“අප්‍රේල් දහ අට වෙනිදා තමයි මගේ උපන්දිනය. මම දුවට කිව්වා, මගේ උපන් දිනය වෙනුවෙන් ඔයා මට දෙන ලොකුම තෑග්ග තමයි රන් පදක්කම අරන් දෙන එක කියලා. අපි ඒක බලාපොරොත්තුවෙන් ඉන්න කොට දුව මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා, ’අම්මා මම අම්ම ගේ උපන්දින තෑග්ග ලබා ගත්තා’ කියලා. ඒ වෙලාවේ මට දැනුණු සතුට වචන වලට පෙරළන්න බැහැ.”
“දුව අපේ රටට ආපහු එනකොට ඈව පිළිගන්න කටුනායකට බස් එකේ යන්න වත් අතේ සතයක් තිබ්බේ නැහැ. අපේ අම්ම ගෙන් රුපියල් පහළොස් දාහක් අතමාරුවට අරගෙන තමයි අපි ගුවන් තොටුපොළට ගියේ. මල් පොකුරක් හැරුණාම දුවට දෙන්න වෙන දෙයක් මට තිබුණෙ නෑ.”
ෙම සංවේදී කතාව අප සමග කීවේ, පසුගියදා සෞදි අරාබියාවේ පැවති හයවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් අටසීය දිවීමේ තරගයෙන් රන් පදක්කම ලබාගත් - ගලේවෙල, නිලගම ප්‍රදේශයේ පදිංචි තරුෂි අභිෂේකා ප්‍රේමසිරි ක්‍රීඩිකාවගේ මව් වන නිලානි ප්‍රීතිකා ජයසූරිය (38) නමැති තිදරු මවය.
තරුෂිගේ තතු සඳහන් කරමින් ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක අප වෙතින් ඉල්ලා සිටියේ, දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන කුසලතා සපිරි මෙම දැරියට දිරියක් සවියක් විය හැකි යම් ත්‍යාගශීලියෙකු ගේ හෝ ආයතනයක අවධානයක් යොමු කරවා දෙන ලෙස ය.
ඒ අනුව තරුෂිගේ මවට දුරකථන ඇමතුමක් දී ඇය ගුවන් තොටුපොලේ සිට පැමිණියේ ද යන්න පිළිබඳව අප විමසද්දී - තරුෂිගේ නිවුන් සහෝදරයා සමගින් කටුනායක සිට ගලේවෙලට බසයෙන් එන ගමන් බැව් ඇය කීවාය. එහෙයින් ඔවුන් පැමිණෙන තෙක් ගලේවෙල නගරයේ රැඳී සිටි අපි - එහිදී අප ගමන් ගත් මෝටර් රථයටම නංවාගෙන නිලගම ප්‍රදේශයේ ඔවුන්ගේ නිවස බලා ගමන් ඇරඹීමු.
ඔවුන් ගේ නිවසට යාමට ඇත්තේ ඉතා දුෂ්කර මාර්ගයකින් වීම ද විශේෂත්වයකි. නිවස ළඟටම වාහන ගමන් කිරීමට හැකියාවක් නැත. අතරමග මෝටර් රථය නවතා, ඉඩම් හිමිකමක් හෝ නොමැතිව පන්සල සතු ඉඩමක තනා තිබූ කුඩා නිවස වෙත ගියෙමු.
අසල්වැසි පිරිස දිවවිත් තරුෂි ගේ තොරතුරු ගැන මවගෙන් විමසන්නට වූ අතර - තරුෂි ලැබූ විවිධ ජයග්‍රහණ සංකේතවත් කරමින් තැන්පත් කර තිබූ කුසලාන, පළිහ, සහතික සහ පුවත්පත් වළ තරුෂි පිළිබඳ ලියැවුණු ප්‍රවෘත්ති, විශේෂාංග, හා ලිපි බිත්ති අතුරා පවතිනු අපට දැකගත හැකි විය.
තරුෂිගේ පියා - සමන් කුමාර ප්‍රේමසිරි, කොළඹ ප්‍රදේශයේ කුඩා හෝටලයක සේවය කරණු ලබයි. අප එම නිවසට ගිය අවස්ථාවේදී ඔහු රැකියාවට ගොස් තිබුණි. තරුෂිගේ නිවුන් සහෝදරයා - තරුෂ අභිලාශ ප්‍රේමසිරි ස්නායු රෝගයකට ප්‍රතිකාර ලබයි. පුංචි නැඟණිය වන තරුකි සෙනායා පළමු වසරේ ඉගෙනුම ලබන්නීය.
මව අප සමග දොඩමලු වූවාය. “අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් නිවුන්නු. තරුෂි දුවයි, පුතයි. පුංචි දියණිය බඩපිස්සි. මගේ සැමියා කොළඹ ප්‍රදේශයේ පුංචි හෝටලයක වැඩ කරනවා. මාසයකට රුපියල් තිස්දාහක විතර වැටුපක් තමයි එයාට ලැබෙන්නේ. මම රැකියාවක් කරන්නේ නැහැ. ඉතිං ආර්ථික දුෂ්කරතා ගොඩාක් මැද තමයි අපි ජීවත් වෙන්නේ. සමහර දවස්වලට තුන් වේලට ආහාර සපයා ගන්නත් බැරුව යනවා.”
“මගේ දරුවා නිලගම කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මුලින්ම අධ්‍යාපනය ලැබුවේ. පහේ ශිෂ්‍යත්වෙන් පාස් වෙන්න එයාට ලකුණු හතරක් මදි වුණා. ඒත් එයාගේ නිවුන් සහෝදරයා ඒකෙන් සමත් වුණා. පස්සේ මම දුවත් කොහොම හරි දඹුල්ල ජාතික පාසලට දා ගත්තා. නමය වසර වෙනකල් ඒ පාසලේ තමයි දුව ඉගෙන ගත්තේ”.
“දඹුල්ල පාසලේ ක්‍රීඩා භාරව හිටියේ මුදිතා ගුණරත්න කියලා මැඩම් කෙනෙක්. එයා දුවට කියල තිබුණා ඔයාගේ ඇඟේ හැටියට හොඳට දුවන්න පුළුවන් කෙනෙක්, ඒ නිසා ක්‍රීඩා කරන්න එන්න කියලා. එයා ක්‍රීඩිකාවක් බවට පත්වෙන්නේ එහෙම. එයාට දුවන්න සපත්තු දෙකක් අරන් දෙන්න කියලා මැඩම් මට කිව්වා. ඒත් අපිට එහෙම වත්කමක් තිබුණේ නැහැ. සපත්තු දෙකක් අරන් දුන්නේ, මෙයා සමස්ත ලංකා තරග වලින් ජයග්‍රහණය කරාට පස්සේ - අපේ තාත්තා මැදිහත් වෙලා පවුලේ නෑයෝ එක එක්කෙනා රුපියල් පන්සිය හමාර දාලා සල්ලි එකතු කරලා තමයි. ඇත්ත කියන්න ලැජ්ජා වෙන්න ඕනෑ නෑ.”
“එයාට වෙනම ආහාර කියලා දෙයක් තිබුණෙ නැහැ. අපිත් එක්ක ලැබෙන දේ කාලා තමයි හිටියේ. මුදිතා මැඩම් දඹුල්ලෙන් යන්න ගියා. එතුමිය යන්න කලියෙන් අපේ දුව බුද්ධික නුවන් ක්‍රීඩා ගුරුතුමාට හඳුන්වා දීලා - ගම්පොළ වික්‍රමබාහු පාසලට ඇතුළත් කරවීමට අවශ්‍ය කටයුතු පිළියෙල කර දුන්නා. ඉතිං ඒ අනුව දැන් දුව ඉගෙන ගන්නේ ඒ පාසලේ. එයා බෝඩිමක තමයි ඉන්නේ. මාසෙකට රුපියල් 25000ක් ඕනේ. ළමයි හතර පස් දෙනෙක් ඉන්නවා. ඒ අය උයාගෙන පිහාගෙන කනවා. අපි ඉන්න තත්ත්වය බුද්ධික සර් දන්නවා. ඉතිං දුවට අවශ්‍ය ආහාර පාන, ක්‍රීඩා සපත්තු, ක්‍රීඩා ඇඳුම්, ඒ මේ සියල්ලක්ම දෙන්නේ බුද්ධික සර්. ඇත්තටම කියන්න වචන නැහැ, එතුමා ගුරුවරයෙක් නම් නෙවෙයි දෙවි කෙනෙක් වගේ. ‘තරුෂිගෙ අම්මා බය නැතුව ඉන්න, තරුෂි ඔයගොල්ලන්ට අපට විතරක් නෙවෙයි, රටටම ආඩම්බරයක් ගෙන දෙන දරුවෙක් වෙනවා’ කියලා තමයි ඒ සර් මට හැම වෙලාවෙම කියන්නෙ.”
“මගේ උපන් දිනය දවසේ තමයි දුව තරග කළේ. දුව තරග වලට ඉදිරිපත් වෙන අවස්ථාව ජංගම දුරකථනයෙන් බලන්න පුලුවන් කියලා, අපිට ‘ලින්ක් එකක්’ එවලා තිබුණා. ඒකෙන් දුව පළවෙනියා හරි දෙවෙනියා හරි වෙනවා ආසාවෙන් උනන්දුවෙන් බල බල ඉන්නකොට කරුමේ කියන්නෙ මහත්තයෝ මගේ ෆෝන් එක කැඩුණා නෙව. අනේ ඉතිං ජයග්‍රහණ මොහොත බලා ගන්න බැරිවුණා. මම ඒකට හරියට දුක් වුණා. අසල්වැසි ගෙදරකට දුවන් ගිහින් බලනකොට දුව ජයග්‍රහණය කරලා ඉවරයි. එතකොටයි එයා ඇමතුමක් අරන් කිව්වේ, ‘සුභ උපන් දිනයක් අම්මේ ඔන්න අම්මගේ උපන්දින තෑග්ග මම ගත්තා’ කියලා”
“ඒ වෙලාවේ දැනුණු සතුට කොච්චර ද කියල කියන්න බෑ. මගේ පුතා ස්නායු රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. අපි හම්බ කරන සෑම සතයක්ම එයා වෙනුවෙන් වියදම් කරනවා. දොස්තරවරු කියල තිබුණෙ එයාව ජීවත් කරව ගන්නත් බැරි වෙයි කියලා. හැබැයි අපේ උත්සාහය නිසා එයා තවමත් ජීවත් වෙනවා. අපිටම කියලා ඉඩමක් නැහැ. පන්සලෙන් ලැබුණු ඉඩමක තමයි පොඩිවට ගේ හදාගත්තේ. හරියට කෙනෙක් ආවොත් ඉඳගන්න දෙන්න පුටුවක් වත් දරුවන්ට අවශ්‍ය කාමරවල පහසුකමක්වත් නෑ. හැබැයි මොන අඩුපාඩු තිබුණත් - දරුවන් තුන්දෙනාටම හොඳ නරක කියා දෙන එක තමයි අපේ වගකීම වෙන්නේ.”
උපතින්ම උරුම වූ දුකකඳුළ වේදනා නොතකා මව්රට හා ආදරණීයයන් වෙනුවෙන් වැලිකතරේ තරගවැද ජයගත් තරුෂිගේ පැතුම ඉටුවේවායි පතමු.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස
“අප්‍රේල් දහ අට වෙනිදා තමයි මගේ උපන්දිනය. මම දුවට කිව්වා, මගේ උපන් දිනය වෙනුවෙන් ඔයා මට දෙන ලොකුම තෑග්ග තමයි රන් පදක්කම අරන් දෙන එක කියලා. අපි ඒක බලාපොරො
අලිසා කාසන් 24 හැවිරිදි හැඩකාර ඇමෙරිකන් තරුණියකි. අද වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරති. ඊට අපූරු හේතුවක් ඇත. ඒ අඟහරු ග්‍රහයා වෙත යෑමට ඇය
දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව
ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශ
වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කඳුළ මැදින් ලොව දිනු ලක් දියණිය තරුෂි අභිෂේකා