මාර්ග සංඥා ආලෝක පුවරුවේ රතු එළිය වැටුණු පසු සුසුම් ලෑමටත් කොළ එළිය වැටුණු පසු පිඹගෙන යෑමටත් පිළිතුරක් ලෙස මෝටර් රථයක් මාර්ග සංඥා ආලෝක පුවරු ළඟ නොනැවතී ධාවනය කරවිය හැකි පද්ධතියක් ජර්මනියේ අවුඩි මෝටර් රථ සමාගම අත්හදා බලමින් සිටියි.
මෝටර් රථයකට සවිවන මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ නගරයක මාර්ග සංඥා ආලෝක පුවරු පද්ධතිය හා සම්බන්ධ කරමිනි. නගරයේ ඇති සංඥා පද්ධතිය පිළිබද තොරතුරු ලබා ගන්නා මෙම පද්ධතිය මෝටර් රථය ධාවනය වෙමින් පවතින මාර්ගය අනුව එම මාර්ගයේ රතු එළි දැල්වී තිබේද,කොළ එළිය දැල්වෙන්නේ කිනම් අවස්ථාවේද, කොළ එළිය දැල්වී තිබේ නම් යළිත් රතු එළිය දැල්වීමට කොපමණ වේලාවක් ගත්වේද ආදී තොරතුරු රියදුරාට දැන්වීමේ සමත්ය.
ආලෝක සංඥා පුවරු දෙස බලාගෙන රේස් යන රියදුරන් වෙනුවෙන්ම වූ පහසුකමක්ද මෙහි ඇත.කිසියම් අවස්ථාවක ආලෝක සංඥා පුවරුවක් හමුවට එමින් සිටින විටදී එහි රතු ආලෝකය දැල්වී තිබේනම් කොළ ආලෝකය දැල්වෙන තෙක් රථය කුමන වේගයකින් ධාවනය කළ යුතුද,කොළ ආලෝකය දැල්වී තිබේනම් රතු ආලෝකය දැල්වීමට ප්‍රථමයෙන් කුමන වේගයකින් සංඥා පුවරුව පසුකර යා යුතුද ආදී තොරතුරුද මෙම පද්ධතියෙන් රියදුරා වෙත ලබාදේ.
මෙම පද්ධතිය නිසා රියැදුරන්ට ආලෝක සංඥා පුවරු ළග කල් නොමරා තම මෝටර් රථ ධාවනය කරවිය හැකිය.
දැනට ජර්මනියේ ඉග්නොල්ස්ටැඩ් හා බර්ලින්, ඉතාලියේ වෙරෝනා යන නගරයන්හි මෙම පද්දතිය සවිකෙරුණු මෝටර් රථයන් වල ක්‍රියාකාරීත්වය අත්හදාබැලෙමින් පවතී.එම අත්හදා බැලීම් වලින් හොද ප්‍රතිඵල ලැබී ඇතැයි අවුඩි සමාගම කියයි.
අවුඩි සමාගමේ උත්සාහය සාර්ථක වේ නම් කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනයන් මෙන්ම අනවශ්‍ය ඉන්ධන පරිභෝජනයද අඩු කර ගැනීමට හැකි වනු ඇත.

