ලිබියාවේ නව අගමැති විද්‍යාඥයෙක්


ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පෙරේදා (31) නව අගමැතිවරයකු පත් කර ගත්තේය.ඡන්ද විමසීමකින් පසු අගමැති ධුරයට පත්කර ගැනුනේ ලිබියාවේ සිටින මුල්පෙළේ උගතකු, ඉංජිනේරුවකු මෙන්ම විද්‍යාඥයකු ලෙස ප‍්‍රසිද්ධියට පත් අබ්දුල් රහීම් අල් කීබ් ය. හෙතෙම ලිබියා ජනතාවගේ ආදරය සහ ගෞරවය දිනාගත් විද්වතෙකි.ලිබියාවේ ඉන්ජිනේරු ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන සේවයක් සිදු කළ අයකු ලෙස ද අබ්දුල් රහීම් ප‍්‍රකටය. ලිබියාවේ සියලූම පාර්ශ්වවල විශ්වාසය දිනූ අබ්දුල් රහීම් අගමැති ධුරයට සුදුස්සකු බව ලිබියා දේශපාලන විචාරකයන් ප‍්‍රකාශ කර ඇත්තේය.අගමැති ධුරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට ලිබියා ජාතික පාලක මණ්ඩලය ඡන්ද විමසූ අවස්ථාවේ, 51 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඒ අතරින් 26 දෙනකුගේ ඡන්දය අබ්දුල් රහීම්ට හිමිවිය. ගඩාෆි පාලනය පෙරළා දමා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින අන්තර්වාර පාලක මණ්ඩලය, තව මාස අටක කාලයකින් මහ මැතිවරණයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර ඔවුන් පවසන්නේ  අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම ලිබියාවේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමේ පළමු පියවර බවය.නව අගමැති අබ්දුල් රහීම්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අතර එයින් ප‍්‍රධාන වන්නේ කැරැලිකරුවන් නිරායුධ කිරීමයි. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහි සටනේදී බටහිර රටවලින් ලිබියා කැරැලිකරුවන්ට ආයුධ රැසක් ලැබිණි. එමෙන්ම ගඩාෆි හමුදාව සතු ආයුධ විශාල ප‍්‍රමාණයක් ද මේ වනවිට කැරැලිකරුවන් අතට පත් වී තිබේ.එක්සත් ජාතීන්ගේ අනුමැතිය පරිදි ලිබියාවේ කි‍්‍රයාත්මක වූ නේටෝ හමුදා මෙහෙයුම් ද පෙරේදා (31) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් විය. නේටෝ හමුදාව මෙන්ම ඇමෙරිකාවද බිය පළ කරනුයේ ලිබියා කැරැලිකරුවන් සතුව පවතින ආයුධ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වීමේ අවධානමක් පවතින බවය.නේටෝ හමුදාවේ මෙහෙයුම් අවසන් බව ප‍්‍රකාශ කිරීමට නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් රස්මුසෙන්  පෙරේදා ලිබියාවේ ටි‍්‍රපොලි නුවරට පැමිණියේය.