ළදරුවන්ට ආහාර ලබා දීමේ දී සුරක්ෂිතව කටයුතු කරමු
දරුවාගේ කායික හා මානසික සෞඛ්‍යය සුරක්ෂිතව පවත්වා ගැනීමට ආහාරවල පෝෂණ ගුණයන් සහය වෙයි. එහිදී පෝෂදායී හා සමබල ආහාර වේලක් දරුවාට ලබා දීම ඉතා වැදගත් වේ. ළදරුවාගේ ආහාර හා පෝෂණ අවශ්‍යතා සැපිරීමේ දී මෙන්ම දරුවන් හට ආහාර ලබා දීමේ දී මවුපියන් ඉතා වගකීම් සහගතව හා ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත් වේ.
ආහාර ලබා දෙන විට යම් හෙයකින් ධාන්‍ය වැනි ඝන ද්‍රව්‍යයකින් හුස්ම සිර වීමක් ඇති වුව හොත් දරුවාට ඉබේම කැස්සක් ඇති වීම, ශ්වසන අපහසුතාවය, අධික ශබ්දයෙන් හුස්ම ගැනීම වැනි ලක්ෂණ දැකිය හැක. දරුවාගෙන් සුළු ප්‍රමාණයකින් හෝ කැස්සක් නිරීක්ෂණය වේ නම් හැකි පමණ කහින්නට දරුවාව උනන්දු කළ යුතුය. අවුරුදු 2ට අඩු කුඩා දරුවෙක් නම්, වම් අතේ අත්ල මත දරුවාගේ බඩත් පපුවත් රැඳෙන ආකාරයට දරුවා මුනින් අතට තබා හෝ වයස වැඩි දරුවෙක් නම් හිස පහළට සිටින සේ මුනින් අතට රඳවා පිට කොන්දට අනෙක් අත්ලෙන් පහළ සිට ඉහළට යොමු වන ලෙස 05වරක් පමණ තෙරපුම් ලබා දිය යුතුය. එසේ කළ විට හුස්ම හිර වූ තත්වය අඩු වේ නම් හෝ සිර වූ ද්‍රව්‍ය පිටතට පැමිණෙයි නම් දරුවාට කැස්ස හට ගනියි. එසේ නැතහොත් දරුවාගේ බඩ තුළට සහ ඉහළට යොමු වන ආකාරයට දෙඅත් භාවිතයෙන් තෙරපුම් ලබා දෙමින් වාර 05ක් පමණ බඩ තද කළ හැකිය. නිවසේ දී කළ හැකි මෙම මූලික ප්‍රතිකර්මවලට දරුවා යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට දරුවාව රැගෙන යා යුතුය.
ආහාර විෂ වීමක දී දරුවා වමනය කිරීම, බඩේ අජීර්ණය, මළපහ සමඟ රුධිරය පිටවීම, උණ, ඇතැම් විට දරුවා මලානිකව සිටීම වැනි රෝග ලක්ෂණ හට ගනියි. මෙවන් අවස්ථාවක දී ජලය පමණක් නොව අයන සහිත ජීවනී පානය දරුවාට අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීමට දිය යුතුය. එහෙත් දරුවා ආහාර සහ ජීවනී ප්‍රතික්ෂේප කිරීම, අධික වමනය සහ උණ, මළ පහ සමඟ රුධිරය පිටවීම අධිකව තිබේ නම් වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු විය යුතුයි.
පහසුවෙන් සරලව ලබා ගත හැකි අධික ශක්ති ජනක කෙටි ආහාරයක් (ස්නැක්) දරුවාට දෙන විට, ඒ කුඩා දෙයින් අධික ශක්තියක් ලැබෙන නිසා ඉක්මනින් කුස පිරෙයි. එහි දී සීනි අධික බිස්කට්, ලුණු අධික කෙටි ආහාර වෙනුවට පෝෂණ ගුණයෙන් පිරි යෝගට්, ත්‍රි පෝෂ වැනි සරල ආහාර දරුවන්ට ලබා දීම සුදුසු වේ.
ආහාරවල මිල අධික නිසා ආහාර රටාවේ වෙනස් වීම් සිදු වීමෙන් මෙම පෝෂණ අවශ්‍යතා සැපිරීම දෙමව්පියන්ට අභියෝගයක් බවට පත්ව ඇත. මන්ද පෝෂණය, විෂම පෝෂණය වැනි සෞඛ්‍ය ගැටලු දරුවාට ඇති වීමට පෙරාතුව, ඵලදායී හා මනා කළමණාකාරීත්වයෙන් සමබල ආහාර වේලක් දරුවාට ලබා දීමට හැකි නම් එය දරුවාගේ සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කිරීමට උපකාරී වේ.
Dr. Mahika Udara
වෛද්‍ය නිළධාරී
(MBBS Colombo)(MSc Community Medicine)
සෞඛ්‍ය අමාත්‍යංශය