IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නැනෝ තාක්ෂණයෙන් වකුගඩු රෝගීන් උදෙසා රන් කෙණ්ඩිය ඇවිත්

මැටි යොදා ගනිමින් ජල පෙරනයක් නිර්මාණය කිරීමට සූදානම් වෙන අයුරු 


 

කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා 
අංශයේ මහාචාර්ය 
නලින් ද සිල්වා

කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය රෝහිනී ද සිල්වා

මෙරට තුළ දක්නට ලැබෙන බෝ නොවෙන රෝග අතුරින් වකුගඩු රෝගය මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. උතුරු මැද හා වයඹ පළාත මෙන්ම, තවත් පළාත් රැසක බහුල වශයෙන් දක්නට ලැබෙන මෙම රෝගය නිසා දෛනිකව මියයන ප්‍රමාණයද වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන ඇත. වකුගඩු රෝගය වැලඳුණු පුද්ගලයා පමණක් නොව එම රෝගියාගේ පවුලේ පිරිසද මේ නිසා පීඩාවට පත්වෙනු ඇත. මෙම රෝගයේ ප්‍රතිකාරයන් ලෙස වකුගඩුවක් බද්ධ කිරීම සහ රුධිර කාන්දුකරණය සිදු කරන අතර ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට එම ජනතාවට සිදුව ඇත.            
මීට වසර පහළොවකට පමණ පෙර උතුරු මැද පළාතෙන් ප්‍රථම වකුගඩු රෝගියා වාර්තා වී ඇති අතර, මේ වෙන විට මෙම රෝගය වැලඳුණු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ විස්ස ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී. හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වෙන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර, මෙතෙක් ඒ සඳහා නිශ්චිත විසඳුමක් සොයාගෙන නොමැති බවට ජනතාව චෝදනා කරන වකවානුවක, කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ විද්‍යාඥයින් කණ්ඩායම විසින් සිදුකළා වූ මෙම නැනෝ තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද ජල පෙරනය වකුගඩු රෝගීන්ට යම් අස්වැසිල්ලක් වෙන බව නොඅනුමානය. 
උතුරු මැද පළාතේ අනුරාධපුරය, පොළොන්නරුව, කැබිතිගොල්ලෑව, මීගලෑව සහ වයඹ, ඌව, නැගෙනහිර, දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේත්, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේත්, ග්‍රාමීය ප්‍රදේශවල වකුගඩු රෝගීන් වැඩි වශයෙන් දක්නට ඇත. උතුරු පළාතේ ඇතැම් ප්‍රදේශවල ද මෙම වකුගඩු රෝගීන් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැළෙන ගොවි ජනතාව මෙම රෝගයට ගොදුරු වී ඇති බව නිරීක්ෂණය වේ. අතීතයේදී වැව් අමුණු ඉදි කළ දස මහා යෝධයන් සිටි මෙම ප්‍රදේශවල අද වෙන විට සිටින්නේ වකුගඩු රෝගයෙන් පෙළෙන ගොවි ජනතාවක් බවද කනගාටුවෙන් වුවද  සඳහන් කිරීමට සිදුවේ. සමාජ ව්‍යසනයක් ලෙස පවතින මෙම වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා දායකත්වයක් ලබාදීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් 2015 වසරේ සිදු කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස නැනෝ තාක්ෂණය භාවිත කරමින් ජල පෙරනයක් (වතුර ෆිල්ටර්) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබාදීමට සමත් වී ඇත.
වසර ගණනාවක් සිදුකළ එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම වකුගඩු රෝගය පාලනය සඳහා භාවිතා කිරීමට අවශ්‍ය ජල පෙරනයක් හඳුන්වාදීමට ඔවුහු ඉකුත්දා 
සමත් වූහ.                                              
කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය රෝහිනී ද සිල්වා සහ එම අංශයේ මහාචාර්ය නලින් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික පර්‌යේෂණ සභාවේ අනුග්‍රහය ඇතිව 2015 වසරේදී  වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා නැනෝ තාක්ෂණය භාවිත කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකර ඇති අතර ඒ සඳහා නැනෝ තාක්ෂණය ද යොදා ගනිමින් ජල පෙරනයක් නිර්මාණය කළ හැකි ආකාරය පිළිබඳව අධ්‍යයනයක නිරතව ඇත.
විවිධ ජල පෙරනයන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ මෙම කණ්ඩායම, පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලිහිරියාගම ප්‍රදේශයේ පදිංචි ශාන්ත පියතිලක මහතා විසින් ඔහුගේම තාක්ෂණය යොදාගනිමින් මැටි හා ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරන මෙම ‘‘රන් කෙණ්ඩිය’’ ජල පෙරනය පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව එම කර්මාන්ත ශාලාවට පැමිණ එහි හිමිකරු සමග ඔවුන්ගේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කර යම් ගිවිසුමකට එළඹි බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පැවසීය.
පසුව ශාන්ත පියතිලක මහතා විසින් නිර්මාණය කරනු ලබන ‘‘රන් කෙණ්ඩිය’’ ජල පෙරනයට නැනෝ තාක්ෂණය යොදා  වකුගඩු රෝගීන්ට භාවිත කිරීමට සුදුසුද යන්න පිළිබඳව නැවත නැවතත් පරීක්ෂණ සිදු කර ඇත. එසේ සිදු කරන ලද පරීක්ෂණ සාර්ථක වීමෙන් පසු වකුගඩු රෝගය පාලනය කිරීම සඳහා නැනෝ තාක්ෂණය භාවිත කර ජල පෙරණයන් නිෂ්පාදනය කිරීමට ශාන්ත පියතිලක මහතා වෙත ප්‍රථම ඇණවුම ලබා දෙනු ලැබීය.
ශාන්ත පියතිලක මහතා නැනෝ තාක්ෂණය යොදා නිෂ්පාදනය කරනු ලබන ජල පෙරන සියයක් වකුගඩු රෝගීන් බහුලව වෙසෙන උතුරු මැද, වයඹ සහ උතුරු පළාතේ  වකුගඩු රෝගීන් සිටින පවුල් සියයක් සඳහා ඉදිරියේදී එම විශ්වවිද්‍යාල කණ්ඩායම විසින් නොමිලයේ බෙදා දීමට කටයුතු යොදා ඇත.
ජාතික පර්‌යේෂණ සභාවේ අනුග්‍රහය යටතේ නිෂ්පාදනය කරනු ලබන මෙම ජල පෙරණ සියය නුදුරු දිනයකදී වකුගඩු රෝගී එම පවුල් වෙත නොමිලේ ලබාදීමට කටයුතු කරන බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පැවසීය.                                                                                                                                 
උතුරු මැද ඇතුළු වකුගඩු රෝගීන් බහුලව වශයෙන් ජීවත්වෙන ප්‍රදේශවල ජනතාව ක්ලෝරයිඩ් අඩංගු කඨින ජලය පානය කිරීම නිසා මෙම වකුගඩු රෝගය වැලඳෙන බවට එම විද්‍යාඥයින් කණ්ඩායම විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී තහවුරු වූ බවද කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශ ප්‍රධානී මහාචාර්ය රෝහිනී ද සිල්වා මහත්මිය මෙහිදී පැවසුවාය. ජලයේ ඇති ක්ලෝරයිඩ් ඉවත්කිරීම සඳහා සිදු කරන ලද පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ජාතික පර්‌යේෂණ සභාව විසින් රුපියල් මිලියන 50ක මුදලක් ලබා දුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ජලපෙරනය නිෂ්පාදනය කිරීම සඳහා එම ආයතනයේ අනුමැතිය ලැබී ඇති බවද ඒ මහත්මිය පැවසුවාය. 
ශාන්ත පියතිලක මහතා විසින් ඔහුගේම තාක්ෂණයක් යොදාගනිමින් වසර 15 කට ආසන්න කාලයක සිට තම පවුලේ සාමාජිකයන්ගේද සහාය ලබාගනිමින් මෙම ජල පෙරනය නිෂ්පාදනය කර ඇත. එම  පෙරනය පිළිබඳව තොරතුරු දැනගත් කොළඹ 
විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ විද්‍යාඥයන් කණ්ඩායම තම කර්මාන්තශාලාවට පැමිණි බව ඔහු පැවසීය. තම මැටි ජල පෙරනයට ඔවුන්ගේ තාක්ෂණය යොදා නිෂ්පාදනය කිරීමට කැමැත්ත ලබා ගැනීමෙන් අනතුරුව  නැනෝ තාක්ෂණය, ශාන්ත පියතිලක මහතාට ලබා දී ඒවා යොදාගත් ජල පෙරණ නිර්මාණය කර නැවත ඒවා පරීක්ෂණාගාරය තුළදී පරීක්ෂණයට ලක් කරමින් ඒවා වකුගඩු රෝගීන් සඳහා භාවිත කිරීමට සුදුසු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔහු වෙත ජල පෙරන සීයක් නිෂ්පාදනය කිරීමට ඇණවුම් ලබා දුන් බව ශාන්ත පියතිලක මහතා පැවසීය. තමාටද මෙවැනි ජාතික කර්තව්‍යයකට සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳව ඔහු විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම වෙත ස්තුතිය පළ කර සිටියේය. 

ශාන්ත පියතිලක මහතා ජල පෙරනය 
නිර්මාණය කරන අයුරු

නිර්මාණය කළ ජල පෙරනයේ වැඩ අවසන් කරන අයුරු

       

        

ශාන්ත පියතිලකගේ බිරිඳ පුතා සහ දියණිය සමග 

වැඩ අවසන් කළ ජල පෙරණ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප - සඳලංකාව

හේමලතා ඩී. හේව​ෙග්

 

 



අදහස් (0)

නැනෝ තාක්ෂණයෙන් වකුගඩු රෝගීන් උදෙසා රන් කෙණ්ඩිය ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site