ඉකුත් බදාදා (22) සවස් වරුවේ ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කලීඩ් මසූද් නැමැත්තා අයි.එස්.අයි.එස් සංවිධානයේ උපක්‍රම භාවිතා කළ ද ඔහු අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු නැතැයි බ්‍රිතාන්‍ය පොලිසියේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඬේලිමේල් පුවත් සේවය අද (27) වාර්තා කළේය.
වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය සහ එරට බුද්ධි අංශ පරීක්ෂණ පවත්වන අතර විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පොලිසියේ නියෝජ්‍ය සහකාර කොමසාරිස් නීල් බාසු කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මසූද් මෝටර් රථය පැය හැතැප්ම 76ක වේගයෙන් පදිකයන් යට කරමින් පදවාගෙන ගොස් ඇතැයි ද ප්‍රහාරයට ගත වී ඇත්තේ තත්පර 82ක කෙටි කාලයක් යැයි ද එහිදි අනාවරණය වී තිබේ.
‘කලීඩ් මසූද්ගේ ප්‍රහාරක ක්‍රමවේද අත්දැකීම් අඩු බවක් පෙන්නුම් කරනවා. ඒවා අනෙක් ප්‍රහාර දෙස බලන විට තාක්ෂණයෙන් බාලයි. වියදම් අඩුයි. එහෙත් ඔහු එල්ල වූ නව, තාක්ෂණික සහ දරුණු ප්‍රහාර අනුකරණය කළ බවක් පෙනී යනවා. මෙම ප්‍රහාරය බොහෝ දුරට අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරවලට සමානයි. එහෙත් දැනට ඔහු අයි.එස් සංවිධානයට හෝ අල්කයිඩා සංවිධානයට හෝ සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ලැබී නැහැ. එහෙත් ප්‍රහාරය දෙස බැලීමේදී ජිහාද්වාදී ස්වරූපයක් තිබෙනවා’ කොමසාරිස් නීල් බාසු කීය.
මසූද් සිරගත වී සිටි කාලයේදී මූලධර්මවාදී/අන්තවාදී වූ බවට තොරතුරු වාර්තා වුවද ඒ කිසිවක් සනාථ කළ හැකි කිසිදු තොරතුරක් ලැබී නැතැයිද බ්‍රිතාන්‍ය පොලිසිය තවදුරටත් සඳහන් කරයි. කෙසේ වෙතත් සිරභාරයෙන් නිදහස් වී වසරකට පසු කලීඩ් මසූද් ඉස්ලාම් දහම ඇදහීම ආරම්භ කර ඇත.

ඬේලිමේල් ඇසුරිනි 055

