සූ කී යහතින් ඉන්නවා: හමුදා පාලකයෝ කියති


මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී ගැන කිසිදු හෝඩුඩාවක් නැතැයි ඇගේ පුතු කිම් ඒරීස් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට අවුන් සාන් සූ කී ප්‍රමුඛ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා බලය අල්ලා ගත් මියන්මාර හමුදා රජය පිළිතුරු දුන්නේය.

මියන්මාර හමුදා පාලකයන් කියා සිටියේ, සූ කී යැංගොන් නුවර සිය නිවසේ නිවාස අඩස්සියේ සිටින බවත්, ඇය ගැන කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්ය.

බලයෙන් නෙරපීමෙන් පසු, චෝදනා රැසකට වරදකාරිය වුණු සූ කීට සිරදඩුවම් නියම විය. කෙසේ නමුත් පසුව එම දඩුවම නිවාස අඩස්සියක් ලෙස වෙනස් විය.

නිවාස අඩස්සියට පත් කිරීමෙන් පසු තම මව සූ කී ගැන වසර දෙකකින් කිසිදු ආරංචියක් නොමැති බව කිම් ඒරීස් පවසා තිබේ.  කිම් ඒරිස් බිය පළ කළේ 80 හැවිරිදි තම මව මියගොස් ඇති බවය.

සූ කී බලයෙන් නෙරපා දැමුණේත්, විවිධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණේත් 2021 වසරේ සිදුවුණු හමුදා කුමන්ත්‍රණයෙනි. කිම් ඒරීස් වැඩි දුරටත් පවසා ඇත්තේ තම මව හෘද රෝගියකු බවය. වසර දෙකකින්, අවුන් සාන් සූ කීගේ නීතීඥ කණ්ඩායමට පවා ඇය හමුවීමට මියන්මාර හමුදා පාලකයන් ඉඩ දී නැති බව ද කිම් ඒරීස් පැහැදිලි කර ඇත.

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ අවුන් සාන් සූ කී, විවාහ වූයේ බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනඥයකු මෙන්ම ඉතිහාසඥයකු ද වන මයිකල් ඒරිස් සමඟය. ඒ 1972 දීය. යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. මයිකල් ඒරිස්, 1999 වසරේ දී මියගියේය‍.