කොවිඩ් වෛරසය අන්තර්මහාද්වීපික මට්ටමින් පැතිර ගිය ආරම්භක අවධියේදීම ප්‍රකාශ වූ විද්‍යාත්මක මතවාද වූයේ යම් දිනක, එයට එරෙහි එන්නතක් බිහිවූ කලෙක වෛරසය මෙල්ල කිරීමට මානව වර්ගයාට හැකි වන බවය.  


විද්‍යාත්මක ප්‍රවේශය, එලෙසින් වුවද ඇතැම් ආසියාතික රටවල් එකී සමය තුළ නොපෙනෙන හරභෞතික බලවේගයන්හි පිළිසරණ පතමින් දිවගියහ. විටක ‘‘හැළි වළං’’ ආශිර්වාද ගංගා දියමත පාවී ගිය අතර, තවත් අවස්ථාවක වෛරසයට එරෙහි දිව ඔසු ‘‘ ප්‍රවර්ධන ව්‍යාපෘතීන්’’ කරළියට පැමිණියේය. අතීතයේදී ‘‘පැණිය’’ ලබාගැනීමට පෝලිමේ තෙරපෙමින් සිටි ජනතාව එන්නත් ලබාගැනීම පිණිස මීටරයේ දුරින් පෙළ ගැසෙන අයුරු මේ වන විට දැකගන්නට ලැබේ.  


අතීත​යේදී යම් එන්නත් නිෂ්පාදනය කිරීමට වසර ගණනාවක් ගතවුවද, කොවිඩ් තර්ජනය හමුවේ දින තුන්සියයකට අඩු කාලසීමාවක් තුළ සාර්ථක එන්නත් කිහිපයක්ම බිහිවිය.  


වර්තමානයේදී කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් සියයකට ආසන්න සංඛ්‍යාවක සායනික පරීක්ෂාවන් සිදුවෙමින් පවතින අතර, එයින්ද එන්නත් 37ක ප්‍රමාණයක් අත්හදා බැලීමේ අවසන් අදියර වෙත පැමිණ තිබේ. ඉදිරි යුගය තුළ තවත් එන්නත් බොහොමයක් මානව භාවිතය උදෙසා එක්වනු ඇතැයි අනුමාන කෙරේ.  
වෛරසයට එරෙහි, එන්නතක් ලබාගැනීමේ වාසි කිහිපයකි. කොවිඩ් ආසාදනය වීම වළක්වාලීමත්, එමගින් යමෙකු මරණයට පත්වීම වළක්වාලීමත් එහිදී මූලික වෙයි. එසේම එන්නත්කරණය තුළින්ම රෝගය සමාජය තුළ පැතිරීයාම ද අවහිර කරවනු ලබයි.  


කොවිඩ් ‘‘සමූහ ප්‍රතිශක්තිය’’ ලෙසින් හැඳින්වෙන්නේ ​වෛරස ආසාදනය වීම මගින් හෝ එන්නත්කරණය හේතුවෙන යම් ප්‍රජාවක් වෛරසයේ බෝවීමට එරෙහිව ලබාගන්නා ප්‍රතිරෝධීතාවයය. යම් ජනගහණයක වැඩි ප්‍රතිශතයක් එකී තත්ත්වයන් වෙත එළැඹෙන කලක වෛරසයේ ප්‍රචණ්ඩතාව සහ පැතිරීම පහත බසී.   
එසේම සමූහ ප්‍රතිශක්තියක් බිහිවීමත් සමගම රෝගය පැතිරයාම පාලනය වීම මෙන්ම වෛරසය තවදුරටත් වැඩිදියුණුවෙමින් වර්ධනය වීම මෙන්ම ගුණනය වීමත් වැළැක්වෙයි. ඩෙල්ටාවන් වැනි වෛරසයේ නවමු ප්‍රභේදයන් බිහිවීම වැළැක්වෙන්නේ එලෙසිනි.  


ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ගෝලීය ජනගහණයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කිරීම කොවිඩ් තර්ජනය මිහිතලයෙන් තුරන් කිරීමට හැකි වනු ලබයි. මෙකී ඉලක්කය සඳහා බිලියන එකොළහක එන්නත් ප්‍රමාණයක් අවැසි වෙයි.  


ජූලි පළමු සතිය අවසන් වන විට බිලියන 3.4 එන්නත් ප්‍රමාණයක් ලෝක ප්‍රජාව ලබාගෙන තිබේ. මින් 80% වැඩි ප්‍රමාණයක එන්නත්කරයන් සිදුව ඇත්තේ අධි ආදායම් සහ ඉහළ මධ්‍යම පාන්තික රටවල් තුළින් වීම ද විශේෂිතය.  


ගෝලීය එන්නත්කරණයේ භූ දේශපාලනික විෂමතාවයන් පෙන්වා දෙන තවත් සාධකයක් වන්නේ, එක්සත් රාජධානිය හැරුණු කොට අනෙකුත් බටහිර රටවල් සහ ගල්ෆ් කලාපීය රටවල් මේ වන විට තම රටවල් වෙත පැමිණෙන විදේශිකයන්හට යුරෝපීය සම්භවයක් සහිත එන්නතක් ලබා තිබීම අනිවාර්ය කර තිබීමය. සංචරණ සීමාවන් සහ අගුළු දැමීම් අභිමුව ලෝක ආර්ථිකය පල්ලම් බසින විට මුලින්ම රැකියාව අහිමි වී යන පිරිසක් වන්නේ විදේශගත ශ්‍රමිකයන්ය.  


මෙහිදී රැකියා අහිමිව සිය රට පැමිණෙන්නන් මෙන්ම රට තුළම විරැකියාවට ගොදුරු වන්නන්ද සුලබ වෙති. විදෙස්ගත ශ්‍රමිකයන් නොහොත් ‘‘රට විරුවන්’’ බොහෝ විට හඳුනා ගැනෙන්නේ ස්වකීය මව් රටවල ආර්ථිකය දුවවන ගාමක බලවේගයන් ලෙසිනි.  


ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන්නද ගල්ෆ් කලාපීය රටවල් හා යුරෝපීය සංගමය ද ඇතුළු බටහිර රටවල් චීන හෝ රුසියානු සම්භවයක් සහිත එන්නත් පිළිගැනීමට මැලිකමක් දක්වති. එහෙයින්ම මෙකී රටවල් විදෙස් ශ්‍රමිකයන් වෙතින් ඉල්ලා සිටින්නේ අස්ට්‍රාසෙනිකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ලබාගත් වාසනාවන්තයන් පමණි. ඛේදවාචකය වන්නේ මෙකී එන්නත් බොහෝ ආසියාතික රටවල බහුලව එන්නත්කණය සඳහා භාවිතා නොවීමය. එවන් පසුබිමක් තුළ පකිස්තානය, මේ වන විට ඇස්ට්‍රා, ෆයිසර් හා මොඩර්නා එන්නත් ‘‘රාවල්පිණ්ඩියට’ හෝ ‘‘කරච්චියට’’ නොව විදෙස්ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන් වෙත දිශාත්මක කිරීමට අවධානයට ලක්වි යුතු බවයි. ස්පුට්නික් එන්නත ක්ෂේත්‍ර තුළ දුරස්ථ ප්‍රදේශ වෙත පවා පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි වන්නේ එන්නත් ගබඩා කිරීමේ උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 2-8 අතර වීම නිසාවෙනි. වෙනත් අයුරකින් කිවහොත් ස්පුට්නික් ගබඩා කිරීම සාමාන්‍ය ශීතකරණයක වුව සිදු කළ හැකි වෙයි. එහෙත් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ගබඩා කිරීම සඳහා විශේෂිත ‘‘අධි සිසිලන’’ පහසුකම් අවශ්‍ය වෙයි. භාවිතයේ පහසුව සහ සංකූලතාවය සහිත සුපුට්නික් V එන්නත මේ වන විට රටවල් 70ක භාවිතා කරනු ලබයි. කෙසේ වෙතත් ලේ කැටි ගැසීමේ සංකූලතාවක් පැවතියද ලොව වඩාත් බහුලව භාවිත කෙරෙන එන්නත වන්නේ ඇස්ට්‍රා සෙනිකාය.

  
චීන නිෂ්පාදනයක් වූ සයිනොෆාම් හා සයිනොවැක් මේ වන විට රටවල් 40ක පමණ භාවිතා කරනු ලබයි. කොවිඩ් වසංගතය ආරම්භයේදීම චීනය ස්වකීය එන්නත් නිෂ්පාදන ‘‘හොඳ හිත පවත්වා ගැනීමට’’ සිදු කරන ප්‍රදානයක් ලෙසින්ද, තවත් විටක වෙළෙඳාමක් ලෙසින්ද ලොව ඇතැම් රටවල් වෙත මුදාහරිනු ලැබිණි.  
කීර්තිමත් වෛද්‍ය සඟරාවක් වන ‘‘ලැන්සට්’’ හි සඳහන් වන පරිදි රුසියානු ස්පුට්නික් V එන්නතෙහි සඵලතාව 91.6%කි. ආර්ජන්ටිනාව පවසන පරිදි එරට තුළ භාවිතා කෙරෙන වඩාත් ආරක්ෂා සහිත එන්නත වන්නේද ස්පුට්නික්ය. එන්නතක තිබිය යුතු ප්‍රධාන ගුණාංග අතර වෛයිරසයට එරෙහිව සඵලතාවය, එන්නතෙහි වියදම දරා ගැනීමට රටකට ඇති හැකියාව සහ ක්ෂේත්‍රය තුළ ප්‍රවාහනය කිරීමට ඇති පහසුව මූලික වෙයි.  
ස්පුට්නික් V කොවිඩ් වෛරසයට එරෙහිව 90% වඩා වැඩි සාර්ථකත්වයක් දරන ප්‍රධාන එන්නත් තුන අතර වෙයි. 90% වැඩි සාර්ථකත්වයක් දක්වන ඉතිරි එන්නත් දෙවර්ගය වන්නේ ෆයිසර් සහ මොඩර්නාය. ඉහළ සාර්ථකත්වයක් දක්වන ස්පුට්නික් ලෝක වෙළෙඳපොළ තුළ ඩොලර් දහයක සිල්ලර මිලකට අලෙවි වන අතර, ෆයිසර් එන්නත ඩොලර් 14 සිට 20ටද, මොඩර්නා ඩොලර් 18 සිට 23ක මිලකට ද ලබාගත හැකි වෙයි.
ලොව බොහෝ රටවල් වෙත එන්නත් සපසා දෙන අංක එකේ එන්නත් ​වෙළෙන්දා බවට චීනය මේ වන විට පත්ව තිබේ. අවැසි වුව​​හොත් එන්නත් කරණයෙහි ප්‍රධාන මාත්‍රාවන් දෙකට අමතරව, අමතර මාත්‍රාවක් හෙවත් “බූස්ටර් ඩෝස්” නිෂ්පාදනය හා බෙදාහැරීමේ හැකියාවද චීනය සතුව පවතී.  


කොවිඩ් වෛරසය සියලු ප්‍රබේදයන්ට එරෙහිව 90% සඵලතාවයකින් ක්‍රියාත්මක වන කවර හෝ එන්නත් රටක සමස්ත ජනගහණයෙන් 66% ප්‍රතිශතයකට ලබාදී අවසන් කළ හොත් එමගින් වෛරසයට ප්‍රජාව තුළ සමූහ ප්‍රතිශක්තියක් ඇති වන බව විද්‍යාත්මක අනාවරණයකි. අන් අයුරකින් කිවහොත් යම් එන්නතක සඵලතාවය පහළ යන්නේ නම් ඒ හා සමානුපාතිකව, සමූහ ප්‍රතිශක්තියක් උදෙසා එන්නත්කරණය සිදු කළ යුතු ජන ප්‍රතිශතයද ඉහළ යනු ලබයි. 

 
අවම සඵලතාවයක් සහිත එන්නතකට වඩා උපරිම සඵලතාවක් සහිත එන්නත් වෙත යොමුවීම තුළින් අවම ජන කොටසක් එන්නත් කිරීම හරහා රටක සමස්ත සෞඛ්‍යමය ආරක්ෂාව සහ ආර්ථිකයේ සවිමත් බව සලසාගත හැකි වෙයි.


ඩෙල්ටාවන් සහ ලැම්ඩාවන් කවරකු බිහිවුවද, එන්නත්කරණය යනු වසංගතය අවසන් කරලීම සඳහා අප සතු වන නිශ්චිත උපායමාර්ගය වෙයි.  


පවත්නා සීමිත පහසුකම් යටතේ වුවද ලොව සෑම රටක්ම වෛරසයට එරෙහිව සමූහ ප්‍රතිශක්තියක් ඇති වන මට්ටමින්, අප්‍රමාදව පූර්ණ මාත්‍රා එන්නත්කරණයක් හදා ගැනීමට හැකිවන්නේ නම්, වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්විය හැකි වෙයි.  


වැදගත් වන්නේ ඉහළ සඵලතාවයකින් යුත් එන්නත් කෙරෙහි වැඩි විශ්වාසයක් තබමින්, හැකිතාක් පුද්ගලයන් ප්‍රමාණයක් වෙත කඩිනමින් එන්නත්කරණය සිදු කිරීමය. ඩබල් මාස්ක් පැළඳීම, අත් සේදීම හා සමාජ දුරස්ථභාවයන් පවත්වා ගැනීම එහිලා උදව් වන සමාන්තර අතුරු සාධකයන්ය.