'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ සුලමුල සෙවීමේ අරමුණින්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන් නුවර ලේ බැංකුවෙන් ලබා ගත් සාම්පල දස දහස් ගණනක් පරීක්ෂා කරන බව චීනය පවසයි.

චීනය මෙසේ රුධිර සාම්පල පරීක්ෂා කරනු ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීමකට අනුවය. ලෝක සෞඛ්‍ය සංවිධානය චීන රජයට සහ එරට සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇත්තේ 2019 වසර අවසානයේ වූහාන් ලේ බැංකුව එක් රැස් කරගත් සාම්පල පරීක්ෂා කිරීමෙන් 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් පැහැදිලි හෝඩුවාවක් ලැබෙනු ඇති බවය.

2019 වසරේ, වූහාන් වැසියන්ගෙන් ලබා ගත් සාම්පල ලක්ෂ දෙකකට වඩා ලේ බැංකුවේ තැම්පත් කර ඇති බවත්, ඒවායින් සාම්පල දස දහස් ගණනක් පරීක්ෂා කර, 'කොවිඩ් 19' වයිරසයේ ව්‍යාප්තිය සිදුවුණු අයුරු පිළිබඳ හෝඩුවාවක් සෙවීමට තමන් බලාපොරොත්තු වන බවත්, ලබා ගන්නා සියලු දත්ත පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවත් චීනය වැඩි දුරටත් පවසා තිබේ.

වූහාන් කේන්ද්‍රකොට ගනිමින් 'කොවිඩ් 19' වයිරසය ආරම්භ වූයේ 2019 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදීය. නියුමෝනියාව ඇති කරන මාරක වයිරසයක් වූහාන් නුවර පැතිරෙනවා යැයි චීන සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කළේ 2019 දෙසැම්බර් මස අවසානයේය.

වයිරසය කොරෝනා වයිරසයක් බව චීන සෞඛ්‍ය අංශ හඳුනා ගත්තේ තවත් කොරෝනා වයිරසයක් වන 'සාර්ස්' වයිරසයට සමාන ලක්ෂණ එහි තිබුණු බැවිනි. කොරෝනා යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී මනුෂ්‍යයන් අතරේ පැතිරෙන වයිරස විශේෂයකි. 'සාර්ස්' වයිරසය ආරම්භ වූයේ ද චීනයෙනි. ඒ, 2002 වසරේදීය. එම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වූයේ අඳුන් දිවියන් හරහා යැයි තහවුරු කර ගැණුනේ 2017 දීය.

අද මුළු ලොවටම බලපෑම් කර තිබෙන 'කොවිඩ් 19' යනුවෙන් නම් කළ මෙම නව වයිරසයේ ආරම්භය තවමත් අබිරහසකි. වවුලන්ගේ සිරුරුවල 'කොවිඩ් 19' වයිරස විෂබීජ ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ නමුත් වයිරසය මනුෂ්‍යයන්ට ආසාදනය වී ඇත්තේ සෘජුව වවුලන්ගෙන් නොව අතරමැදි සත්වයකුගෙන් බව වයිරසවේදීන්ගේ විශ්වාසයයි.

ඊට අමතරව, වයිරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව ද පැවැසෙයි. ඊට හේතුව, ආසියාවේ විශාලතම වයිරස රසායනාගාරය (වයිරස බැංකුව) පිහිටා ඇත්තේ ද වූහාන් නුවර වීම නිසාය. මෙය චීන රජයේත් හමුදාවේත් පාලනය යටතේ ක්‍රියාත්මක වන අතර, ජීව අවි ලෙස වයිරස භාවිතයට ගැනීම සම්බන්ධයෙන් මෙම රසායනාගාරයේ පර්යේෂණ සිදුවෙයි.
'කොවිඩ් 19' වයිරසය අත්වැරදීමකින් මෙම රසායනාගාරයෙන් කාන්දු වන්න ඇතැයි ඇමෙරිකා, ඕස්ට්‍රේලියා ඇතුළු බුද්ධි අංශ පෙන්වා දෙයි.

කෙසේ නමුත් එය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් ඔවුන් ඉදිරිපත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය, විශේෂඥ කණ්ඩායම් චීනයට යවා විමර්ශනයක් පැවැත්වීම කළේ ද මෙම චෝදනා මුල්කොට ගනිමිනි. චීනය එල්ල වන එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විමර්ශනවලට චීනය මුලදී අදිමදි කළ ද පසුව විමර්ශණ සඳහා කැමැත්ත පළ කළේ මෙම වසරේ ජනවාරි මාසයේදීය.

ඒ අනුව, විවිධ රටවල වයිරස විශේෂඥයන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ විශේෂඥ කණ්ඩායමකගේ එකමුතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමර්ශනයක් කළේය. ඒ, වුහාන් නුවරට ගොසිනි.

විමර්ශන කණ්ඩායමට වූහාන් වයිරස රසායනාගාරය නිරීක්ෂණයට ද අවසර ලැබුණි. කෙසේ නමුත් විමර්ශන අවසන් වූයේ 'කොවිඩ් 19'  ආරම්භය සම්බන්ධයෙන් පැහැදිලි නිගමනකට එලැඹිය නොහැකි බව පෙන්වා දෙමිනි.

වූහාන් වයිරස රසායනාගාරයෙන් වයිරසය කාන්දු වූ බවට ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කරද්දී, චීනය පෙරළා ඇමෙරිකාවට චෝදනා කළේ ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ෆෝට් ඩෙට්‍රික් නමැති හමුදා පර්යේෂණාගාරයකින් 'කොවිඩ් 19' වයිරසයේ ආරම්භය සිදුවුණු බවටය.

'ෆෝට් ඩෙට්‍රික්' කඳවුර 2019 ජූනි සහ ජූලි මාසවල හදිසියේ වසා දැමුණි. ඒ, කඳවුර අවට පදිංචිකරුවන් සෙම්ප්‍රතිශ්‍යා රෝගයකින් පෙළීම නිසාය. බොහෝ දෙනකු නියුමෝනියාව හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වුණු බව ද වාර්තා විය. ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් පවසා නැත. 'ෆෝට් ඩෙට්‍රික්' කඳවුරේ ද වයිරස යොදා ගනිමින් ජීව අවි නිර්මාණය වන බව පැවැසෙයි.

(රොයිටර්)