මොසාඩ් ඔත්තුකරුවාට මරණ දඩුවම


ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි අංශය සහ එරට හමුදාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලැබූ පුද්ගලයකුට එරෙහිව ඉරානය මරණ දඬුවම ක්‍රියාත්මක කළේය.

මරා දැමුණේ අගිල් කේෂවර්ස් නැමැති 27 හැවිරිදි තරුණයෙකි. ඉරානවය මොහු ඔත්තුකරුවකු යැයි පැවැසුවත්, මොහු ඉරානයේ සිට ඇත්තේ වාස්තු විද්‍යාව හදාරන සිසුවකු ලෙසය. කෙසේ නමුත්, මොහු මොසාඩ් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තහවුරු වී ඇතැයි ඉරාන රජය පවසයි.

පසුගිය මැයි මාසයේදී, ඉරානයේ තෙහෙරාන් නුවර සිට කිලෝමීටර් 600ක් වයඹ දෙසින් පඋර්මියා නගරයේ හමුදා මූලස්ථානයක ඡායාරූප ගනිමින් සිටියදී මොහු අත්අඩංගුවට ගැණුනු බව පැවැසෙයි.

රහසිගතව පැවැත්වූ නඩු විභාගයකින් පසුව අගිල් කේෂවර්ස්ට මරණ දඬුවම නියම වූ අතර, ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එම තීන්දුව තහවුරු කෙරුණි.  

පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති වූ දින 12ක යුද ගැටුමින් පසු, ඔත්තු බැලීමේ චෝදනාව මත ඉරානය මරණ දඬුවම ලබා දුන් 11 වැනි පුද්ගලයා අගිල් කේෂවර්ස් ය.