(මනෝප්‍රිය ගුණසේකර)

ව්‍යවස්ථාපිත ආයතනයක් වන පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට අධිකාරී ලත් පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධිකරණ බලයක් නොමැති බව පැවසීමෙන් පොලිස්පතිවරයාගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවිය හැකි බව පෙන්වා දුන් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා මේ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස පොලිස්පතිවරයාට අවවාද කළේය.

ව්‍යවස්ථාදායකය විසින් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය පිහිටවීමේ අභිමතාර්ථ පැහැදිලි කරමින් පොලිස්පතිවරයාගේ තීරණය දැඩි ලෙස දෝශ දර්ශනයට ලක් කළ පරිපාලන අභියායතන විනිශ්චය අධිකාරියේ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාගෙන්ද උපදෙස් ලබාගෙන ලබන 28 වෙනදා වන විට පොලිස්පතිවරයාගේ ස්ථාවරයේ දැනුම් දෙන ලෙස නියම කළේය.

සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම සඳහා සුදුසුකම් සපුරා තිබූ තමන් මගහැර පොලිස් විශේෂ කාර්ය බළකායේ තෝරාගත් නිලධාරීන් 11 දෙනකු පමණක් 2018 වසරේ දී සහකාර පොලිස් අධිකාරි තනතුරට පත් කිරීම අභියෝගයට ලක් කරමින් තමන්ද 2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී ධූරයේ පිහිටවන්නැයි ඉල්ලමින් සහකාර පොලිස් අධිකාරීවරියක් සහ අධිකාරිවරුන් අටදෙනෙකු ගොනුකළ පෙත්සමක් කැදවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ විනිසුරු මඩුල්ල එලස නියම කළේය.

මෙම පැමිණිල්ල පරිපාලන විනිශ්චය අධිකාරියේ සභාපති විනිසුරු විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි සාමාජික විනිසුරුවරුන් වන ජේ. ජේ. රත්නසිරි සහ එස්. නන්දසේකරන් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලිණී.

ජාතික පොලිස් කොමිසම වගඋත්තරකරු කරමින් සහකාර පොලිස් අධිකාරීවරියක් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් අටදෙනෙකු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

තමන් මෙන්ම අදාළ සුදුසුකම් සපුරා තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලධාරීන් 28 දෙනෙකු සිටියදී තමුන් අතහැර ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයේ කටයුතු තෝරාගත් නිලධාරීන් 11 දෙනකු පමණක් සහකාර පොලිස් අධිකාරී ධුරයට 2018 වසරේදී උසස් කළ බවද තමන් අදාළ තනතුරට උසස් කරන ලද්දේ ඊට වසර තුනකට පසු 2021 වසරේදී බවද පෙන්වා දෙන පෙත්සම්කරුවෝ තමන්ගේ උසස් වීම් 2018 වසරේ දී සිදුවූ බව දැක්වෙන පරිදි පසුදාතමින් යුතුව නිකුත් කරන්නයි ඉල්ලා සිටිති.