වෙනිසියුලා තෙල් නැවකට පහර දෙයි


වෙනිසියුලාවට ඔබ්බෙන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් අත්පත් කර ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව පියවර ගත්තේය. මෙම මෙහෙයුමට නායකත්වය දුන්නේ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ය.

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ අර්බුදයක් පවතී. ඒ, නිකලස් මදුරෝගේ රජය ඇමෙරිකන් විරෝධී වීම නිසාය. වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දක්වන බවටත්, ඊට අනුග්‍රහය දක්වන බවටත් ට්‍රම්ප් චෝදනා නගා ඇත.

ඇමෙරිකාව සමඟ ගැටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වෙනිසියුලා ජනාධිපති මදුරෝ, ට්‍රම්ප්ට පවසා ඇත. ට්‍රම්ප් සහ මදුරෝ අතරේ දුරකතන සංවාදයක් ද පැවැත්විණි. ට්‍රම්ප් පැවැසුවේ එම දුරකතන කතාබහෙන් මදුරෝට කිසිදු වාසියක් අත් නොවුණු බවය.

ඇමෙරිකන් හමුදාව තෙල් නැව අල්ලා ගත්තේ, වෙනිසියුලාවට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇති අවස්ථාවකය.

‘අපි වෙනිසියුලාවට ඔබ්බෙන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක් අත්පත් කර ගත්තා. ඒක විශාල තෙල් නැවක්. මෙතෙක් අපි අත්පත් කරගත් විශාලතම තෙල් නැව මෙයයි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ පැහැදිලි කළේය.

වෙනිසියුලාවට තර්ජනයක් වන ආකාරයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූඑස්එස් ජෙරල්ඩ් ෆෝඩ්’ නමැති යුද නෞකාව වෙනිසියුලාවට ඔබ්බෙන් මුහුදට යවා ඇත. තම රජය පෙරළා දැමීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගන්නා බවට වෙනිසියුලා ජනාධිපති මදුරෝ චෝදනා නගයි.

ට්‍රම්ප් මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර, වෙනිසියුලා පාලන තන්ත්‍රයේ වෙනසක් අපේක්ෂා නොකරන බව ට්‍රම්ප් අවධාරණය කර ඇත.