IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


නවසීලන්තයේ සුදු අභියෝගය


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසන් කරන්නේද ඊළඟ වසර ආරම්භ කරන්නේද නවසීලන්තයේ දීය. මේ වනවිට නවසීලන්තයේ සිටින ඔවුන් ​ඔබ මේ සටහන කියවන දිනයේ දී පළමු විස්සයි20 තරගයට මුහුණ දී හමාර විය හැකිය. දෙසැම්බර් 28, 30 සහ ජනවාරි 02 දා ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගවලදී නවසීලන්තය හමුවෙයි. 

මවුන්ට් මොග්නිඊ හි බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පවැත්වෙන පළමු තරග දෙක ශ්‍රී ලංකාවට ප්‍රධානම අභියෝගයයි. මේ තරග දෙකෙන් එකක් ජයගැනීම අත්‍යාවශ්‍ය වෙන්නේ තරගාවලියේ රැඳී සිටීම වෙනුවෙන් එය ඉතා වැදගත් හෙයිනි. මෙම පිටියේ මංගල තරගය ක්‍රීඩා කළේද ශ්‍රී ලංකාවයි. මෙහි විශේෂත්වයක් වෙන්නේ මේ පිටියේ පැවති තරග 12 න් පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම අවස්ථා 8 කදී ජයගෙන තිබීමයි. හඹා ගොස් ජයගෙන ඇත්තේ එකම අවස්ථාවකදී පමණි. මේ පිටියේ අවසන් වතාවට පැවති නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරගය හඹායාමෙන් නවසීලන්තය ජයගත් මෙතෙක් පැවති එකම තරගයයි. කෙසේ වුවද ඉන්දියාව මේ පිටියේ දී තරග දෙකක් සහ පාකිස්ථානය එක් තරගයක් බැගින් ජයගෙන තිබේ. මේ නිසා ආසියාවට යම් වාසියක් තිබෙන බවද පෙනේ. 

තෙවැනි විස්සයි20 තරගය පැවැත්වෙන්නේ නීල්සන් හි සැක්ස්ටන් ඕවල් පිටියේදීය. මේ පිටියේ දී වැඩිවශයෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග පැවැත්වී නැත. පසුගිය වසර 5 තුළ කිසිදු විස්සයි20 ජාත්‍යන්තර තරගයක් පැවැත්වී නැත. මේ නිසා මේ පිටිය ගැන අනාවැකි කීමට නොහැකිය. මේ තරගාවලිය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සදීර සමරවික්‍රම සහ දිල්ෂාන් මධුසංඛ ඉවත් කර තිබේ. මේ ඉවත් කිරීම් දෙකම සාධාරණය කළ හැකි තත්ත්වයන්ය. පළමු පහළොස් දෙනා අතර වෙල්ලාලගේ නොසිටීම ඇතැමුන් ප්‍රශ්න කළේ ඔහු අවසන් විස්සයි20 තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව හොඳින් පන්දු යැවූ නිසාය. කෙසේ වුවද එම තණතිලි සහ නවසීලන්ත තණතිලි අතර පැහැදිලි වෙනසක් තිබෙන බව ඕනෑම අයෙකු දන්නා සත්‍යයයි. මේ නිසා තේරීම් කමිටුවේ තීරණයේ වැරැද්දක් නැත. එහෙත් වෙල්ලාගේ වැනි ක්‍රීඩකයෙකු ලැබෙන සෑම අවස්ථාවකදීම විදේශ තත්ත්වයන්ට හුරු කළ යුත්තේ අනාගත ආයෝජනයක් වශයෙනි. 

නවසීලන්තය සමග ශ්‍රී ලංකාවේ දී පැවැති තරගවලදී ශ්‍රී ලංකාව දඟ පන්දුවෙන් පැහැදිලි වාසියක් ගත්තේය. එසේ තිබියදී නවසීලන්තය සමග පැවති අවසන් තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්විය. නවසීලන්තයේ දී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන විස්සයි20 කණ්ඩායමට ඩැරල් මිචෙල්, රචින් රවීන්ද්‍රා සහ මැට් හෙන්රි එක්වී තිබේ. එසේම ශ්‍රී ලංකාවේ දී සාර්ථක වූ වේග පන්දු යවන සැක් ෆෝක්ස් ද කණ්ඩායෙම් ස්ථානය තහවුරු කරගෙන ඇත. මේ සියල්ල අතරේ නවසීලන්තයේ අලුත්ම විස්සයි20 සොයා ගැනීම ලෙස සැලකෙන බෙවන් ජේකොබ්ස් ද කණ්ඩායමට කැඳවා තිබේ. මේ ඔහුගේ පළමු අන්තර් ජාතික තරගාවලියයි. අලුත් ක්‍රීඩකයා ඉක්මනින් තරුවක් නොකිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්යයි. 

ගෙවී ගිය සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුවිශේෂ තීරණයක් ගත්තේය. මේ තීරණයෙන් බොහෝ දෙනා පුදුමයට පත්වූ බව නොරහසකි. මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයකදී තිබූ ඡන්ද 147 ක ප්‍රමාණය 60 ක් දක්වා අඩු කිරීමට ක්‍රිකට් පාලන අධිකාරිය තීරණය කළේය. වසර ගණනාවක් තිස්සේ විවිධ සභාපතිවරුන්, ක්‍රීඩා ඇමතිවරු, ඇතැම් විට ජනාධිපතිවරු පවා වෙනස් කිරීමට උත්සාහ කළ ක්‍රිකට් නිලවරණයේ ඡන්ද ප්‍රමාණය ක්‍රිකට් බලධරයන් විසින්ම වෙනස් කිරීම පුදුමයට හේතුවක් විය. එහෙත් දේශපාලන අතපෙවීම් අවම කර ගැනීමට නම් කළ යුතු හොඳම කටයුත්ත තමන් විසින්ම තමන්ගේ බලය අඩු කර ගැනීම බව අවසානයේ දී හෝ ක්‍රිකට් ආයතනයට තේරුම් යෑම වැදගත්ය. මේ අනුව මෙතෙක් ඡන්දය ගැනීමට සක්‍රීය නැති ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලබා දුන්නේ යැයි නැගෙන චෝදනාද ඇතැම් පිරිස්වලට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්නේ කියන චෝදනා සියල්ල නැතිව යනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය මේ තීරණය ගන්නේ එක්ව කටයුතු කිරීම නිසාය. මේ තීරණයෙන් යමෙකුට පාඩුවක් වෙන්නේ යැයි කෑ ගසන්නට කෙනෙකු නැති නිසාය. එසේම ක්‍රිකට් යම් මට්ටමකට ගෙනැවිත් එතැන් සිට ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය යැයි ඔවුන්ට අවබෝද්‍යක් ඇති නිසාය. මේ නිසා මේ එකමුතුව අතිශය වැදගත්ය. 

මීට පෙර අලුත් ක්‍රීඩා ඇමතිවරයා හමුවීමට ක්‍රීඩා පාලනය කරන ආයතන ගිය අතර නිතර සිදුවූයේ එම ආයතනවල නිලධාරීන් දෙපැත්තට බෙදී එකිනෙකාට චෝදනා කිරීම බව දැනගන්නට තිබේ. එහෙත් ක්‍රීකට් ආයතනයේ සියලු දෙනාම එකම තීරණයක සිටිමි එකම මතයක සිටි බවද වාර්තාවේ. මේවා එකට එක්වීමේ ප්‍රතිඵලය. එවිට ප්‍රශ්න අඩුය. අනෙක් පැත්තෙන් ප්‍රශ්න ඇති කරන්නන්ට ඇතුළට පැමිණීමටද අවස්ථාව අඩුවෙයි.  එක පැත්තකින් මෙය ඒකාධිපති ස්වරූපයේ ක්‍රියාවක් යැයි කෙනෙකුට අර්ථ දැක්විය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ප්‍රතිඵලයි. මෙහිදී යමක් මතක් කළ යුතුය. ප්‍රතිඵල යනු තරග ජයගැනීම හෝ පරාජය වීම නොවේ. ඒ කටයුත්ත බාරව ඇත්තේ ක්‍රීඩකයන් සහ කණ්ඩායම සමග සිටින කාර්යය මණ්ඩලයටය. ක්‍රිකට් ආයතනයේ කටයුත්ත වන්නේ පරිපාලනය, අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම, යටිතල පහසුකම් ඇති කිරීම ඇතුළු කාර්යයන්ය. ඔවුන් නිසි ආකාරයෙන් මේවා කළමානාකරණය කළහොත් එහි වාසිය ක්‍රීඩා කරන කණ්ඩායමට හිමිවේ. එහෙත් එසේ නොවුණහොත් ක්‍රීඩකයන්ට පීඩාවක් ඇතිවනු ඇත. 


වර්තමාන රජය ක්‍රීඩාවට ඇඟිලි නොගසන බව බලයට පත්වීමට පෙරම කිව්වේය. එහෙත් තීරණාත්මක තත්ත්වයන් හිදී දේශපාලන අධිකාරියට ඇඟිලි ගැසීමට සිදුවන අවස්ථා අපි දැක ඇත්තෙමු. මේ නිසා ක්‍රිකට් ආයතනය මුහුද හත්ගව්වක් තබාගෙන අමුඩය ගැසූ වැඩකට සමාන යමක් කළේ යැයි කිසිවෙකු කියන්නට හැක. එහෙත් මෙය කළ යුතුවම තිබූ දෙයකි. දේශපාල අතපෙවීම් ආවත් නැතත් කළ යුතුම වූ දෙයකි. මේ නිලධාරීන් පමණක් නොව අලුත් පරිපාලනයක් පැමිණියද ඔවුන්ටද දැන් මෙය වෙනස් කළ නොහැකිය. එසේම මේ පරිපාලනයට චෝදනා කළ පිරිසටද දැන් අලුත් චෝදනා සොයා ගැනීමට සිදුවනු ඇත. මෙය හොඳ තත්ත්වයකි. වැරැද්දට වැරදියැයි කියනවා නම් නිවැරදි දෙය නිවැරදි යැයි කීම ද අවශ්‍යය.


කාංචන දසනායක


 



අදහස් (0)

නවසීලන්තයේ සුදු අභියෝගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site