IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජෙෆ් බෙසෝස් ගගන වික්‍රමය සාර්ථකයි

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකන බිලියනපති ඇමෙරිකන් ජාතික ජෙෆ් බෙසෝස්, සිය බ්ලූ ඔරිජින් සමාගම නිපදවූ විශේෂ රොකට්ටුව සහ ගගන කැප්සියුලය ආධාරයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණියේය.  

අභ්‍යවකාශ සංචාර ආරම්භ කරමින් පළමුවෙන් අභ්‍යවකාශය ජය ගැනීම සඳහා ලොව බිලියනපතියන් අතරේ තරඟයක් පැවැතිණි. එම තරඟය ජයග්‍රහණය කළේ බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන්ය.

බ්‍රැන්සන් ඔහුට අයත් වර්ජින් ගැලැක්ටික් සමාගම නිපදවූ සුපර් සොනික් ගගන යානයෙන් තවත් පස් දෙනකු ද සමඟ පසුගිය 11 වැනිදා පෘථිවිය අද්දර අභ්‍යවකාශය හමුවන සීමාවට ගොස් ආපසු පැමිණියේය. අභ්‍යවකාශයට යෑම යනු, පෘථිවි වායුගෝලයේ ඉහළටම ගොස් 'කාමන් සීමාව' පසු කිරීමය.

මෙම සීමාව පිහිටා ඇත්තේ කි.මී. 100 ක් ඉහළිනි. පෘථිවි වායුගෝලයේ අද්දර එසේත් නැතිනම්, අභ්‍යවකාශය හමුවන සීමාව ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන්නේ මෙම සීමාවය.

වර්ජින් ගැලැක්ටික් සමාගම සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑමට නිපදවා ඇත්තේ ගුවන් යානයක් හා සමාන ගගන යානයක් වන නමුත් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගම අභ්‍යවකාශ සංචාර සඳහා නිපදවා ඇත්තේ අධි බලැති රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයකි. රොකට්ටුව නම් කර ඇත්තේ නිව් ෂෙපර්ඩ් යනුවෙනි. ඒ, අභ්‍යවකාශයට ගිය පළමු ඇමෙරිකන් ගගනගාමියා ඇලන් බී. ෂෙපර්ඩ්ට සිහි ගන්වමිනි.

කැප්සියුලය නම් නම් කර ඇත්තේ බ්ලූ ඔරිජින් යන නමිනි. ඇමෙරිකන් ජාතික ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්, අභ්‍යවකාශයට යන බව නිවේදනය කළේ බ්‍රැන්සන් ට පෙරය. කෙසේ නමුත් බ්‍රැන්සන් ඉක්මන් විය. බෙසෝස් ඔහුගේ වික්‍රමයට අද (20) තෝරා ගත්තේ නාසා ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් මුලින්ම සඳට පය තැබුවේ ජූලි 20 වැනිදා දිනක නිසාය.

නිව් ෂෙපර්ඩ් රොකට්ටුවට හෝ බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයට නියමුවන් නොමැති අතර, සියල්ල පරිගණකයෙන් සැලැසුම් කළ ආකාරයට ස්වයංක්‍රීයව සිදුවෙයි. රොකට්ටුව ගගන කැප්සියුලය රැගෙන ගුවනට යෑම, පෘථිවි වායුගෝලය අද්දරට කැප්සියුලය කල්ලු කරමින් රොකට්ටුව වෙන්වී පහළට වැටීම ආදිය සිදුවන්නේ පෙර සැලැසුම් අනුවය.

රොකට්ටුවට අකරතැබ්බක් සිදුවුවහොත්, කැප්සියුලය ගැලවී ගගනගාමීන් ආරක්ෂා කර ගන්න අයුරින් නිපදවා ඇත. මෙම ආරක්ෂිත උපක්‍රම පසුගිය වසර ගණන පුරාවට අත්හදා බලා ඇති බව බෙසෝස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. තමන් මෙම ගමනට සහභාගී වූයේ එය ආරක්ෂිත බව පෙන්වීමට යැයි ද බෙසෝස් අවධාරණය කර තිබේ. ඇත්තෙන්ම එය ඉතාමත් ආරක්ෂාකාරී මිනිත්තු කීපයක පහසු ගමනක් විය.

බෙසොස් සමඟ මෙම වික්‍රමයට බෙසෝස්ගේ සොහොයුරු 53 හැවිරිදි මාර්ක් ද ගමනට එක් විය. ඊට අමතරව, බෙසෝස්ගේ විශේෂ ආරාධනාවකට අනුව 82 හැවිරිදි වොලී ෆන්ක් ද ගමනට එක්වූවාය.

වොලී ෆන්ක් යනු දශක හයක් අභ්‍යවකාශයට යෑමට උත්සාහ කළත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු ගගනගාමිනියකි. ඒ අනුව, අභ්‍යවකාශයට ගිය වයස්ගතම පුද්ගලයා ලෙස වොලී ෆන්ක් වාර්තා අතරට එක් වූවාය.

බෙසෝස් සමඟ මෙම ගමනට එක් වුණු සිවුවැනියා කවුරුන්දැයි අනාවරණය කෙරුණේ පසුගිය 17 වැනිදාය. 18 හැවිරිදි ඔලිවර් ඩේමන් නමැති ඔහු නෙදර්ලන්ත ජාතික භෟතික විද්‍යා ශිෂ්‍යයෙකි.

බ්ලූ ඔරිජින් ගගන කැප්සියුලයේ ආසන වෙන්දේසි කරද්දී, ආසනයක් වෙන් කිරීම සිදු කර ඇත්තේ ඔලිවර් ඩේමන්ගේ කෝටිපති ව්‍යාපාරික පියා ය. අභ්‍යවකාශයට ගිය වයස්ගතම තැනැත්තා වොලී ෆන්ක් වෙද්දී, අභ්‍යවකාශයට ගිය ළාබාලතම තැනැත්තා ලෙස ඔලිවර් ඩේමන් වාර්තා පොත් අතරට එක් විය.

ඇමෙරිකන් ඩොලර් මිලියන 28 ක් ගෙවා පළමුවෙන් ආසනය වෙන් කර තිබුණේ ඩේමන්ගේ පියා නොව වෙනත් කෝටිපතියෙකි. කෙසේ නමුත් අවසන් මොහොතේ ඉතා හදිසි රාජකාරි වැඩක් යෙදුණු බව පවසමින් එම කෝටිපති ව්‍යාපාරිකයා ගමනට සහභාගී වූයේ නැත.

ඔලිවර් ඩේමන් ට අවස්ථාව ලැබුණේ ඒ අනුවය. අභ්‍යවකාශයට ගොස් ආපසු ඒමට සුවිශේෂී අවස්ථාවක් උදා වී, හදිසි රාජකාරි වැඩක් හේතුවෙන් එය අවලංගු කළ කෝටිපතියා කවුරුන්ද යන්න තවමත් රහසකි.

රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ඇමෙරිකාවේ ටෙක්සාස් කාන්තාරයේ 'ලොන්ච් සයිට් වන්' මධ්‍යස්ථානයෙනි. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ වැන් හෝන් නගරයේ සිට කිලෝ මීටර් 40 ක් වියලි කාන්තාර ප්‍රදේශයකය. 'බ්ලූඔරිජින්' වෙබ් අඩවිය හරහා රොකට්ටුව ගුවන්ගත වීම, කැප්සියුලය වෙන්වී අභ්‍යවකාශයට යෑම සජීවීව විකාශය කෙරුණි.

කැප්සියුලය උඩු ගුවනට තල්ලු කිරීමෙන් පසු රොකට්ටුව යළි පහළට වැටීම සිදුවෙයි. මෙම රොකට්ටුව නිපදවා ඇත්තේ නැවත නැවත භාවිතයට ගැනීමට හැකි ලෙසය.

බෙසෝස් ඇතුළු කණ්ඩායමේ මෙම වික්‍රමයට ගත වූයේ මිනිත්තු 11 ක් පමණි. මිනිත්තු 4 ක් අභ්‍යවකාශයේ රැඳී ආපසු ගුරුත්වාකර්ශණ බලයට හසුවී කැප්සියුලය පහළට ඇදී ඒම සහ එය දැවැත්ත පැරෂූට් ආධාරයෙන් යළි ටෙක්සාස් කාන්තරයට පතිත වීම සජීවීව විකාශය කෙරුණි.

ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් සේවය විශේෂ පුවතක් ලෙස බෙසෝස්ගේ වික්‍රමය සජීවීව විකාශය කිරීමට කටයුතු කර තිබුණි. යළි පෘථිවියට පැමිණ සතුට සැමරීමෙන් පසු, ජෙෆ් බෙසෝස්, මාර්ක් බෙසෝස්, වොලී ෆන්ක් සහ ඔලිවර් ඩේමන් මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන්ගේ අපූරු අත්දැකීම විස්තර කළහ.

ආපසු පැමිණ ගගන කැප්සියුලයෙන් පිටතට ආ බෙසෝස්ට හාදුවක් දෙමින් ඔහු පිළිගත්තේ ඔහුගේ නවතම පෙම්වතිය ලෙස සැලකෙන ලොරෙන් සැන්චේස්ය.‍

වික්‍රමය සාර්ථක වීමත් සමඟ, රිචඩ් බ්‍රැන්සන් ද ජෙෆ් බෙසෝස්, ඇතුළු පිරිසට සුබ පැතුම් එක් කිරීමට අමතක නොකළේය. ජෙෆ් බෙසෝස් ලොව ධනවත්ම පුද්ගලයා වන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම එසේත් නැතිනම් වත්කම් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලයන 200 ඉක්මවන බැවිනි.

අතීතයේ, අභ්‍යවකාශයත් ඉන්පසු සඳ තරණයත් සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ 'ඇපලෝ' මෙහෙයුම්වල වටිනාකම, එදා මුදලින් ඇමෙරිකන් ඩොලර් බිලියන 19.4 ක් යැයි සී.එන්.එන්. පුවත් වාර්තාවක සඳහන් වෙයි.

ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

ජෙෆ් බෙසෝස් ගගන වික්‍රමය සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site