IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දරුවන් මෙහෙකාර වැඩට ගන්නා කාටත් යස පාඩමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සීමෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිද්ධිය රටේ කතා බහට ලක් වූ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වූ දැරිය වෙනුවෙන් අපි සියලු‍දෙනා කම්පා වෙමු. ඒ සමඟම මෙවැනි අකල් මරණයකට දැරිය මුහුණ දුන්නේ ඇයි ද යන්න ද විමසා බැලිය යුතු යැයි සිතමු.

මියගිය දැරියගේ වයස අවුරුදු 16ක් බව සඳහන් වෙයි. එසේ නම් ඇය සිටිය යුතු වන්නේ නිවෙසක මෙහෙකාර දැරියක වශයෙන් නොව පාසල් දැරියක වශයෙනි. පාසල් යා යුතු වයසේ පසුවන දැරියක මෙහෙකාර සේවයේ යොදවා ගැනීම නීතිය හමුවේ වරදකි. මෙහෙකාර සේවයේ පමණක් නොව වෙනත් කිසිදු වෘත්තියක හෝ සේවයක හෝ බාල වයස්කාරයකු යොදවා ගැනීම රටේ නීතියට පටහැණි ක්‍රියාවකි. එහෙත් මේ ආකාරයට ධනවත්, බලවත් පවුල් විසින් මෙහෙකාර සේවයේ යොදවා ගනු ලබන දරු දැරියෝ විශාල පිරිසක් මෙරට වෙසෙති. එම වැරැද්දට හවුල් වන සියලු‍ හාම්පුතුන්ට මේ දැරියගේ මරණය මතක හිටින පාඩමක් කියා දී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ හිටපු අමාත්‍ය බදුයුදීන් මහතාගේ නිවෙසේ සිටි දැරියට දිගින් දිගටම ලිංගික අතවර සිදුවී ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාව තහවුරු කර තිබෙන බව ද උසාවියේදී අනාවරණය වී තිබේ. මරණය සම්බන්ධයෙන් හිටපු ඇමැතිගේ බිරිඳගේ පියාගෙන්, බිරිඳගේ මවගෙන්, බාලවයස්කාර දැරියගේ මවගෙන් මෙන්ම එම දැරිය නිවෙසට රැගෙන විත් භාරදුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි. එසේම එකී නිවෙසේ තවත් පිරිමි පුද්ගලයකු ද සේවයේ යෙදී සිට ඇති බවද ඔහුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවද පොලිස් ප්‍රකාශයේ සඳහන්ව තිබේ. මවගේ භාරයේ සිටිය යුතු 16 හැවිරිදි දැරියක් නිවෙසක මෙහෙකාර සේවයට යොදවා ගැනීම එම දැරියගේ ජීවිතය කොතරම් අනාරක්ෂිත තත්ත්වයකට ඇද දමා තිබේද? යන්න පැහැදිලි කර ගැනීමට මේ කරුණු ටික පවා ප්‍රමාණවත්ය.

කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල නිවෙස්වල මෙහෙකාර සේවය සඳහා වතුකරයෙන් පිරිස් ගෙන්වා ගැනීම අමුත්තක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේම සිදුවෙමින් පවතින්නකි. වැඩිහිටි පිරිස් එය රැකියාවක් වශයෙන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරැද්දක් කිව නොහැක. එම සේවකයන්ට ප්‍රමාණවත් වැටුපක් ලබාදීමත්, ඔවුන්ගේ සෙසු පහසුකම් සපයාදීමත් සිදුවන්නේ නම් එය තවත් එක් කම්කරු ශ්‍රේණියේ රැකියාවක් වශයෙන් සැලකෙයි. එහෙත් මේ කිසිදු අවස්ථාවක බාල වයස්කරුවන් මොනම හේතුවකටවත් මෙහෙකාර සේවයට හෝ වෙනත් රැකියාවකට හෝ යොදවා ගැනීම කළ නොහැකිය. එය ළමා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.

අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බව ද කියැවෙයි. ඇය බදුයුදීන් මහතාගේ නිවෙසට කැඳවාගෙන විත් ඇතැයි පැවසෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල දී බව ද සඳහන්ය. ඒ අනුව ඇයට ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදුව ඇත්තේ මේ නිවෙසේදී ද ඇය පදිංචිව සිටි ප්‍රදේශයේදී ද නැතහොත් ඒ අවස්ථා දෙකේදීම ද යන්න තවමත් අනාවරණය වී නැත. එහෙත් දැරියක් මවගේ රැකවරණයෙන් බැහැර කළවිට ඇය සමාජය තුළ ඕනෑම හිරිහැරයකට කරදරයකට පත් කළ හැකි තරමට අනාරක්ෂිත වෙයි. අතවරවලට ලක්වී දුක්විඳ ගින්නෙන් පිළිස්සී මියයාමට මේ අසරණ දැරියට සිදු වූයේ ද ඇය එවැනි අනාරක්ෂිත තත්ත්වයකට ඇද දැමූ බැවිනි. ඇය වතුකරයේ දිළිඳු පවුලක උපත ලැබීම හේතුවෙන් කුඩා කාලයේම රැකියාවකට තල්ලු‍ කළා විය හැක. කෙසේ වුවද වැරැද්ද කොතැනින් සිදු වුවද එවැන්නක් මින්මතුව නොසිඳු විය යුතුය. මෙවැනි වැරදිවලට හවුල් වන කිසිදු පුද්ගලයකුට නීතියෙන් ගැලවීමට ඉඩක් නොතැබිය යුතුය.

බොහොමයක් බලවත් පවුල් විසින් මෙවැනි බාලවයස්කාර දරුවන් නිවෙස් තුළ මෙහෙකාර සේවයට යොදවා ගන්නේ අඩු වැටුප් ලබා දී වැඩිපුර වැඩ ගැනීම සඳහා බව රහසක් නොවේ. ඇතැම් නිවෙස්වල බාලවයස්කාර මෙහෙකරුවන්ට මෙහෙකාරියන්ට අඩු වැටුප් ගෙවනවා පමණක් නොව හරි හැටි කෑම වේලක් හෝ ලබා දෙන්නේ නැත.

ඒ අතරවාරයේ ඔවුන්ට ලිංගිකව ද වෙනත් අතවරවලටද මුහුණ දීමට සිදුවෙයි. මේ දරුවන්ට උගන්වන බවට, පොතට මාස්පතා වැටුප බැර කිරීම ඇතුළු සියලු‍ පහසුකම් ලබාදෙන බවට දෙන පොරොන්දු අනුව ඇතැම් දිළිඳු පවුල්වල මාපියෝ තම දරුවන් මෙහෙකාර සේවයට එවති. එවැනි ක්‍රියාවලදී බ්‍රෝකර් වැඬේ කොට ගාණක් අතමිට මොළවා ගන්නා පිරිස් ද වෙති.

මේ සියල්ලේ ප්‍රතිඵලය රටේ වරප්‍රසාද නොලත් පන්තියේ දූ දරුවන් වරප්‍රසාද ලත් පන්තියේ මෙහෙකරුවන් බවට පත්වීමය. හිටපු ඇමැතිගේ නිවෙසේදී ගින්නෙන් පිළිස්සී මියගිය දැරිය මේ ඛේදවාචකයේ එක් ප්‍රතිඵලයක් පමණි.

(***)



අදහස් (2)

දරුවන් මෙහෙකාර වැඩට ගන්නා කාටත් යස පාඩමක්

fairoos Monday, 26 July 2021 08:11 PM

මේවා අද ඊයේ වෙන දේවල් අනන්තව වෙනවා. මෙදා සැරේ රිෂාඩ්ගේ ගෙදර නිසා එළියට ආවා...

:       0       0

PradeepTuesday, 27 July 2021 10:47 AM

රිෂාඩ්, රටේ පවතින නීතියට පිටින් විශාල වැරදි ගණනාවක් කරපු පුද්ගලයෙක් නිසා ඔහු ගැන රටේ තිබෙන අවධානය වැඩියි. කොහොමත් මේ වගේ සමාජ පිළිල රටෙන්ම ඉවත් කිරීමට වහා පියවර ගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site