රෙගේ ගායක ජිමී ක්ලිෆ් සමුගනී


ලොව කාගේත් ආදරය දිනූ සම්මානනීය රෙගේ ගායක ජිමී ක්ලිෆ් දිවි ගමන අවසන් කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 81 කි. ජැමෙයිකාවේ රෙගේ සංගීතය ලොවට දායාද කළ සුපිරි ගායකයකු ලෙස ජිමී ක්ලිෆ් සැලකෙයි. 

ජිමී ක්ලිෆ් අවසන් සුසුම් හෙළුවේ, ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර ඔහුගේ නිවසේදීය. ජිමී ක්ලිෆ් මියගිය පුවත ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා විසින් ප්‍රසිද්ධියට පත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ජිමී ක්ලිෆ් ලොව පුරා අතිශය ජනප්‍රිය වූයේ ‘අයි කැන් සී ක්ලියර්ලි නව්’ සහ ‘මෙරි රිවර්ස් ටු කොස්’ යන නමැති ගීතවලිනි. රෙගේ සංගීතය ඇමෙරිකාවට හඳුන්වා දීම සිදුවුණු බව පැවැසෙන්නේ 1972 වසරේ තිරගත වුණු ‘ද හාඩර් දේ කම්’ චිත්‍රපටෙයනි. මෙම චිත්‍රපටයේ ජිමී ක්ලිෆ් ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය.

ජිමී ක්ලිෆ් 1944 වසරේ උපත ලැබුවේ, ජේම්ස් චේම්බර්ස් යන නමිනි. ඒ, ජැමෙයිකාවේ ශාන්ත ජේම්ස් නුවරදීය. ඔහු ගායනයට යොමු වූයේ අවුරුදු හයේදීය. ගායකයකු ලෙස සාර්ථක වෙද්දී, ක්ලිෆ් 1965 දී ලන්ඩන් නුවර පදිංචියට ගියේය.