නදට පෙන්ෂන් දවසේ දී බෙහෙත් තුණ්ඩු අරන් එන වයසක අම්මලා, තාත්තලා ඔවුන්ගේ දූ දරුවන්ගෙන් ෆාමසි ඇතුළේ තියෙන්නේ ලොකු තදබදයක්. ඒත් දැන් එන්නේ දෙතුන් දෙනයි. ඒ ආවත් වෙනදා වගේ බෙහෙත් තුණ්ඩුවේ ලියලා තියෙන බෙහෙත් වර්ග ඔක්කොම ගන්නේ නැහැ. වෛද්‍යවරයා ගන්න කියලා ලියලා දෙන බෙහෙත් වර්ග වලින් ඔවුන්ම බෙහෙත් ජාති අඩු කරගෙන තියෙනවා. සමහර බෙහෙත් ජීවිත කාලෙ පුරාම ගන්න ඕනෑ ඒවත් තියෙනවා. නමුත් ඒ බෙහෙත් පවා ඔවුන් ගන්නේ නැහැ. එක පැත්තකින් බෙහෙත් හිඟය අනිත් පැත්තෙන් තියෙන බෙහෙත් ටිකට පවා විශාල මුදලක් වැය කරන්න වෙන නිසා ඒක ඔවුන්ට දරන්න බැරි මුදලක් නිසා බෙහෙත් ගන්නේ නැහැ. බෙහෙත් වේල් ගාණ අඩුකරගෙන ඉන්නවා. සමහර බෙහෙත් තියෙනවා එ්වා නියමිත මාත්‍රාවටම ගන්න ඕනෑ. නමුත් එසේ කරන්න ඔවුන්ට හයියක් නැහැ. ඒක හරිම සංවේදී කාරණයක්... පෞද්ගලික ෆාමසියක හිමිකරුවෙක් පවසා සිටියේ එසේ ය.   


“බබාගේ ඇහැට දාන්න අයි ඩ්‍රොප්ස් එකක් තියෙනවා. නමුත් ගන්න කොහේවත් නැහැ. මම බයේ ඉන්නේ දරුවාගේ ඇස් දෙකට මොකක් හරි විපතක් වෙයි ද කියලා. “ සිය දරුපැටියා ළයට තුරුළු කර ගනිමින් තරුණ මවක් කියා සිටියේ එසේ ය.   


“ඉස්පිරිතාලෙට ගියා තාත්තගේ ඇහේ ඔපරේෂන් එක කරගන්න. නොමිලේ දුන්න අක්ෂි කාච දැන් දෙන්නේ නැහැ. උපකරණ නැහැ කියලා ඔපරේෂන් එක දැන්ම කරන්න බැහැ කියලා තමයි දොස්තර මහත්වරු කියන්නේ. දැනටමත් තාත්තාගේ ඇස් දෙක දුර්වල වේවි යනවා. ඉස්පිරිතාලවල ප්‍රශ්න විසඳලා ආයේ දිනයක් දෙන්න කලින් තාත්තාගේ ඇස් දෙක පේන්නෙම නැතුව යයි ද කියලා මම බයෙන් ඉන්නේ.. සිය වියපත් තාත්තාගේ සුරත අල්ලාගෙන දියණියක පවසා සිටියේ එසේ ය. “   
මෙවන් දුක් ගැනවිලි සෑම දෙසින්ම ඇසෙන්නේ මේ මොහොතේ රටේ පවතින අතිශය බරපතළ සෞඛ්‍ය අර්බුදයක් නිසා ය. මේ වන විට රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම මුහුණ දී සිටින්නේ නිරෝගිව ජීවත් වීම පිළිබඳව වූ බරපතළ අභියෝගයකට ය. ඖෂධ සහ උපකරණ හිඟයත්, තිබෙන ඖෂධවල මිල රොකට් වේගයෙන් ඉහළට යාමත් නිසා රෝගී ජනතාව සිටින්නේ බරපතළ කනස්සල්ලක ය.   


ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාරවලට අවශ්‍ය උපකරණ සහ ප්‍රතික්‍රීයක, එක්ස්රේ උපකරණ වැනි දේ, විකිරණශීලි ද්‍රව්‍ය පරීක්ෂණවලට අවශ්‍ය ඩයි වර්ග ඇතුළු තවත් බොහෝ දේවල විශාල හිඟයක් මේ වන විට පවති. හැම කාණ්ඩයකම උපකරණවල හිඟයක් මෙසේ පවතින අතර එහිදී නිර්වින්දන ඖෂධ, වේදනා නාශක, ප්‍රතිජීවක, දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඖෂධ, ස්වසන රෝගීන්ට, හෘද රෝගීන්ට වකුගඩු රෝගීන්ට, පිළිකා රෝගීන්ට, අක්ෂි රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක මෙම හිඟය පවතින බව පවසන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වලත්, ග්‍රාමීය රෝහල් දක්වා මෙම ඖෂධ හිඟය පවතින බව අදාල දත්ත ද ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කීවේය.   
ඔහු පෙන්වා දෙන අන්දමට පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධවල දැඩි හිඟයක් පවති. පිළිකා නාශක ඖෂධ ප්‍රධාන වශයෙන් ඖෂධ වර්ග 60 ක හිඟයක් තිබෙන බවට රෝහල් වෛද්‍යවරුන්ගේ ශාඛා සමිති හරහා තොරතුරු ලැබී තිබෙන අතර සාමාන්‍ය ඖෂධවලට වඩා එම පිළිකා ඖෂධ පෞද්ගලික අංශයෙන් ගැනීමට යාමේ දී රුපියල් 30,000 ත් 40,000 ත් අතර මුදලක් අසරණ රෝගියෙකුට වැය කරන්නට සිදුව තිබෙන බව ද ඔහු සඳහන් කර සිටි.   


එසේම අක්ෂි රෝගීන්ට ලබාදෙන ඖෂධ, අක්ෂි කාච, ඇස්වලට දමන බින්දුමය සහ දියරමය වශයෙන් ලබාදෙන ඖෂධ, ජලභීතිකා රෝගයට ලබාදෙන එන්නත්, ස්නායු රෝග, ස්වසන රෝග, ආමාශගත රෝගවලට ලබාදෙන ඖෂධත් කැස්ස, හෙම්බිරිස්සාව උණ වැනි සාමාන්‍ය රෝගවලට ලබාදෙන ඖෂධත් කුඩා දරුවන්ට ලබාදෙන ඖෂධවලත් බරපතළ හිඟයක් රට පුරා රෝහල්වල පවති.   


“ගිය සතියේ අපට​ ලැබුණු තොරතුරු තමයි නැගෙනහිර පළාතේ දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින්වල විශාල හිඟයක් තියෙනවා කියලා. දියවැඩියාව උග්‍ර මට්ටමට ආපු රෝගීන්ට ඉන්සියුලින් ලබාදීම සැලකෙන්නේ ජීවිතාරක්ෂක ඖෂධයක් විදියට. ජලභීතිකා එන්නත්වල විශාල හිඟයක් තියෙනවා. වකුගඩු රෝගීන්ට ලබාදෙන ඖෂධ වගේම අක්ෂි රෝගීන්ට ලබාදෙන ඖෂධ, අක්ෂි කාච හිඟයක් තියෙනවා. රෝහල්වල නොමිලේ ලබාදෙන කෘතිම අක්ෂි කාච රෝහල්වල හිඟයි. එසේ හිඟ වුණාම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ එම ශල්‍යකර්මය කිරීම ප්‍රමාද කිරීමයි. එසේ පරක්කු වුණාම වෙන්නේ රෝගියාට පසුව ශල්‍යකර්මය කළත් වැඩක් වෙන්නේ නැහැ. මොකද රෝගියාගේ ඇසේ පෙනීම එතකොට සෑහෙන්න දුර්වල වෙලා ඉවරයි. අනික් පැත්තෙන් මෙම උපකරණ පෞද්ගලික අංශයේ ඉතා විශාල ලෙස සියයට 300 ක් ලෙස මිල ඉහළ ගිහින් තියෙනවා. එහෙම ඉතා විශාල මිලක් දී ගැනීමට හෝ පෞද්ගලික අංශයේ එහෙම අක්ෂි කාච නැහැ. මේ වෙලාවේ මෙම ඖෂධ හිඟය රාජ්‍ය අංශයේ පමණක් නෙමෙයි පෞද්ගලික අංශයෙත් හිඟයක් තියෙනවා. ඔය අයුරින් ඔය සෑම කාණ්ඩයකම ඖෂධ සහ උපකරණවල හිඟය තියෙනවා. ඒ අතර ඔය සියලු‍ම කාණ්ඩවල ඖෂධ සියයට 100 සිට සියයට 300 දක්වා මිලකින් ඉතාම ඉහළ මිලකින් වැඩි වෙලා තියෙනවා. මොකද අපි දන්නවා රටේ තවමත් සැලකිය යුතු පිරිසක් පෞද්ගලික අංශයෙන් තමන්ගේ ඖෂධ ටික ලබා ගන්නවා. දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අයත් ඉන්නවානේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය, වැනි රෝගවලට පෞද්ගලික අංශයෙන් දිගටම බෙහෙත් ගන්න පිරිසකුත් ඉන්නවා. ඔවුනුත් විශාල ගැටලු‍වකට මුහුණ දී සිටිනවා. කළින් බෙහෙත් ගන්න රුපියල් 5000 ක් වියදම් වුණා නම්, දැන් රුපියල් 15,000 ක් පමණ වෙනවා. වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.   
කෙසේ වුවද ඖෂධ නොමැතිව මෙතෙක් රෝගියෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වී නොතිබීම ද එක් පැත්තකින් සතුටට කාරණයකි. එවැනි තත්ත්වයකට රෝගියෙකු පත් කරන්නට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩය විසින් ඉඩක් විවරකර නැත්තේ රෝහල් සතුව ඇති ආදේශක හෝ වෙනත් මොනවා හෝ දෙයක් පාවිච්චි කර රෝගියා බේරා ගැනීමට ඔවුන් වගකීම් සහගතව පියවර ගැනීම ය.   


එය එසේ වුවත් සාමාන්‍ය රාජකාරි තුළ යම් යම් ගැටලු‍ පැන නැගීම නිසා ද රෝගිහු විශාල අපහසුතාවයන්ට පත්ව සිටිති. ශල්‍යකර්ම සඳහා දින ලබා දී පොරොත්තු ලේඛනවල සිටින බොහෝ රෝගීන්ට එම ශල්‍යකර්ම දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදුව තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාළ නිර්වින්දන ඖෂධ නොමැති වීම, ශල්‍යකර්මවලට අවශ්‍ය උපකරණ හිඟය ඇතුළු ගැටලු‍ ය. 

 
“සමහර අවස්ථාවල සායනයක දී රෝගියෙකුට එක්වර මාසයකට හෝ මාස දෙකකට බෙහෙත් දෙනවා. දැන් මාස දෙකකට දුන්න එක මාසයක් කරලා, මාසයකට දුන්න එක සති දෙකකට දෙන්න සිදුවෙලා තියෙනවා. මේ සීමා සහිත කරගෙන තමයි මේ වැඩ කටයුතු කරගෙන කළමනාකරණය කරගෙන යන්නේ. කෙනෙක්ට එකපාර රෝහලකට ගිහාම පේනවා රෝහලට එන හැම කෙනාටම මොනවා හෝ ලැබෙනවා. බෙහෙත් ටිකක් ලැබෙනවා කියලා. නමුත් අපි දන්නවා සීමිත වපසරියක් ඇතුළේ මේක කළමනාකරණය කර ගනිමින් තමයි කරන්නේ.“ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.   


මෙම පවතින සෞඛ්‍ය අර්බුදයට උත්තර පෙනෙන තෙක් මානයක නැති බව පෙනී යන්නේ බොහෝ වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පෙන්වා දෙන කාරණා නිසා ය. සෞඛ්‍ය බලධාරීන් මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳන බවට කොතෙක් පොරොන්දු දුන්න ද ඒවා ඉටු කරන බවක් පෙනෙන්නට නැතැයි ද ඔවුන්ගේ චෝදනාව ය. මාස තුනක් ඇතුළත මෙම ප්‍රශ්නය විසඳන බවට ජුනි මාසයේ දී සෞඛ්‍ය බලධාරීන් පොරොන්දු වුව ද සැප්තැම්බර් මාසය ද අවසන් ඇතත් ගත වූ සති දෙක තුන තුළ දකින්නට ලැබුණේ මෙම ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම තව තවත් උග්‍ර වී තිබෙන බව ය.   


මෙහිදී රටේ රෝගි ජනතාව පත්ව ඇති අසරණභාවය ගැන අලු‍තෙන් පැහැදිලි කරන්නට දෙයක් නැත. තමන්ට නියමිත බෙහෙත් ටික තමන් විසින්ම පාලනය කර ගැනීමෙන් පමණක් මෙයට විසඳුම් ලබා ගත හැකිද?, නොඑසේනම් තමන්ට සුවයක් ලැබේ යැයි සිතෙන අත් බෙහෙත්, වෙනත් විකල්ප ඖෂධ පාවිච්චිය මගින් උත්තර ලබා ගත හැකි ද? ඖෂධ මිල වැඩිවීම පාලනය කර ගැනීම සඳහා මෙන්ම හිඟ ඖෂධ ලබා ගැනීමට ඖෂධ මිලදී ගැනීම් කළ යුතුද?, එසේ මිලදී ගැනීම් කරන්නේ නම් එය සාධාරණව ඉටු වෙයිද? මේවා ජනතාව ඉදිරියේ ඇති ගැටලු‍ ය. අප ඒ පිළිබඳව ද සොයා බැලු‍වෙමු.   


“ඇත්තටම මේ වෙලාවේ ජනතාව අසරණයි. අපිට කියන්න තියෙන පළමුවෙනි කාරණය තමයි තමන් පුළුවන් තරම් තමන්ගේ ඖෂධ ටික පිළිවෙළට ගන්න උත්සහ කරන්න කියලා. පෞද්ගලික අංශයෙන් නම් දිගටම ගන්නේ ඒ ඖෂධ ටික ගන්න අමාරුයි නම් තමන්ගේ වෛද්‍යවරයා හරහා ළඟම තියෙන රෝහලේ ලියාපදිංචි වෙන්න හරි උත්සහ කරන්න සිද්ධ වෙනවා. පෞද්ගලිකව ගන්න විදියක් නැත්නම් ගන්නේම නැතිව යනවනේ. අඩුම තරමින් රජයේ රෝහලින් ආදේශකයක් හෝ ගන්නවානේ. රෝගින් බෙහෙත් නොගැනීම නිසා පසුව සංකුලතා සමග රෝහලට එනවා. සෞඛ්‍ය පද්ධතියත් එවිට දැඩි අසීරුතාවයට පත් වෙනවා. මේ තියෙන ධාරිතාවත් එක්ක පාලනය කරගන්න අමාරුයිනේ. අපි ජනතාවට කියන්නේ තත්ත්වය අවබෝධ කරගන්න. එසේ අවබෝධ කරගෙන හැසිරීම පාලනය කරගන්න. ප්‍රතිකාර කරනවාට වඩා රෝග නිවාරණය තමයි වැදගත්. ජනතාවට වගකීමෙන් කියනවා මේ මොහොතෙත් කවුරු හෝ හදිසි රෝගයක් වෙලා, අනතුරක් වෙලා ජීවිත අනතුරක් සහිතව රෝහලට ආවොත් බෙහෙත් නැති නිසා කිසිම රෝගියෙක් මැරෙන තත්ත්වයක් මේ රටේ නැහැ. එසේ නොවන්න මේ රටේ සෞඛ්‍ය සේවකයන් වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය ඇතුලු‍ සියලු‍ දෙනාම ඒ තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. තියෙන බෙහෙත් ටික, ආදේශක හෝ සොයාගෙන මොනවා හෝ කරලා ඒ තත්ත්වයට යන්න තවමත් ඉඩ දීලා නැහැ. මේ රටේ පරිත්‍යගශිලීන්ගෙන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලන්නේ මේ රටේ ඖෂධ හිඟය මග හරවා ගන්න ඔවුන්ට පරිත්‍යගයක් උදව්වක් කරන්න ඕනෑ නම් මේ තමයි හොඳම අවස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සම්බන්ධ වෙලා ඒ පරිත්‍යාගය කරන්න කියලා. අමාත්‍යාංශයේ ඒ වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් තියෙනවා . 

 
ඒ වගේම ඔබ සඳහන් කරන අනික් ප්‍රශ්නය ගැන කිව්වොත් මෙම ඖෂධ හිඟයත් සමග හදිසි මිලදී ගැනීම් කෙරෙනවා. එහිදී තමන්ගේ යාලු‍ හිත මිතුරන්ට අයුතු ලාභ ලැබෙන විදියේ සමහර ක්‍රියා මාර්ග යනවා. හදිසි මිලදී ගැනීම් නියාමනය කිරීමට සහ මිල පාලනය කරන්න පැහැදිලිවම යාන්ත්‍රනයක් ඕනෑ’ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.   
මේ අතර සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඉකුත් 21 වැනිදා මෙම ඖෂධ හිඟය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රෙයේ පවතින අර්බුද සැලකිල්ලට ගනිමින් ප්‍රකාශ කර සිටියේ, හිඟ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 91 ක ගැටලු‍ව ඉදිරි සති කිහිපයේ දී නිවැරැදි කිරීමට පියවර ගන්නා බවයි. අත්‍යවශ්‍ය ඖෂධ 383 න් 91 ක හිඟයක් පැවැතිය ද මේ තත්ත්වය කඩිනමින් කළමනාකරණය කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා දැඩිව අවධාරණය කර තිබිණ. ඒ අනුව මාස තුනක් හෝ මාස හයක් වෙනුවෙන් අවශ්‍ය මිලදී ගැනීම් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, ඖෂධ මිළදී ගැනීමේ දී විවිධ බාධක පවතින අතර මේ මිළදී ගැනීම් මෙන්ම අනෙකුත් කටයුතු සිදුකරන්නේ ද විවිධ ප්‍රශ්න මධ්‍යයේ බවත් ඇමතිවරයා සඳහන් කර තිබිණ.   


“ජීවිතාරක්ෂක බෙහෙත් වර්ග 14 ක් තිබෙනවා. ඒ බෙහෙත් වර්ග 14 ම මේ වෙලාවේ අපේ ළඟ තියෙනවා. නමුත් තිබෙනවයි කිව්වහම මාස 6-3 ක තොග නොවෙයි. ප්‍රධාන ගබඩාවේ ඒක නැහැ. නමුත් දැනට පාවිච්චිය සඳහා අවශ්‍ය පමණට තිබෙනවා. ඒ වගේම ඇන්ටි වෙනම්, ඇන්ටි රේබීස් එක අපි ගාව අඩුවක් තිබුණා. නමුත් ඒකත් යම් ප්‍රමාණයක් තිබෙනවා. ජීවිතාරක්ෂක ඖෂධ මේ වෙලාවේ තිබෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මාස තුනක්, මාස හයක් වැනි කාලයක් සඳහා ප්‍රමාණවත් තරමට තිබෙනවා කියලා. ඉදිරි දින සති කිහිපය තුළ තත්ත්වය නිවැරැදි කරගැනීමට හැකියාවක් ලැබෙයි. මොකද විවිධ ණය ලබා ගැනීමේ ක්‍රමවේද අපි හිතන තරම් ලේසි නැහැ.. ඇමැතිවරයා පවසා සිටියේ 
එසේ ය.   

 

 

 

පද්මිණි මාතරගේ