සැඟවී සිටි වෙනිසියුලා විපක්ෂ නායිකාව එළියට


ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් වෙනිසියුලා විපක්ෂ නායිකාව ලෙස පිළිගන්නා මරියා කොරිනා මචාඩෝ මාස ගණනකට පසු ප්‍රසිද්ධියේ පෙනී සිටියාය. ඒ, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදීය.

ඔස්ලෝ අගනුවර ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ඇය පිළිගැනීමට ඇගේ ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් ද පැමිණ සිටි බව වාර්තා වේ. සැඟවී ජීවත් වුණු මචාඩෝ, මෙසේ ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය ජනවාරි මාසයෙන් පසුවය.

මචාඩෝ, වෙනිසියුලා ජනාධිපති මදුරෝගේ සහ රජයේ උදහසට ලක් වී සිටී. ඇයට දේශද්‍රෝහී චෝදනා එල්ල වී තිබේ. වෙනිසියුලා රජය ඇයට විදෙස් සංචාර තහනම් කර ඇත. ආධාරකරුවන්ගේ සහාය ඇතිව මචාඩෝ, රහසේ වෙනිසියුලාවෙන් පිටවී, නෝර්වේ බලා පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම 2025 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ද මචාඩෝ ය. නොබෙල් සාම ත්‍යාග ප්‍රදානය පසුගිය 10 වැනිදා ඔස්ලෝ නගරසභා ශාලාවේ දී පැවැතිණි. 

එම සම්භාව්‍ය උත්සවයේ දී සාම ත්‍යාගයට අදාල පදක්කම සහ සහතික පත්‍රය ලබා ගැනීමට මචාඩෝ නොගිය අතර, ඇය වෙනුවට ඇගේ දියණිය ඇනා කොරිනා සෝසා පදක්කම සහ සහතික පත්‍රය ලබා ගත්තාය.