IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

සිය ප්‍රතිවාදීන්ට එරෙහිව දැඩි පියවර අනුගමනය කිරීමේ පිළිවෙතක රජය සිටින බව පෙනේ. පසුගිය වසරට වඩා යම් උද්යෝගයක් ඇතිව රටේ ජනතාව අලුත් අවුරුද්ද සැමරූ පසුබිමක වුවත් රජයේ ස්ථාවරයේ වෙනසක් නැත. 

දිශානති කිහිපයකින්ම රජයේ ප්‍රතිවාදීන් වට කිරීමට යන මෙම ව්‍යායාමයට ප්‍රබලම තල්ලුවක් ලබාදෙනු ඇත්තේ දේශීය මට්ටමින්ම කිරීමට යන කාර්යයකින්ය. එනම්, පාලක සන්ධානයේ සිටින ඇතැමෙකුට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට නැගී තිබෙන අල්ලස්, දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු කටයුතුවලට නැවතීමේ තිතක් තැබීම වේ. 

එසේ කිරීමට යන්නේ එම නඩු පවරා ඇත්තේ දේශපාලනික පළිගැනීම් ලෙස යැයි සළකාය. ස්වභාවයෙන්ම ආන්දෝලනාත්මක විය හැකි මෙම පියවරට පදනම සපයා තිබෙන්නේ දේශපාලනික පළිගැනීම් යැයි චෝදනා නැගී තිබුණු සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට සහ තත්ත්වය සමනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු විමර්ශන කොමිසමක වාර්තාවය.

පැවැති යහපාලන රජයේ ඉහළම පෙලේ නායකයින් පවා විරුද්ධ පක්ෂයේ සිටි සිය හිතවතුන් මුල් කරගෙන පැවැත්වෙමින් තිබූ විමර්ශන හිතාමතාම ප්‍රමාද කරවීමටත්, ඒ අතරම තවත් අය සම්බන්ධයෙන් වූ විමර්ශන කඩිනම් කරවීමටත්, මැදිහත් වූ බව රහසක් නොවේ. පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගීවීම සදහා 2015 මාර්තු මාසයේ ලන්ඩනය බලා ගොස් සිටි, එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමතා තිබෙන පැවැති රජයේ ඉහළම නායකයෙක්, එදා කතාබහට ලක්ව සිටි එක්තරා පුද්ගලයෙක් අත්අඩංගුවට ගතහොත්, එය රටේ පාලනය කළ නොහැකි තත්ත්වයක් ඇතිවීමට මුල්වනු ඇතැයි අනතුරු අගවා තිබීම, එවැන්නකට උදාහරණයකි. මෙම අනතුරු ඇඟවීම හේතුවෙන් හිටපු ජනපති සිරිසේන මහතා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීය. 

කටමැත දෙඩීම්

පුද්ගලයින් අතළොස්සකටත් වඩා ගණනක් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ විමර්ශන කටයුතුවලට පමණක් විවෘතවම සහාය දක්වමින් සිටි එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍යවරුන් වූ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන්, යහපාලන රජයේ කැබිනට් මණ්ඩල රැස්වීම්වල දී, දිගින් දිගටම අවධානය යොමු කළහ. තමා රාජපක්ෂවරුන් බේරාගත්තේ යැයි එක්සත් ජාතික පක්ෂ අධිකරණ අමාත්‍යවරයෙක් කටමැත දෙඩවීය. 

එදා පැවැති අතයට ගනුදෙනු සහ එකඟතාවයන් නිමක් නොවීය. 2015 වසරේ දී, රටේ ජනතාව යහපාලන රජය බලයට ගෙන ආවේ, වංචා, දූෂණ සහ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ චෝදනා එල්ලවී තිබූ පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක කිරීමට වුවත්, අවසානයේ යහපාලන රජයට සිය කිරුළ අහිමිවූයේ එහිලා ඔවුන් අපොහොසත්වීම නිසා බව අමුතුවෙන් පෙන්වා දිය යුත්තක් නොවේ. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ ඡන්ද සිතියමෙන් අතුගෑවීලාම ගියේ ය. 2020 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන්ට හිමිවූයේ සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් යන්තම් 2% කි.

අධිකරණය හමුවේ මේ වන විට ගොනුකර තිබෙන නඩු ඉවත් කරගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණ. 

පාලක සන්ධානයේ නායකයින් මේ සම්බන්ධව පෞද්ගලිකවම නීති උපදෙස් ලබාගැනීමට කටයුතු කර තිබෙන අතර, එහිදී ඔවුන්ට පෙන්වාදෙනු ලැබ තිබෙන්නේ නීතිපතිවරයා - එනම් රජයේ නීතිඥයා, මැදිහත්ව දැනටමත් ආරම්භ කර තිබෙන ඇතැම් නඩු කටයුතු වෙනස් කිරීමට පුද්ගලයකුට හෝ කිසියම් ව්‍යුහයකට හෝ නොහැකි බවය. එසේ කළහොත්, දිගු කාලීනවම බලපෑම් එල්ලවිය හැකි ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇතැයි ද, නීතිඥයින් රජයේ නායකයින්ව දැනුම්වත් කර ඇත. 

මේ සම්බන්ධයෙන් වන අනෙක් කාරණා වැඩිදුර විස්තර කිරීමට නොහැකි තරම් සංවේදීය. නමුත්, ලැයිස්තුගත කර තිබෙන නඩු කිහිපයක් නීතිපතිවරයා ලවාම ඉවත් කරගැනීමේ උත්සාහයක් මෙම යෝජනාවෙන් ගැනේ. මේ දක්වාම මෙයට ප්‍රතිචාරයක් දක්වා තිබෙන්නේ සමගි ජනබලවේගය පමණකි. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන බව ඔව්හු පැවසූහ. 

කෙසේවුවත්, එවැනි පියවරක් ඔවුන් මෙතෙක් ගෙන නොමැති අතර, පසුගිය සතියේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අවධානය යොමුව තිබුණේ විෂ පොල්තෙල්වලටය.

තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරෙනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද, සාකච්ඡා කර තිබෙන කාරණයකි. සමගි ජනබලවේගයේ නායකයින් බිය වන්නට කාරණයක් දැන් නොමැත. රජයට එවැනි පියවරකට යාමේ වුවමනාවක් නැත. නමුත්, අදාළ නඩු පැවරීම්වලට පදනම්වූ චෝදනා ඉදිරිපත් කළ අයවලුන්ට දඬුවම් පැමිණවීමට ඔවුන්ට අවැසිව තිබේ. 

ප්‍රධාන කරුණු

අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යවරයා හා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා භාරයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන මෙම යෝජනාවලියේ ප්‍රධාන කරුණු පහත පරිදිය. 

2015 ජනවාරි මස 8 වැනිදා සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා ගෙවුණු කාලයේ, රාජ්‍ය නිලධාරීන්ට, ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන්ට, රාජ්‍ය සමාගම්වල සේවකයින්ට, එරෙහිව සිදුව ඇතැයි කියන දේශපාලනික පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කැරුණු ජනපති විමර්ශන කොමිසමේ තීන්දු සහ නිර්දේශ පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කැරෙන බව එහි දැක්වේ.

1. ජනපති කොමිසමේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම.
2. අවසන් වාර්තාවේ පළමු වෙළුමෙහි, අංක 8 ප්‍රකාරව සදහන් කර තිබෙන දූෂණ විරෝධී කමිටුව යටතේ එම කොමිසමෙන් ඉදිරිපත් කර තිබෙන තීන්දු සහ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම.
3. එම කොටසේම සඳහන් වන, තීන්දු අංක 1 සහ නිර්දේශ අංක 1 ක්‍රියාත්මක කිරීම සදහා පාර්ලිමේන්තුව තීන්දු කරන පරිදි, විශේෂ ජනපති විමර්ශන කොමිසමක් හෝ වෙනත් සුදුසු යාන්ත්‍රණයක් පිහිටුවීම සදහා වන කටයුතු ක්‍රියාත්මක කිරීම
4. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට, මහජන සේවා කොමිසමට, පොලිස්පතිවරයාට, විෂය භාර අමාත්‍යවරයාට හෝ අදාළ අමාත්‍යවරුන්ට සහ ලේකම්වරුන්ට, ඉහත ජනපති කොමිසමෙන් - අයිතම අංක 8ට අදාළව සහ අයිතම අංක 9 හි අංක 1 සිට 59 දක්වා, පළමු, දෙවන සහ තෙවන වෙළුම්වල සදහන් කර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු සහ නිර්දේශයන් යොමු කිරීම.
5. ඉහත සඳහන් කළ අවසන් වාර්තාවේ තුන්වන වෙළුමෙහි, අයිතම අංක 10 යටතේ වන පැමිණිලි සම්බන්ධයෙන් ඉහත ජනපති විමර්ශන කොමිසම ගෙන තිබෙන තීන්දු සහ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම.

එමෙන්ම, ඉහත අංක 3 සඳහන් වන පරිදි, 2021.04.01, අංක 2221 54 ගැසට් පත්‍රයෙන් විශේෂ ජනපති විමර්ශන කොමිසමක් පිහිටුවීමට ජනපතිවරයා කටයුතු කර ඇත. මෙම කොමිසම යටතේ ජනපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවේ අයිතම අංක 8 න් ඉදිරිපත් කර තිබෙන තීන්දු සහ නිර්දේශයන් සැළකිල්ලට ගැනෙමින් පවතී. මෙම විශේෂ ජනපති විමර්ශන කොමිසමේ වාර්තාව ලැබුණු පසුව, මුලින් සදහන් කළ ජනපති විමර්ශන කොමිසමේ, අංක 8 නොසළකා හරිමින්, අංක 9 සහ 10 අයිතමයන්ට අදාළව ගෙන තිබෙන තීන්දු සහ ඉදිරිපත් කර තිබෙන නිර්දේශයන්, එනම් - දේශපාලනික පළිගැනීම් සම්බන්ධයෙන් වන සිදුවීම් අරබයා, ඉහත ඈ. සහ ඉ. යටතේ දක්වා ඇති පරිදි ක්‍රියාත්මක කිරීමට මෙම පාර්ලිමේන්තුව එකඟ වේ.
 
යෝජනාව සරලව

යෝජනාව වදන් ගන්වා තිබෙන ආකාරය නිසාම එය සාමාන්‍ය පුද්ගලයකුට කියවා තේරුම් ගැනීම අපහසු විය හැකිය. එහෙත් එය සරලව පැහැදිලි කළහොත්, මෙම යෝජනාවෙන් කෙරෙන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ දී, කැබිනට් මණ්ඩලය දුන් අනුමැතියට යටත්ව, අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නඩු ගණනාවක් නෛතිකව ඉවත් කරගැනීමය.

කෙසේවුවත්, මෙහි අවධානය යොමුකළ යුතු කාරණයක් ඇත. එය නම්, ජනපති කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් අයිතම අංක 8 ය. මෙම අයිතමයෙන්, පැවැති යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. යහපාලන රජයේ ඇතැම් නායකයින්ම, මෙම ව්‍යුහයන් පිහිටුවීම නීතිවිරෝධී යැයි ජනපති විමර්ශන කොමිසම ඉදිරියේ පිළිගෙන ඇත. නමුත් ඔවුන් බලයේ සිටි සමයේ, ඒ ගැන ඔවුන්ට වගක් තිබී නැත. ඒ ඇයි?, 

එසමයෙහි, එක්සත් රාජධානියේ පිහිටුවා තිබෙන බරපතල වංචා සම්බන්ධයෙන් වන කාර්යාලයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත් එයින් ඉගෙන ගැනීමටත් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් එරටට යැවිණ. එසේ කෙරුණේ, එවන් ව්‍යුහයක් ශ්‍රී ලංකාවේ ද, ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවය.

--------------------------------------

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර
--------------------------------------

 



අදහස් (0)

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18059 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 12535 16

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10819 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 453 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 132 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 809 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site