‘දිට්වා’ ඉන්දියාවේ වැඩ පෙන්වයි


ඉන්දියාවට හමා ගිය ‘දිට්වා’ චණ්ඩ මාරුතය හේතුවෙන්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවරට මහ වැසි ඇද හැලෙමින් පවතී. චෙන්නායි නුවර පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බැවින්, ගමනාගමන කටයුතු ද අඩපණ වී ඇත. චෙන්නායි බලධාරීන් පැවැසුවේ, ගුවන් ගමන් 18 ක් අවලංගු කළ බවය.

මේ වනවිට චෙන්නායි නුවර පාසල් හා විශ්වවිද්‍යාල වසා දමා ඇති බව ද වාර්තා වේ. චෙන්නායි කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ මිලිමීටර් 300 කට ආසන්න වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවය. චෙන්නායි දුම්රිය ගමන් බිමන් ද අඩපණ වී ඇත. පහත් බිම්වල පිරිස් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බව ද වාර්තා වේ.

සුළි කුණාටුව චෙන්නායි නුවර සිට කිලෝමීටර් 40ක් නැගෙනහිරින්, පුදුචේරි සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසින්, කුඩ්ඩලෝර් සිට කිලෝමීටර් 140ක් ඊසාන දෙසින් සහ ආන්ද්‍රා ප්‍රදේශයේ නෙල්ලෝර් සිට කිලෝමීටර් 190ක් දකුණින් ගමන් කරමින් තිබුණි. කුණාටුවේ ප්‍රබලත්වය කෙමෙන් වියැකී යමින් ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළ කර තිබේ.