වික්ටෝරියා ජලාශයට එම නාමය බැඳුණු හා එය ඉදි කිරීමට හැකියාව ලැබුණු හැටි හරිම රසවත්ය. එකල එලිසබත් රැජින රජකම් කරන අවදියේ දී වික්ටෝරියා වේල්ල නිර්මාණය කරන ලද්දේ මහවැලි ගඟට හුලු ගඟ එකතුවන තැනට පහළින් ගඟේ පටුම ස්ථානයේය. තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති දෙනිගල කන්දත්, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගල කන්දත් යන කඳු දෙක එකතු කර තමයි වික්ටෝරියා වේල්ල නිර්මාණය කළේ. වේල්ලේ සිට මීටර් 300 ක් පහළින් මීටර් 10ක් උස වික්ටෝරියා දිය ඇල්ල පිහිටා තිබුණේ. 1949 සිට 1980 වෙනකම්ම හැම රජයක්ම මෙම වික්ටෝරියා ජලාශය නිර්මාණයට සමීක්ෂණ කළා පමණි. එවිට ලංකාව දියුණුවෙමින් පවතින රට වශයෙන් මෙම ව්‍යාපෘතිය කරන්න රට තුළ මුදල් නැත. 


මුදල් ලැබෙන විදියට මෙම ව්‍යාපෘතිය කරන්න හැදුවොත් අවුරුදු 30 ක් යන බවට සමීක්ෂණ වාර්තාවලින් සඳහන්ව තිබුණා. කොටින්ම ඒ සඳහා සුදුසු තාක්ෂණයක්වත් අපට තිබුණේ නැත.


1980 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් එම ආණ්ඩුවේ ඉඩම්, ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන, විදුලි බල ඇමැති විදියට වැඩ බාර දෙන්නේ මාගේ පියා වන ගාමිණී දිසානායක මහතාටයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉතාමත් දූරදර්ශී, උපක්‍රමශීලී, තැනට සුදුසු නුවණ තිබෙන නායකයෙකි. එසේම මහපොළ ශිෂ්‍යත්වය හඳුන්වා දුන් ලලිත් ඇතුලත්මුදලි මහතාත් එක්ව මොවුන් තිදෙනාම එක්සත් රාජධානියේ එලිසබත් රැජින හම්බවෙන්න යනවා. ඒ මොහොතේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා “ගාමිණී මම කරන එක හොඳට බලා ගන්න ඔයා දැනට මොකුත් කරන්න එපා” කියලා. මෙයාලා තුන්දෙනා දෙවැනි එලිසබත් රැජින ප්‍රථමයෙන්ම හමුවෙනවා. හමුවෙලා රැජිනට කියනවා ලංකාවේ විශාලතම ජලාශයක් හදන්න ණය මුදලක් අපට දෙන්න කියා. අපි මෙම ණය මුදල අරන් මෙම ජලාශය හැදුවත් අපි එම ජලාශයට දාන නම ඔබතුමියගේ අත්තම්මාගේ නම වික්ටෝරියා මහ රැජිනගේ නාමයයි. ඇත්තටම මේ නම දාන්නේ වික්ටෝරියා දිය ඇල්ල නිසයි. එතුමන් ඒ අවස්ථාවේ රට වෙනුවෙන් උපක්‍රමශීලී වෙනවා. වර්තමානයේ නම් එවැනි ව්‍යපෘතියකට නම් කලින්ම කොමිස් මුදල සඳහා උපක්‍රමශීලී වෙන්න පුළුවන් හරියට නෙළුම් කුලුන වගේ ව්‍යාපෘති සඳහා. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කතාවට සන්තෝෂ වුණු දෙවැනි එලිසබත් රැජින මෙය ණයක් නොවේ ආධාරයක් විදියට දෙන්න පොරොන්දු වෙනවා. ඒ පොරොන්දුවත් සමග ජනාධිපතිතුමයි, ගාමිණී දිසානායක මහත්තයයි දෙන්නවම එකල එංගලන්තයේ අගමැතිනිය එනම් “යකඩ ගැහැනිය” නම් දැරූ මාග්‍රට් තැචර් මහත්මිය වෙත ඉල්ලීමක් කරනවා. එතුමිය එය නොදී මග හරින්න ප්‍රශ්න අහනවා. ලංකා රජය මෙවැනි විශාල ජලාශයක් හදන්නේ ඇයි? මොකක්ද අරමුණ කියලා. එවිට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා එයට පිළිතුරු දීමට ගාමිණී දිසානායක මහතා යොමු කරනවා. එවිට ගාමිණී දිසානායක මහතා උත්තර දෙන්නේ මෙහෙමයි. ලංකා රජයට, ලංකාවේ මිනිසුන්ට තනියම විසඳගන්න බැරි ප්‍රශ්න පහකටයි මුදල් ලබා ගන්නේ කියලා උත්තර දෙනවා. එවිට අගමැතිනිය අහනවා මොකක්ද ඒ ප්‍රශ්න පහ කියලා. එයට උත්තර පැහැදිලිව උපක්‍රමශිලීව ගාමිණී දිසානායක මහතා දෙනවා.


පළමු ප්‍රශ්නය වන්නේ අගමැතිනියනි, අප රට කෘෂිකාර්මික රටක් නිසාත්, ප්‍රධාන ආහාරයට අවශ්‍ය වී වගා කරන්නත් විශාල ප්‍රමාණයක ජලය අවශ්‍ය නිසාත් ඒ සඳහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය විශාල ප්‍රමාණයක ජලය ගබඩා කර තබා ගැනීමේ ප්‍රශ්නය ඇත. දෙවැනි ප්‍රශ්නය වුණේ ලංකාවට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන්න ජල විදුලි බලාගාරයක් තැනීමයි. තුන්වැනි ප්‍රශ්නය වූයේ වේල්ලෙන් ඉහළ ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරා ලීමට ජලය ලබා දීමයි, හතරවැනි ප්‍රශ්නය වූයේ රට තුළ ඒ ප්‍රදේශ තුළ ජනතාවට මිරිදිය කර්මාන්තයක් ඇති කිරීම, පස්වැනි කරුණ වූයේ ඉහළ කඳුකර ප්‍රදේශවලට අධිකව ලැබෙන වැසි නිසා පහළ සිදුවන ගංවතුර පාලනය කිරීමයි. එයට සාර්ථකව උත්තර දුන් ගාමිණී දිසානායක ඇමතිතුමා නිසා අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය රුපියල් මිලියන 8900 ක ආධාරයක් ලබා දීමට එකඟ වුණා. ඒ කාලේ මේ මුදල ඉතා විශාල ප්‍රමාණයක් වේ. මේ මුදල් හරියටම කළමනාකරණය කිරීම සඳහා ගාමිණී දිසානායක මහතා නැවත වරක් උපක්‍රමශීලී වෙනවා. මුදල් විතරක් ලැබුණට අපිට මෙය කරන්න බෑ. මේ වැනි විශාල ව්‍යපෘතියක් කරන්න තාක්ෂණය සහ ඉංජිනේරුවන් හිඟයි. එම නිසා එංගලන්තයේ ඉංජිනේරු සමාගමකට මේ වැඩේ භාර දෙන්න කීවා. කොටින්ම කිව්වොත් සල්ලිත් දීලා හදලත් දෙන්න කියන එක තමයි එතුමා එදා කීවේ. ඒ අනුව අගමැතිතුමිය එරට ඉංජිනේරු සමාගමක් වන ශ්‍රී ඇලේස් ඇන්ඩර් පීජ්ඇන් පාර්ට් කියන සමාගමට මෙම ව්‍යපෘතිය පවරනවා. එකල ගමන් කිරීමට දුෂ්කර ප්‍රදේශයක් වූ වික්ටෝරියා වේල්ල ප්‍රදේශයට ගමන් කිරීමටත් මෙරට භාරව කටයුතු කිරීමටත් පොල්ගොල්ල ජලාශයේ වේල්ල භාරව සිටි මධ්‍යම කඳුකරය ගැන ඉහළ දැනුමක් තිබූ ප්‍රධාන ඉංජිනේරු චන්ද්‍රා පෙරේරා මහතාට භාර දෙනවා. එකල සුදුස්සාට සුදුසු තැන දෙනවා අද වගේ නොවෙයි. එතුමන් එංගලන්තයෙන් ආපු ඉන්ජිනේරුවන් සමග වික්ටෝරියා ඇල්ල ළඟ මාස තුනක පර්‌යේෂණයක් කරනවා. එයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයත්, එංගලන්තයේ භූ විද්‍යාව පිළිබඳ සොයිල් මැකනිකල් ආයතනයත් සම්බන්ධ වෙනවා. මීටර් 237 ක් පමණ ගැඹුරට විහිදිලා තියෙන කළු ගලක් පිහිටා තිබෙන බව සොයා ගන්නවා. ඊට පසු මේ කළු ගල මීටර් 25ක් පළලට හා ගැඹුරට හාරලා වේල්ලේ අත්තිවාරම දානවා. වේල්ල උස 122 ක් මීටර් 522 ක් දිග වේල්ලක් වෙනවා. මෙම වේල්ල උස අතටත් ආරුක්කුවක් වගේ දිග අතටත් ආරුක්කුවක් වගේ ආරුක්කු 2ක් නිසා දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක් ලෙස මෙය හඳුන්වනවා.


1984 අප්‍රේල් 7 නිල වශයෙන් ජලය පුරවා 1985 අප්‍රේල් 12 දින එංගලන්තයේ අගමැතිනිය වූ මාග්‍රට් තැචර් අතින් මෙය විවෘත කර ලංකාවට නිල වශයෙන් බාර දෙනවා. සේවකයන් 7000 කට වැඩි පිරිසක් මේ නිර්මාණයට දායක වූ අතර විදේශිකයන් 3 ක් සහ අපගේ ශ්‍රී ලංකිකයන් 47ක් මේ ව්‍යාපෘතිය සඳහා දිවි පුදා තිබුණා. 1989 වෙන විට ණය වූ සියලු මුදල් සොයාගෙන ණය ගෙවා අවසන් වී තිබුණි. මෙය බැලීමට එන කිසිදු අයකුගෙන් කිසිදු මුදලක් අය නොකරන ලෙසට පාර්ලිමේන්තුවේ පනතක් ද හයෙන් පහකින් සම්මත කර ගත්තා. වර්තමානයේ පරම්පරා හතක් ණයකරුවන් කර ඉදිකළ කිසිදු ආදායමක් නොලබන නෙළුම් කුලුන මෙන් නොව නෙළුම් කුලුන බැලීමට රු 2000 ක් ගෙවිය යුතු වන රටක මෙවැනි ව්‍යපෘති නැවතත් ඇති වීමට ප්‍රේමදාස, ගාමිණී, ලලිත් යුගයක් උදාවිය යුතුයි.