දීර්ඝකාලීන බලපෑම් ගැනද සැලකිලිමත් විය යුතු යැයි කර්සායි රජයේ පාර්ශ්වකරුවෙකු වන උතුරු සන්ධානය අනතුරු හඟවා ඇත. ඇෆ්ගනිස්ථානයේ දේශපාලනය ගැන නිතරම උනන්දු වන ඉන්දියාව ද කර්සායි රජය හා තලෙබාන් සංවිධානය ගැන කෙරෙන සාකච්ඡුා ගැන අවධානය යොමු කරන්නේ ඒ තුළින් කාශ්මීර ගැටලූවට ඇති කළ හැකි බලපෑම් නිසාය.
කෙසේ වුවත් විදෙස් හමුදා ඉවත් කර ගැනීමෙන් පසුව තලෙබාන් සටන්කරුවන් ඇෆ්ගනිස්ථානු දේශපාලනයේ ප‍්‍රබල සාධකයක් වන බවට සැකයක් නැත. එක්සත් ජනපද සහාය ඇතිව ගොඩනගන ලද ඇෆ්ගන් හමුදාවට තලෙබාන් ප‍්‍රහාරයකට මුහුණ දිය හැකිද යන්න විවාදයට කරුණක් නොවේ. ඇමරිකානුවන් විසින් පුහුණු කොට ආයුධ ලබාදී ඇති ඇෆ්ගන් හමුදා භටයින්, ඉඩක් ලද ඕනෑම අවස්ථාවක විදේශීය අනුග‍්‍රාහකයින් එල්ලකර ගැනීමට පසුබට වන්නේ නැත. එමනිසා එක්සත් ජනපදයේ මූලික අවශ්‍යතාව වන්නේ සිය ගෞරවය ආරක්ෂා කර ගනිමින් භටයින් ඉවත්කර ගැනීමය. ඒ සඳහා තලෙබාන් සංවිධානය සමග කිසියම් සම්මුතියක් ඇතිකර ගැනීමට වුවද සූදානම්ය. එවැනි සම්මුතියක් තුළ එක්සත් ජනපදයේ අනුග‍්‍රහයෙන් ජනාධිපති තනතුරට පත් හමීඞ් කර්සායිට භූමිකාවක් ඇත්ද යන්න ගැන සැලකිලිමත් වන්නේද යන්න සැක සහිතය. එවැනි තත්ත්වයක් දකුණු වියට්නාමයෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීමට සමානවිය හැකි නමුත් අද මධ්‍යම ආසියාවේ දේශපාලන තත්ත්වය වඩාත් සංකීර්ණ බව අමතක නොකළ යුතුය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇෆ්ගනිස්ථානයෙන් විදෙස් හමුදා ඉවත්වීම: තලෙබාන් පාලනයට දොරටු විවෘත කිරීමක්ද?