
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළේ වෙඩි තැබීමේ සිද්ධිය අතරතුරේ, එක් වෙඩික්කරුවකුගේ ඇඟට පැන, තුවක්කුව උදුරාගෙන ඔහු මෙල්ල කිරීමට තැත් කළ අහ්මද් අල් අහ්මද් නමැති මුස්ලිම් ජාතිකයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අහ්මද් අල් අහ්මද්, වෙඩික්කරු මෙල්ල කිරීමට උත්සාහ ගනිද්දී, ඔහුගේ වම් අතටත් උරහිසටත් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල විය. රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් පවසා ඇත්තේ, අහ්මද්ගේ වම් අත කපා ඉවත් කිරීමට සිදුවනු ඇති බවය.
දෙදරු පියකු වන 43 හැවිරිදි අහ්මද්, 2006 දී, සරණාගතයකු ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ සිරියාවේ සිටය. ඔහු සිරියාවේ උපත ලැබූවෙකු වන අතර, සිඩ්නි නුවර පළතුරු වෙළෙන්දෙකු ලෙස රැකියාව කරයි.
රෝහලේ සිට අදහස් දක්වමින්, අහ්මද් පවසා ඇත්තේ, යළි අවස්ථාවක් ලැබුණොත්, තමන් දෙවරක් නොසිතා එවැනි වික්‍රමයක් කරන බවය. පොලිසිය පවසන්නේ අහ්මද් දිවි පරදුවට තබා කළ වික්‍රමයෙන්, ජීවිත රැසක් බේරුණු බවය.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අයත් වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයටය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආණ්ඩුකාර, ක්‍රිස් මින්ස් ද රෝහලට ගොස් අහ්මද්ගේ සුවදුක් විමසා බැලුවේය. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද අහ්මද්ගේ වීර ක්‍රියාව ඇගයීමට ලක් කර ඇත.
මේ අතර, අහ්මද් අල් අහ්මද්ගේ වීර ක්‍රියාව ඇගයීමට ලක් කරමින්, ඔහු වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ඕස්ට්‍රේලියානුවන් කටයුතු කර ඇත. ඇමෙරිකන් ඩොලර් 570,000 ක මුදලක් ඊට එකතු වී ඇත.
ඇමෙරිකන් බිලියනපතියකු වන බිල් ඇක්මන්, අහ්මද්ට ඇමෙරිකන් ඩොලර් 99,999ක පරිත්‍යාගයක් සිදු කර ඇත. ඒ ඔන්ලයින් ක්‍රමයටය. ඔන්ලයින් ක්‍රමයට ලබා දිය හැකි උපරිම පරිත්‍යාග මුදල මෙය යැයි පැවැසෙයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අහ්මද් වෙනුවෙන් පිහිටවූ අරමුදලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1කට (එක්සත් ජනපද ඩොලර් 744,000කට ආසන්නය) වඩා එකතු වී ඇති බවය.

