හොරු කටුගේ චිත්‍ර රැගෙන යති


චිත්‍ර කලාව හදාරන සිසුන් පිරිසක් ලෙස පෙනී සිටි සොර මුලක් දකුණු අපි්‍රකාවේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබූ චිත්‍ර සමූහයක් සොරා ගෙන ගොස් ඇතැයි වාර්තා වේ. එම චිත්‍ර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් ලක්ෂ 20 (රුපියල් ලක්ෂ 2640) ඉක්මවන බව සදහන් වේ. චිත්‍ර කලාව හදාරන සිසුන් ලෙස පවසමින් කෞතුකාගාරයට ඇතුළු වී ඇති සොරුන් චිත්‍ර කිහිපයක නම් සදහන් කරමින් තමන්ට ඒවා නැරැඹිමට අවශ්‍ය බව පවසා ඇත. ඒවා පෙන්වීමට ඔවුන් කැදවාගෙන යන අවස්ථාවේ සගවාගෙන සිටි ගිනි අවි එළියට ගෙන ඇති සොරුන් කෞතුකාගාරයේ සිටියවුන් බිය ගන්වා ඔවුන් ගැට ගසා චිත්‍රද රැගෙන පලා ගොස් තිබේ. කෞතුකාගාරයේ තිබූ චිත්‍ර අතුරින් සොරුන් රැගෙන ගොස් ඇත්තේ තෙල් සායමින් අඳින ලද චිත්‍ර බව කෞතුකාගාර ආරංචි මාර්ග කියයි. සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කර ඇති අතර සොරුන්ට රටින් පිටවීමට ඇති මාර්ගද ඇහිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. (කෝ වි ගු)